Posted by Pradeep Gunarathna at 12:35 AM
දවස් කීපයකට පස්සේ තවත් ටිකක් විතර අපි
නොදන්න දෙයක් ගැන ලියන්නයි හදන්නේ. අන්තිමට දාපු පෝස්ට් එකට හොද ප්‍රතිචාර ලැබිලා
තිබුන නිසා ඒකේ දෙවැනි කොටසත් ලගදීම ඔයාලට කියවන්න ලැබෙයි. ලයික් කරපු, කමෙන්ට් කරපු
හැමෝටම ස්තුතියි. තවම පළවෙනි කොටස කියවපු නැති අය මෙතනින් බලන්න.
අද කතාකරන්න හදන්නේ නීතිය ගැන. අපේ රටේ නීති
පද්ධතියට අපි හැමෝම යටත් වුනාට නීතිය ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඒ නිසා මම හිතුවා
මම දන්න ටික ඔයාලටත් කියලා දෙන්න. හැබැයි මම නීතීඥ මහත්තයෙන් එහෙම නෙමෙයි හොදේ. අහලා
කියවලා දැනගත්තු ටික තමයි මේ පොර වගේ දෙසාබාන්නේ.
අපේ රටේ දැනට පවතින නීතියත් අනිත් ගොඩක්
දේවල් වගේම බටහිරින් අපට ලැබුන දායාදයක්. (රජ කාලෙ නම් ඊට වඩා වෙනස් නීති රීති
තියෙන්න ඇති) මේ නීතියේ පියා විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි නීතිය. අපේ නීති පද්ධතියට
සිවිල් නීතිය සහ අපරාධ නීතිය කියන කොටස් දෙක අයත් වෙනවා. සිවිල් නීතියට අයත්
වෙන්නේ සුළු වැරදි. ලොකු වැරදි එහෙමත් නැත්නම් අපරාධ ගනයට වැටෙන වැරදි විභාග
කරන්නේ අපරාධ නීතිය යටතේ. මම මේ කතා කරන බොහොමයක් කාරණා අදාල වෙන්නේ අපරාධ නීතියට.
ලංකාවේ සහ ඉන්දියාව වගේ යටත්විජිත රටවල 'දණ්ඩ නීති සංග්‍රහය'(Penal code) සකස්කරලා
තියෙන්නේ ඉංග්‍රීසි නීතියට අනුව. 'දණ්ඩ නීති සංග්‍රහය' කියන්නේ අපරාධ අර්ථ
දක්වලා තියෙන නිළ ලේඛනයට. අපරාධ වලට දියයුතු දඩුවම් ගැනත් ඒකෙ ලියලා තියෙනවා. 'අපරාධ නඩුවිධාන සං ග්‍රහය' කියන්නෙත් ඕකටම තමයි.
ඉංග්‍රීසි අපරාධ නීතියට අනුව අපරාධයක් සම්පූර්ණ වෙන්න කාරණා දෙකක් තියෙන්න ඕනෑ.
1.
ශාරීරික ක්‍රියාව (Actus Reus) - අදාල අපරාධය
චූදිතයා (චෝදනාවට ලක්වන පුද්ගලයා) විසින් සිදුකිරීම.
2.
මානසික ක්‍රියාව (Mens Rea) - අදාල අපරාධය
චූදිතයා (චෝදනාවට ලක්වන පුද්ගලයා) විසින් චේතනාන්විතව (සිතාමතා) සිදුකිරීම.
අපරාධයක් සදහා
යම් කෙනෙක් වැරදිකරුවෙක් වෙන්න මේ කරුණු දෙකම සම්පූර්ණ වුන බව අධිකරණයට ඔප්පු
කරන්න ඕනෑ. නමුත් එහෙම අවශ්‍ය නොවෙන අවස්ථාත් තියෙනවා. එවැනි අවස්ථාවල මානසික
බලපෑම නැතත් අපරාධය සදහා චූදිතයා වැරදිකරු කරන්න පුළුවන්.
උදාහරණයක්
විදියට ඔයා ලග තියෙන හරි ඔයා වගකීම දරන හරි දෙයක් ගැන ඔයාව සැක කලොත් (ඔයා ලග
තිබිලා මත්කුඩු අත්අඩංගුවට ගත්තොත්) නැත්නම් ඔයා භාරයේ ඉන්න කෙනෙකුට (සිරකරුවෙක්) හානියක්
වුනොත් ඔයා ඒ වැරැද්ද නොදැන කළා කියන එක නිදහසට කරුණක් නෙමෙයි.
ඒ වගේම ඔයා
යටතේ සේවය කරන කෙනෙක් අපරාධයක් කලොත් හරි වෙනකෙනෙක් ඔයා එක්ක ඉදිමින් අපරාධයක්
කලොත් හරි ඔයාට ඒ වරදට වගකියන්න වෙන්න පුළුවන්. ඒකට කියන්නේ 'ප්‍රතිපුරුෂ වගකීම' කියලා.
අපේ නීති
පද්ධතිය පිළිගන්න පූර්වානුමිතියක් (presumption) තියෙනවා 'වරදකරු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී
පුද්ගලයෙකි' කියලා. ඒ අනුව අදාල චූදිතයාට එරෙහිව චෝදනා ඔප්පු කරන්න
ඕනෑ පැමිණිලි පාර්ශවයෙන්. නමුත් බැලූ බැල්මට නඩුව ඔප්පු වෙනවානම් චූදිතයාට පුළුවන්
අපරාධය නොකළ බව ඔප්පු කරන්න.නමුත් ජපානය වගේ රටවල අදාල චූදිතයා තමයි තමා වරද නොකළ
බව ඔප්පු කරන්න ඕනෑ.
පැමිණිලි
පාර්ශවයෙන් චෝදනා ඔප්පු කරන්න ඕනෑ 'සාධාරණ සැකයෙන්
ඔබ්බට'. ඒ කියන්නේ තවදුරටත් කිසිම සැකයක් ඇතිනොවන මට්ටමට චෝදනා
ඔප්පු කරන්න ඕනෑ. හැබැයි මොකක් හරි කාරණයක් චූදිතයාට ඔප්පු කරන්න වුනොත් (උදාහරණයක්
විදියට චූදිතයා විසින් තමන්ගේ නිදහසට කියන දේවල්) ඔප්පු කරන්න ඕනෑ 'වැඩිබර අනුව'. ඒ කියන්නේ චූදිතයාට පුළුවන්නම් වැඩිබර තියෙන්නේ තමන් අපරාධය
කලේ නැති පැත්තට කියලා ඔප්පු කරන්න ඒක ප්‍රමාණවත් සාක්ෂියක්. ඒ වගේම නඩුවක 'සැකයේ වාසිය ලැබෙන්නේ චූදිතයාට'. ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරන්න පැමිණිලි පාර්ශවයට
බැරි වුනොත් ඒකේ වාසිය ලැබෙන්නේ චූදිතයාට.
අපේරටේ අපරාධ
නඩුවක පැමිණිලි පාර්ශවය වෙන්නේ බොහෝවිට රජය. ඒකට හේතුව තමයි 'අපරාධය සිදුකරලා තියෙන්නේ රටේ නීතියට විරුද්ධව' කියන පිළිගැනීම. සාමාන්‍ය ක්‍රමයට අපරාධ නඩු අහන්නේ මහේස්ත්‍රාත් අධිකරණ
සහ මහාධිකරණ වල. මිනීමැරුම් නඩුවක්නම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ගොණුකරලා මහාධිකරණයේ
තමයි විභාග කරන්නේ.
චූදිතයාට
එරෙහිව අපරාධ නඩුවක් ඔප්පු කරලා තියෙන වෙලාවක චූදිතයාට පුළුවන් තමා වෙනුවෙන්
නිදහසට කරුණු කියන්න. එවැනි කරුණු වලට කියන්නේ 'විත්තිවාචික' කියලා. මම විත්තිවාචික 3ක් පැහැදිලි කරන්නම්.
1.
උමතු බව - ඒ කියන්නේ අපරාධය කරන අවස්ථාවේ චූදිතයා උමතු බවින් පෙලුනු බව. ඒ
බව ඔප්පු කරන්න කරුණු 4ක් අවශ්‍ය වෙනවා.
a.
චූදිතයා මානසික රෝගයකින් පෙළෙන බව
b.
අපරාධය කිරිම සදහා රෝගයෙහි බලපෑමක් ඇති බව
c.
වරදෙහි ස්වභාවය චූදිතයාට තේරුම් ගැනීමට නොහැකි බව
d.
චූදිතයා තමාගේ පාලනයෙන් තොරව හැසිරී ඇති බව
ඒ වගේම නඩුව විභාග කරන අවස්ථාවේදී චූදිතයා මානසික රෝගයකින් පෙළෙනවානම් රෝගය
පාලනය වෙනකම් නඩු විභාගය අත්හිටුවනවා.
2.
මත්වීම - යම් කෙනෙක් අපරාධය කරන අවස්ථාවේ දී තමන්ගේ කැමැත්තට එරෙහිව මත්
බවට පත්වෙලා වරදෙහි ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි තත්වයක සිටි බව. තමන්ගේ
කැමැත්තෙන් මත් බවට පත්වෙලා හිටපු කෙනෙකුට මේ විත්තිවාචිකය භාවිතා කරන්න බැහැ.
3.
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය - යම්කිසිවෙකුට තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන්
තවකෙකුට අනතුරක් කළ හැකිය. ඒ කියන්නේ
a.
තමන්ගේ ආරක්ෂාව
b.
වෙනත් කෙනෙකුගේ ජීවිතාරක්ෂාව
c.
තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ චංචල හෝ නිශ්චල දේපල වල ආරක්ෂාව
වෙනුවෙන් තවකෙකුට
අනතුරක් කළවිට එය වරදක් විදියට සලකන්නේ නැහැ. නමුත් මේ අයිතිය භාවිතා කරන්න
පුළුවන් සොරකම, කොල්ලකෑම, අලාභහානි කිරීම, සාපරාධී අයුතු ඇතුළුවීම සහ එකී අපරාධ
වලට තැත් කිරීම කියන වැරදි වලට විතරයි.
නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ අයිතිය
භාවිතා කරන්න බැහැ. එතකොට ඒක ' පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා යාමක්' වෙනවා.
මම අහලා කියවලා
දැනගත්තු ටිකක් තමයි මම ලිව්වේ.
අඩුපාඩු එහෙම තියෙනවානම් සමාවෙන්න ඕනෑ. (ඒවා අපිට පෙන්නලා දුන්නොත් තමයි ගොඩක්
වටින්නේ) සමහර විස්තර ගත්තේ 'නිලන්ත හෙට්ටිගේ' නීතීඥතුමාගේ 'අපරාධ නීතිය' පොතෙන්.
එතුමාටත් බොහොම පින්.
කියවන ඔයාලගේ
අදහස් මට ගොඩක් වටිනවා. ඒ නිසා කියවලා යන ගමන් කොමෙන්ටුවකුත් දාලා යන්න. මේ ලිපිය
මුහුණු පොතේ යාළුවෝ එක්ක බෙදාගන්න දකුණු පැත්තේ පහළින් තියෙන බොත්තම ඔබන්න.
ආයෙත් දවසක මට
හිතෙන දේ කියන්නම්.











