Saturday, December 24, 2011

නීතිය.

Posted by at 12:35 AM

දවස් කීපයකට පස්සේ තවත් ටිකක් විතර අපි නොදන්න දෙයක් ගැන ලියන්නයි හදන්නේ. අන්තිමට දාපු පෝස්ට් එකට හොද ප්‍රතිචාර ලැබිලා තිබුන නිසා ඒකේ දෙවැනි කොටසත් ලගදීම ඔයාලට කියවන්න ලැබෙයි. ලයික් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. තවම පළවෙනි කොටස කියවපු නැති අය මෙතනින් බලන්න.

අද කතාකරන්න හදන්නේ නීතිය ගැන. අපේ රටේ නීති පද්ධතියට අපි හැමෝම යටත් වුනාට නීතිය ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඒ නිසා මම හිතුවා මම දන්න ටික ඔයාලටත් කියලා දෙන්න. හැබැයි මම නීතීඥ මහත්තයෙන් එහෙම නෙමෙයි හොදේ. අහලා කියවලා දැනගත්තු ටික තමයි මේ පොර වගේ දෙසාබාන්නේ.



අපේ රටේ දැනට පවතින නීතියත් අනිත් ගොඩක් දේවල් වගේම බටහිරින් අපට ලැබුන දායාදයක්. (රජ කාලෙ නම් ඊට වඩා වෙනස් නීති රීති තියෙන්න ඇති) මේ නීතියේ පියා විදියට සැලකෙන්නේ ඉංග්‍රීසි නීතිය. අපේ නීති පද්ධතියට සිවිල් නීතිය සහ අපරාධ නීතිය කියන කොටස් දෙක අයත් වෙනවා. සිවිල් නීතියට අයත් වෙන්නේ සුළු වැරදි. ලොකු වැරදි එහෙමත් නැත්නම් අපරාධ ගනයට වැටෙන වැරදි විභාග කරන්නේ අපරාධ නීතිය යටතේ. මම මේ කතා කරන බොහොමයක් කාරණා අදාල වෙන්නේ අපරාධ නීතියට.

ලංකාවේ සහ ඉන්දියාව වගේ යටත්විජිත රටවල 'දණ්ඩ නීති සංග්‍රහය'(Penal code) සකස්කරලා තියෙන්නේ ඉංග්‍රීසි නීතියට අනුව. 'දණ්ඩ නීති සංග්‍රහය' කියන්නේ අපරාධ අර්ථ දක්වලා තියෙන නිළ ලේඛනයට. අපරාධ වලට දියයුතු දඩුවම් ගැනත් ඒකෙ ලියලා තියෙනවා. 'අපරාධ නඩුවිධාන සං ග්‍රහය' කියන්නෙත් ඕකටම තමයි.

ඉංග්‍රීසි අපරාධ නීතියට අනුව අපරාධයක් සම්පූර්ණ වෙන්න කාරණා දෙකක් තියෙන්න ඕනෑ.

1.    ශාරීරික ක්‍රියාව (Actus Reus) - අදාල අපරාධය චූදිතයා (චෝදනාවට ලක්වන පුද්ගලයා) විසින් සිදුකිරීම.
2.    මානසික ක්‍රියාව (Mens Rea) - අදාල අපරාධය චූදිතයා (චෝදනාවට ලක්වන පුද්ගලයා) විසින් චේතනාන්විතව (සිතාමතා) සිදුකිරීම.

අපරාධයක් සදහා යම් කෙනෙක් වැරදිකරුවෙක් වෙන්න මේ කරුණු දෙකම සම්පූර්ණ වුන බව අධිකරණයට ඔප්පු කරන්න ඕනෑ. නමුත් එහෙම අවශ්‍ය නොවෙන අවස්ථාත් තියෙනවා. එවැනි අවස්ථාවල මානසික බලපෑම නැතත් අපරාධය සදහා චූදිතයා වැරදිකරු කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට ඔයා ලග තියෙන හරි ඔයා වගකීම දරන හරි දෙයක් ගැන ඔයාව සැක කලොත් (ඔයා ලග තිබිලා මත්කුඩු අත්අඩංගුවට ගත්තොත්) නැත්නම් ඔයා භාරයේ ඉන්න කෙනෙකුට (සිරකරුවෙක්) හානියක් වුනොත් ඔයා ඒ වැරැද්ද නොදැන කළා කියන එක නිදහසට කරුණක් නෙමෙයි.

ඒ වගේම ඔයා යටතේ සේවය කරන කෙනෙක් අපරාධයක් කලොත් හරි වෙනකෙනෙක් ඔයා එක්ක ඉදිමින් අපරාධයක් කලොත් හරි ඔයාට ඒ වරදට වගකියන්න වෙන්න පුළුවන්. ඒකට කියන්නේ 'ප්‍රතිපුරුෂ වගකීම' කියලා.

අපේ නීති පද්ධතිය පිළිගන්න පූර්වානුමිතියක් (presumption) තියෙනවා 'වරදකරු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී පුද්ගලයෙකි' කියලා. ඒ අනුව අදාල චූදිතයාට එරෙහිව චෝදනා ඔප්පු කරන්න ඕනෑ පැමිණිලි පාර්ශවයෙන්. නමුත් බැලූ බැල්මට නඩුව ඔප්පු වෙනවානම් චූදිතයාට පුළුවන් අපරාධය නොකළ බව ඔප්පු කරන්න.නමුත් ජපානය වගේ රටවල අදාල චූදිතයා තමයි තමා වරද නොකළ බව ඔප්පු කරන්න ඕනෑ.

පැමිණිලි පාර්ශවයෙන් චෝදනා ඔප්පු කරන්න ඕනෑ 'සාධාරණ සැකයෙන් ඔබ්බට'. ඒ කියන්නේ තවදුරටත් කිසිම සැකයක් ඇතිනොවන මට්ටමට චෝදනා ඔප්පු කරන්න ඕනෑ. හැබැයි මොකක් හරි කාරණයක් චූදිතයාට ඔප්පු කරන්න වුනොත් (උදාහරණයක් විදියට චූදිතයා විසින් තමන්ගේ නිදහසට කියන දේවල්) ඔප්පු කරන්න ඕනෑ 'වැඩිබර අනුව'. ඒ කියන්නේ චූදිතයාට පුළුවන්නම් වැඩිබර තියෙන්නේ තමන් අපරාධය කලේ නැති පැත්තට කියලා ඔප්පු කරන්න ඒක ප්‍රමාණවත් සාක්ෂියක්. ඒ වගේම නඩුවක 'සැකයේ වාසිය ලැබෙන්නේ චූදිතයාට'. ඒ කියන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරන්න පැමිණිලි පාර්ශවයට බැරි වුනොත් ඒකේ වාසිය ලැබෙන්නේ චූදිතයාට.



අපේරටේ අපරාධ නඩුවක පැමිණිලි පාර්ශවය වෙන්නේ බොහෝවිට රජය. ඒකට හේතුව තමයි 'අපරාධය සිදුකරලා තියෙන්නේ රටේ නීතියට විරුද්ධව' කියන පිළිගැනීම. සාමාන්‍ය ක්‍රමයට අපරාධ නඩු අහන්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ වල. මිනීමැරුම් නඩුවක්නම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ගොණුකරලා මහාධිකරණයේ තමයි විභාග කරන්නේ.

චූදිතයාට එරෙහිව අපරාධ නඩුවක් ඔප්පු කරලා තියෙන වෙලාවක චූදිතයාට පුළුවන් තමා වෙනුවෙන් නිදහසට කරුණු කියන්න. එවැනි කරුණු වලට කියන්නේ 'විත්තිවාචික' කියලා. මම විත්තිවාචික 3ක් පැහැදිලි කරන්නම්.
1.    උමතු බව - ඒ කියන්නේ අපරාධය කරන අවස්ථාවේ චූදිතයා උමතු බවින් පෙලුනු බව. ඒ බව ඔප්පු කරන්න කරුණු 4ක් අවශ්‍ය වෙනවා.

a.     චූදිතයා මානසික රෝගයකින් පෙළෙන බව
b.    අපරාධය කිරිම සදහා රෝගයෙහි බලපෑමක් ඇති බව
c.     වරදෙහි ස්වභාවය චූදිතයාට තේරුම් ගැනීමට නොහැකි බව
d.    චූදිතයා තමාගේ පාලනයෙන් තොරව හැසිරී ඇති බව

ඒ වගේම නඩුව විභාග කරන අවස්ථාවේදී චූදිතයා මානසික රෝගයකින් පෙළෙනවානම් රෝගය පාලනය වෙනකම් නඩු විභාගය අත්හිටුවනවා.

2.    මත්වීම - යම් කෙනෙක් අපරාධය කරන අවස්ථාවේ දී තමන්ගේ කැමැත්තට එරෙහිව මත් බවට පත්වෙලා වරදෙහි ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි තත්වයක සිටි බව. තමන්ගේ කැමැත්තෙන් මත් බවට පත්වෙලා හිටපු කෙනෙකුට මේ විත්තිවාචිකය භාවිතා කරන්න බැහැ.

3.    පුද්ගලික ආරක්ෂාවේ අයිතිය - යම්කිසිවෙකුට තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් තවකෙකුට අනතුරක් කළ හැකිය. ඒ කියන්නේ

a.     තමන්ගේ ආරක්ෂාව
b.    වෙනත් කෙනෙකුගේ ජීවිතාරක්ෂාව
c.     තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ චංචල හෝ නිශ්චල දේපල වල ආරක්ෂාව
වෙනුවෙන් තවකෙකුට අනතුරක් කළවිට එය වරදක් විදියට සලකන්නේ නැහැ. නමුත් මේ අයිතිය භාවිතා කරන්න පුළුවන් සොරකම, කොල්ලකෑම, අලාභහානි කිරීම, සාපරාධී අයුතු ඇතුළුවීම සහ එකී අපරාධ වලට තැත් කිරීම කියන වැරදි වලට විතරයි. 
නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ අයිතිය භාවිතා කරන්න බැහැ. එතකොට ඒක ' පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා යාමක්' වෙනවා.

මම අහලා කියවලා දැනගත්තු ටිකක් තමයි මම ලිව්වේ. අඩුපාඩු එහෙම තියෙනවානම් සමාවෙන්න ඕනෑ. (ඒවා අපිට පෙන්නලා දුන්නොත් තමයි ගොඩක් වටින්නේ) සමහර විස්තර ගත්තේ 'නිලන්ත හෙට්ටිගේ' නීතීඥතුමාගේ 'අපරාධ නීතිය' පොතෙන්. එතුමාටත් බොහොම පින්.

කියවන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඒ නිසා කියවලා යන ගමන් කොමෙන්ටුවකුත් දාලා යන්න. මේ ලිපිය මුහුණු පොතේ යාළුවෝ එක්ක බෙදාගන්න දකුණු පැත්තේ පහළින් තියෙන බොත්තම ඔබන්න.

ආයෙත් දවසක මට හිතෙන දේ කියන්නම්.

Wednesday, December 21, 2011

ලිංගිකත්වය (Sexuality)

Posted by at 11:48 PM
අද ප්‍රදීප්ගේ පිටුවෙන් අපි වැඩිපුර කතානොකරන මාතෘකාවක් කතාකරන්න හිතුවා. බැරිවෙලාවත් 'මෙන්න මේකා කුණුහරුප ලියනවෝ' කියලා හිතුනොත් ඉතුරු ටිකත් කියවලා බලන්න.

ලිංගිකත්වය ගැන අපි ප්‍රසිද්ධියේ කතාකරන්නෙම නැති තරම්. මම අද මේ පෝස්ට් එක දානවා කිව්වාම මගේ යාළුවෝ කිව්වේ 'ප්‍රදීප් අයියේ වැඩිය ලොකු දේවල් ලියන්න යන්න එපා. ලියපු එක පෝස්ට් කරන්න කලින් තව කාගෙන් හරි අහන්න' කියලයි. ඒ තරමටම අපි ඒකට බයයි. ලිංගිකත්වය ගැන අපේ තියෙන නොදැනුවත්කම ඒකට හේතුව කියලයි මම හිතන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමය පවා ලිංගිකත්වය ගැන ඒ වචනෙන්ම කතා කරන්නේ නෑ. ලිංගික අධ්‍යාපනයෙන් කොටසකුයි ප්‍රජනන සෞඛ්‍ය කොටසකුයි එකතු කරලා 'ලිංගිකත්වය හා ප්‍රජනනය' කියලා කොටසක් 9 - 10 වසර වලදි උගන්වනවා. (හැබැයි අපේ කට්ටිය ඊට වැඩිය ඒ ගැන දන්නවා. ඕනනම් සර්ලටත් උගන්නයි.)



මම අද උත්සාහ කරන්නේ ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා කියන්න.
පුද්ගලයකුගේ ලිංගිකත්වය අංශ 3කට බෙදන්න පුළුවන්.

1.    කායික - ඒ කියන්නේ කායිකව දකින්න ලැබෙන ලිංගිකත්වය. කෙනෙක් ඉපදුන වෙලාවෙදිම බාහිරින් දකින්න තියෙන ලිංගික ලක්ෂණ අනුව ඒ පුද්ගලයා ගැහැණු ද පිරිමි ද කියලා තීරණය කරන්න පුළුවන්. අම්මා කෙනෙක් ගොඩක් වෙලාවට බබා හම්බවුන ගමන්ම අහන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා මිසක් බබා හුස්ම ගන්නවාද කියලා නෙමෙයි. ඒ තරමටම දරුවාගේ ලිංගිකත්වය වැදගත්. (මතකයිනේ උන්මාද චිත්‍රාට ලැබෙන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා රටේ තිබුන උනන්දුව.)
ඉතාමත් කලාතුරකින් කෙනෙක්ගේ බාහිර ලිංගික ලක්ෂණ දකින්න නැතිවෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගේ ලිංගිකත්වය තීරණය කරන්න DNA පරික්ෂා කරන්න වෙන අවස්ථා උදාවෙන්න පුළුවන්.
2.    මානසික - මානසික ලිංගිකත්වය කියන්නේ කෙනෙක්ගේ තමන්ගේ ලිංගිකත්වය ගැන තියෙන ආකල්පය. දරුවෙකුට මේ අවබෝධය ඇතිවෙන්නේ ඉපදිලා අවුරුදු 2½ ඉදලා 4 විතර වෙනකම් කාලයේදි.
බොහෝදුරට පුද්ගලයකුගේ කායික ලිංගිකත්වය සහ මානසික ලිංගිකත්වය සමානයි. නමුත් සෑම 10000ටම එක්කෙනෙක් තමන්ගේ කායික ලිංගිකත්වයට වඩා වෙනස් මානසික ලිංගිකත්වයක් දරනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්නම් තමන් ගැහැණු කෙනෙක් කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒකට කියන්නේ 'පාරලිංගිකත්වය' කියලා. (Transgender)
3.    සමාජයීය - සමාජයීය වශයෙනුත් ලිංගිකත්වය වැදගත් වෙනවා. හොදම උදාහරණය තමයි නම්තැබීම. සාමාන්‍ය‍යෙන් දරුවෙකුට නමක් තියන්නේ කායික ලිංගිකත්යට අනුරූප විදියට. සිරිපාල කිව්වොත් අපි දන්නවා ඒ පිරිමි කෙනෙක් කියලා. සෝමාවතී කිව්වොත් ගැහැණු කෙනෙක්.
ඒ වගේම තමයි විවිධ සමාජයන් තුල කාන්තාවට හා පුරුෂයාට ලැබෙන තැන වෙනස්. කාන්තාවක් වීම නිසා හෝ පිරිමියෙක් වීම නිසා කෙනෙක්ට ලැබෙන අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. ඒකත් සමාජයීය ලිංගිකත්වයේ ලක්ෂණයක්.

ඒ වගේම කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම (sexual orientation) විවිධ වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම වර්ග 3කට බෙදන්න පුළුවන්.
1.    විෂම ලිංගිකතාව - Heterosexuality
2.    සම ලිංගිකතාව - Homosexuality
3.    උභය ලිංගිකතාව - Bisexuality

ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට. ඒ වගේම ලෝක ජනගහනයෙන් 4%ක් සම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ලිංගයේ අයට. තවත් කොටසක් ඉන්නවා මේ කියන අන්ත දෙකට අතරමැදි මට්ටමේ. ඒ අය විවිධ මට්ටම් වලින් තමන්ගේම ලිංගයේ අයටත් විරුද්ධ ලිංගිකයන්ටත් ආකර්ෂණය වෙනවා.

 




පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම උපතේදීම තීරණය වෙනවා කියන මතය තමයි අද වෙනකොට වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. අපි උපදිනකොට මේ ප්‍රස්ථාරෙ ඕනෑම තැනක ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය හැසිරීමක් විදියටයි දක්වන්නේ. ඒ නිසාම ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 10 වන සංස්කරණයේදි සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.
 
උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්, විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න ඒකත් කරන්න පුළුවන්. අවශය වෙන්නේ උනන්දුව විතරයි.

අපි මේ කතා කරපු හැමදෙයක්ම වැදගත් වෙන්නේ ලිංගික සම්බන්ධතා නිසියාකාරව පවත්වාගෙන යන්න. ඒත් ඒක ඒ තරම් පහසු කාරණයක් නෙමෙයි. ඒ සදහා හොද සන්නිවේදනයක්, අන්‍යොන්‍ය විශ්වාසයක් වගේම තවත් බොහොමයක් සාධක අවශ්‍ය වෙනවා.



ලිංගික සම්බන්ධතා ගැන අපි වැඩිපුර කතාකරන්නේ නැත්තේ ඒ ගැන මාධ්‍ය වල ගොඩක් කතා කරන නිසා. ඒ වගේම අපිට හොද අවබෝධයක් තියෙන්න ඕනෑ ලිංගිකත්වය ගැන තියෙන වැරදි මත සහ ලිංගික විෂමතා ගැන. ඒ ගැන ලිපියට මෙතනින් යන්න.

මම හිතන්නේ ඔයාලට මේ පණිවුඩය වැදගත් වෙන්න ඇති. එහෙම හිතුනත් නැතත් කොමෙන්ටුවකුත් දාලා යන්න. මේ කාරණා ටික මමත් හොයාගත්තේ මම වැඩකරන ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාගේ දේශන වලින්. මේ ලිපිය ගැන ලැබෙන ඇගයීම් එතුමාටත් අයිතියි. 

කියවන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. මේ ලිපිය මුහුණු පොතේ යාළුවෝ එක්ක බෙදාගන්න දකුණු පැත්තේ පහළින් තියෙන බොත්තම ඔබන්න.

ආයෙත් දවසක මට හිතෙන දේ කියන්නම්.

Friday, December 16, 2011

මානව හිමිකම්

Posted by at 11:27 PM

අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්‍දෙත් දෙසැම්බර් 10 වෙනිදා "ලෝක මානව හිමිකම් දිනය" නිහඩවම ගෙවිලා ගියා. අනිත් හැම සැමරුම් දිනයක්ම වගේ මානව හිමිකම් දිනයත් එදාට විතරක් සීමා වෙලා. කවුරුවත් මානව හිමිකම් ගැන කතා කරන්නේ නෑ. මම හිතුවා අද ප්‍රදීප්ගේ පිටුවෙන් ඒ ගැන ටිකක් කතා කරන්න. 



සෑම වසරකම දෙසැම්බර් 10 වෙනිදා මානව අයිතිවාසිකම් දිනය විදියට සමරනවා. ඒ 1948දි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් "මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය" එළිදක්වපු දිනය (දෙසැම්බර් 10 වෙනිදා) සිහිපත් කරන්න. "මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය" බිහිවුනේ වසර ගනනාවක් තිස්සේ පැවති සාකච්ඡා වලින් පස්සේ. ඒ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවල් අත්සන් කරලා තියෙනවා. 



ඒ වගේම 1946 ඉදලා මානව අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලයක්  පිහිටුවලා තියෙනවා. 2006 දී එය මානව අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතින්ගේ කවුන්සලය කියලා නම්කළා.

මානව අයිතිවාසිකම් - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන සැලැස්ම මෙතනින් බලන්න


මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් කියන්නේ "මිනිසකු වීම හේතුවෙන් පුද්ගලයකුට හිමිවන අහිමිකළ නොහැකි මූලික අයිතිවාසිකම්" වලට. මේ ප්‍රකාශනයේ පූර්විකාවේ එවැන්නක් සකස් කිරීමට හේතු රාශියක් දක්වලා තියෙනවා. 

"ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය හා සාමය යන්නෙහි පදනම විසින් පවුලේ සියළු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින්ද, මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිලේච්ඡ කෲරකම් සිදුවී ඇති හෙයින්ද.........එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප්‍රකාශ කර සිටී." ආදී වශයෙන් දක්වන මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයට වගන්ති 30ක් ඇතුලත්.


 මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය එළිදක්වලා දශක 7ක් ගතවුනත් ලෝකයේ කිසිම රටක පුරවැසියෙක් මේ අයිතිවාසිකම් සියල්ල භුක්ති විදින්නේ නෑ. යම් රටක පුරවැසියෙක් භුක්ති විදින ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් අයිතිවාසිකම් "මූලික අයිතිවාසිකම්" කියලා හදුන්වනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය (10 -14 වගන්ති) "මූලික අයිතිවාසිකම්" වලට වෙන් කරලා තියෙනවා.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී ඊට විරුද්ධව පුරවැසියකුට විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

1.    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් වගේම රාජ්‍ය ආයතන වලට විරුද්ධව පවා පැමිණිලි කරන්න පුළුවන්. ඔවුන් එය විභාග කරලා නිර්දේශ ඉදිරිපත් කරනවා.



2.    අගවිනිසුරු වරයාට යවන දිවුරුම් පෙත්සමක් මගින් පැමිණිලි කරන්න පුළුවන්. එහිදී අගවිනිසුරු වරයා පෙත්සම පරික්ෂා කරලා මානව හිමිකම් නඩුවක් පවත්වාගෙන යන්න කටයුතු කරනවා.

3.    නීතීඥයකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න පුළුවන්. මානව හිමිකම් නඩුවක් විභාග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි.



මේ හැමදෙයකටම කලින් අපි මානව හිමිකම් ගැන දැනගෙන ඉන්න ඕනෑ. ඒවා ආරක්ෂා කරන්නත් කෙනෙක්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවානම් ඒකට විරුද්ධ වෙන්නත් ඒ දැනුම වැදගත්.



එක උදාහරණයක් දෙන්නම්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන් "වදහිංසාවෙන් ආරක්ෂා වීමේ අයිතිය" තහවුරු කරලා තියෙනවා. ඒ යටතේ තවත් අණපනත් සම්මත කරලා තියෙනවා. ඒ නිසා පොලිස් නිළධාරීන්, ගුරුවරුන් ඇතුළු කිසිම රජයේ නිළධාරියකුට බැහැ කිසිම පුරවැසියෙකුට (දරුවන් ද ඇතුළුව) ගහන්න, බනින්න හෝ හිරිහැර කරන්න.

නමුත් තවමත් අපේ රටේ දරුවන් කීදෙනෙක් දවසකට ගුරුවරුන්ගෙන් ගුටිකනවාද? කී දෙනෙක් පොළිස් අත්අඩංගුවේදි ගුටිකනවාද? ඒත් තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කීදෙනාද?

මටනම් හිතෙන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ කියලයි. එහෙම හිතුනානම් කොමෙන්ටුවකුත් දාලා යන්න. මේ ලිපිය මුහුණු පොතේ යාළුවෝ එක්ක බෙදාගන්න දකුණු පැත්තේ පහළින් තියෙන බොත්තම ඔබන්න.
ආයෙත් දවසක මට හිතෙන දේ කියන්නම්.


© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template