Posted by Pradeep Gunarathna at 9:19 AM
Read our previous post
සමලිංගිකත්වය ගැන කාලෙන් කාලෙට බ්ලොග්
පෝස්ට් ලියවෙනවා. කවදාවත් ලියන්න හිතාගෙන නොහිටියත් ගිය සතියේ කියවපු ඒ වගේ පෝස්ට්
එකක් නිසා තමයි අද ප්‍රදීප්ගේ පිටුව මේ මාතෘකාව වෙනුවෙන් වෙන් වෙන්නේ. ඒ පෝස්ට්
එකේ සඳහන් වුනු සමහර
දේවල් වලින් සමලිංගිකත්වය ගැන අනවශ්‍ය බියක් ඇති බව පෙනුන නිසා තමයි මේ ගැන ලියන්න
හිතුවේ.
මේ ගැන පොඩ්ඩක් හොයනකොට සමලිංගිකත්වය
කියන්නේ හොඳ දෙයක්ද, නරක
දෙයක්ද, සමලිංගිකයන්
සමාජයෙන් පිටමං කළ යුතුද, සමලිංගිකත්වය නීතිගත කළ යුතුද, ඔබේ දරුවා සමලිංගික අතවර
වලින් බේරාගන්නේ කෙසේද, පිටකොටුවේ සමලිංගික රැස්වීම් තියන්න අවසර දුන්නේ කව්ද,
මෙකී නොකී විවිධ මාතෘකා වලින් ලියවුනු බ්ලොග් පෝස්ට් කීපයක්ම කියවන්න ලැබුනා. ඒ
හැම එකක්ම ගත්තොත් විවිධ මතවාද විවිධාකාරයෙන් පළ කරලා තිබුනා.
ග්‍රීක මිථ්‍යා කතාවල එන සියුස් සහ ගැනිමීඩ් අතරප්‍රේමය
අද ප්‍රදිප්ගේ
පිටුවෙන් උත්සාහ කරන්නේ සමලිංගිකත්වය ගැන ලෝකයේ මනෝවිද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව
දරන ආකල්පය ගැන කතා කරන්න. මොකද අද දවසේ යම් ආකාරයකට කතාබහට ලක්වන මාතෘකාවක්
විදියට මේ ගැන කතා කරන එක සුදුසුයි කියලා හිතන නිසා. එහෙම නැතුව මගේ මතය පළ
කරන්නවත්, සමහරු කියනවා වගේ කුතුහලය අවුස්සන මාතෘකාවක් දාලා බ්ලොග් එක ප්‍රමෝට්
කරගන්නවත් නෙමෙයි.
සමලිංගිකත්වය
කියන්නේ මොකක්ද?
සමලිංගිකත්වය
කියන්නේ පිරිමියකු හෝ කාන්තාවක් තමන්ගේම ලිංගයේ කෙනෙකුට ලිංගික වශයෙන් ආකර්ෂණය
වීම. විකිපීඩියා සිංහල විශ්වකෝෂය කියන්නේ "සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි." කියලා.
යම් කෙනෙක් සමලිංගික වෙන්නේ කොහොමද?
පුද්ගලයකුගේ
ලිංගික හැඩගැස්ම සමලිංගිකත්වය (Homosexuality), විෂම ලිංගිකත්වය (Heterosexuality), උභය ලිංගිකත්වය (Bisexuality) කියන ආකාර තුනකින් පවතින්න පුළුවන්.
මේ ආකාර තුන ගැන ලිංගිකත්වය කියන
පෝස්ට් එකේ කතා කරලා තියෙනවා. මේ හැඩගැස්ම ඇති වෙන්නේ මොනවගේ හේතුවක් නිසාද කියන
එක ගැන තවමත් 100%ක් පිළිගන්නා මතයක් නෑ. නමුත් බහුතරයක් පිළිගන්න මතයක් තමයි
උපතේදීම හෝ ඉතා අඩු වයසේදී කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම තීරණය වෙනවා කියන එක.
බොහෝ විට
සාකච්ඡා වෙනවා කුඩා කාලයේදී සිදුවූ අතවරයක් නිසා කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම
සමලිංගික වෙන්න පුළුවන් කියලා. ඒක කොහේවත් ඔප්පු කරපු මතයක් නෙමෙයි. ලිංගික
හැඩගැස්ම වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා වෙනස් කරන්න බැහැ. එහෙම පුළුවන්නම් තමන්
අකමැති ලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙක්ට බලපෑම් කරලා ඔහුගේ හෝ ඇයගේ ලිංගික
හැඩගැස්ම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්න බැහැ. නමුත් කෙනෙක් කැමැත්තෙන්
තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස් කරගන්න උත්සාහ කරනවානම් ඒ සඳහා මනෝවිද්‍යාත්මක සහය
ලබාගන්න පුළුවන්.
සමලිංගිකත්වය
ලෙඩක් ද?
මනෝවිද්‍යාත්මකව
බැළුවොත් මේ කියන ලිංගික හැඩගැස්ම අතිශයින්ම සාමාන්‍යයි. සමලිංගිකත්වය රෝගයක් කියන
මතය දැන් පිළිගන්නේ නෑ. රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණ දෙකම (ICD සහ DSM) සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා
තියෙනවා.වර්තමානයේ පිළිගන්න විදියට සමලිංගිකත්වයත් විෂම ලිංගිකත්වය වගේම එක්තරා
ලිංගික හැඩගැසීමක් පමණයි. ඒ අයගෙත් ලිංගික හැඟීම් ශුංගාරාත්මක හැඟීම් ඇති වෙනවා.
ආදරය හා ලිංගිකත්වය පිළිබඳ සමාන හැඟීම් ඇතිවෙනවා. වෙනස් වෙන්නේ ඔවුන් මේ හැඟීම
ඇතිකරගන්නේ තමන්ගේම ලිංගයේ අයට වීම කියන කාරණය විතරයි.
එහෙම නැත්නම්
සමලිංගිකත්වය වරදක්ද?
විෂම ලිංගික,
සම ලිංගික හා උභය ලිංගික හැඩගැසීම් වලින් එකක්වත් අසාමාන්‍යයි කියන්න බැහැ. නමුත්,
අති විශාල බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් තමන්ගේම ලිංගයේ අයට
ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන්ගේම ලිංගයේ අයට ලිංගිකව විකර්ෂණය
වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් දකින්නේ තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වීම පිළිකුල්
සහගත දෙයක් විදියට. ඒ නිසාම ඒක සමාජයේ පිළිගත් මතයක් බවට පත්වුනා. ඒ වගේම
සමලිංගිකත්වය රෝගයක් විදියට පිලිගන්න පටන්ගත්තා. ඒකට තවත් හේතුවක් වුනේ කතෝලික
ධර්මය ලෝකයේ පැතිරීම. කතෝලික ධර්මය සමලිංගිකත්වය පාපයක් විදියටයි සලකන්නේ. නමුත්
මේ වෙනකොට කතෝලික ධර්මය ප්‍රධාන ආගම වශයෙන් පිළිගන්න රටවල් වල පවා සමලිංගිකත්වය
වරදක් විදියට සලකන්නේ නෑ. උපතින්ම ගෙනෙන දෙයක් වරදක් විදියට සලකන්න බැහැ කියන එකයි
ඔවුන්ගේ මතය.
ඇමරිකානු
මනෝවිද්‍යා සංගමය කියන කතාව මෙතනින් බලන්න.
සමලිංගිකත්වය
කියන සංකල්පය ඇතිවුනේ මෑතකදි නේද?
සමලිංගිකත්වය
අද ඊයේ ඇතිවුන දෙයක් නෙමෙයි. ලේඛනය ආරම්භ වූ අවධියේ ඉඳලා මේ දක්වාම සමලිංගිකත්වය
ගැන ලිඛිත සාක්ෂි හොයාගන්න පුළුවන්. කාලයෙන් කාලයට සමලිංගිකත්වයට ලැබුනු තැන වෙනස්
වුනා. කාලයක් සමලිංගිකත්වය පූජනීයත්වයේ තියලා සලකද්දි තවත් කාලයක සමලිංගිකයන් පණ
පිටින් පුළුස්සනු ලැබුවා. අද වෙනකොට සමලිංගිකත්වය ලෝකයේ බොහෝ රටවල් සාමාන්‍ය දෙයක්
විදියට පිළිගන්නවා. සමලිංගිකත්වය වරදක් විදියට සලකන්නේ රටවල් 70ක් විතර ප්‍රමාණයක්
විතරයි. අනාගතයේදීත් සමලිංගිකයන් බිහිවෙනවා. හැම කාලයකම ලෝක ජනගහනයෙන් යම් ප්‍රමාණයක් (4%ක් පමණ) සමලිංගික නැඹුරුවක් ඇතිව තමයි උපදින්නේ. ඔවුන්ට ලැබෙන තැන කුමක් වේවිද
කියන්න තවම ඉක්මන් වැඩියි. බ්ලොග් ලෝකයේ සැරිසරද්දි සමලිංගිකත්වයේ ඉතිහාසය ගැන
ලියවුන පෝස්ට් දෙකක් කියවන්න ලැබුනා. මෙතනින් කියවන්නකෝ. 01, 02.
චීනයේ ක්විං රාජ සමයේ ආදරය කරන
පිරිමින් දෙදෙනෙකු දැක්වෙන සිතුවමක්
සමලිංගිකයන් HIV/AIDS වාහකයන්ද?
සමලිංගිකයන් HIV/AIDS වාහකයන් විය හැකියි.
ඒ වගේම විෂමලිංගිකයනුත් HIV/AIDS වාහකයන් විය
හැකියි. සමලිංගිකයෙක් හෝ විෂමලිංගිකයෙක් HIV/AIDS ආසාදිතයෙක්නම් ඔහු/ඇය
සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන සමලිංගික හෝ විෂමලිංගික අයෙකුට HIV/AIDS ආසාදනය වෙන්න
පුළුවන්. ලෝකයේ අළුතින් HIV ආසාදනය වෙන
අය බැළුවාම ඒ අයගෙන් 85%ක්ම ආසාදනය වෙලා තියෙන්නේ විෂමලිංගික සම්බන්ධතා වලින්. ප්‍රදීප්ගේ
පිටුවේ HIV/AIDS පෝස්ට් එක මෙතනින් බලන්න.
සමලිංගිකයන්
ලිංගික අපරාධකරුවන්ද?
නැහැ. සමලිංගිකයකු
වූ පමණින් කෙනෙක් ලිංගික අපරාධකරුවෙක් වෙන්නේ නෑ. නමුත් ලිංගික අපරාධකරුවන් අතර
සමලිංගික හැඩගැසීමක් සහිත අය ඉන්න පුළුවන්. ඒ අයගේ ලිංගික හිංසනයට භාජනය
වෙන්නේ තමන්ගේම ලිංගයේ අය.
උදාහරණයක්
විදියට කුමරකාමය (Pedophilia) කියන මානසික ලිංගික අක්‍රමතාවය තියෙන
කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම සමලිංගික හෝ විෂම ලිංගික වෙන්න පුළුවන්. සමලිංගික පිරිමි
කෙනෙක් කුමරකාමයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික තෘප්තිය ලබාගන්න පිරිමි දරුවෙක්
යොදාගන්න පුළුවන්. විෂමලිංගික පිරිමි කෙනෙක් මේ තත්වයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික
තෘප්තිය ලබන්න ගැහැණු දරුවෙක් යොදාගන්න පුළුවන්.
ලාංඡන භක්තිය (Fetishism) තියෙන කෙනෙක්
සමලිංගික නම් ඔහු/ ඇය තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා භාවිතා කරන්නේ
තමන්ගේම ලිංගයේ කෙනෙක්ගේ යට ඇඳුම් වගේ දේවල්. විෂම ලිංගික කෙනෙක්නම්
විරුද්ධ ලිංගයේ අයගේ දේවල්.
සත්වකාමය (Zoophilia) හැර ලිංගික ගැටළු කියන පෝස්ට් එකේ තියෙන අනිත් සියළුම අක්‍රමතා වලට මේ
තත්වය අදාලයි. සමලිංගිකයන් කියන්නෙත් සමාජයේ ඉන්න කොටසක් නිසා ඔවුන් අතරත් මේ වගේ
අය ඉන්න පුළුවන්. විෂම ලිංගිකයන් අතරත් ඉන්න පුළුවන්. නමුත් හැම සමලිංගිකයෙක්ම හෝ
විෂමලිංගිකයෙක්ම ලිංගික අපරාධකරුවන් නෙමෙයි.
1954 දී බ්‍රිතාන්‍ය රජය කොමිසමක් පත් කලා Committee on Homosexual Offenses and Prostitution කියලා. ඒ කොමිසමේ වාර්තාවට කියන්නේ WOLFENDERN REPORT කියලා. ඒ කොමිසම පත්කලේ සමලිංගිකයන්ගෙන්
සමාජයට වෙන හානිය මොකක්ද කියලා අධ්‍යයනය කරන්න.1957 සැප්තැම්බර් 3 වෙනිදා පළ කරපු ඒ
වාර්තාව කියන විදියට ඔවුන් වසර තුනක් තිස්සේ කරන ලද අධ්‍යයනය මගින් ආපු නිගමනය
තමයි "homosexual
behavior between consenting adults in private should no longer be a criminal offense" කියන එක. ඒ
කියන්නේ "එකිනෙකාගේ කැමැත්ත මත වැඩිහිටි දෙදෙනෙක් (
වයස 18ට වැඩි) අතර ඇතිවන සමලිංගික සම්බන්ධතා වැරදි විදියට නිගමනය කරන්න බෑ" කියන එක. එකිනෙකාගේ කැමැත්ත නැතිව (බලෙන්)
හරි බාලවයස්කරුවෙක් එක්ක හරි සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්තුවොත් ඒක වරදක්. එවැනි
විෂමලිංගික සම්බන්ධතාවයක් වුනත් වරදක් නිසා ඒ වාර්තාව අනුව සමලිංගිකත්වය සහ
විෂමලිංගිකත්වය සමාන ලෙස සැලකිය යුතුයි. ඒ අනුව තමයි බ්‍රිතාන්‍යය සමලිංගිකත්වය නීතිගත කලේ.
සමලිංගික
සංවිධාන තිබීම සමලිංගිකත්වය ප්‍රචලිත වීමට හේතුවක්ද?
නැහැ. සමලිංගික
හෝ විෂමලිංගික හැඩගැස්මක් ඇති කරන්න බාහිර සමාජයට බැහැ. එය අදාල පුද්ගලයාගේ අභ්‍යන්තරයේ
තිබෙන දෙයක්. ඒ නිසා සමලිංගික සංවිධාන තිබීම නිසා සමලිංගිකයින් සංඛ්‍යාව වැඩි වෙනවා
කියලා හඳුනාගෙන නැහැ. සමාජ විද්‍යාත්මකව බලපුවාම හැම ආකාරයේම සමාන අදහස් දරන අය
කණ්ඩායම් හෝ සංවිධාන විදියට එකතු වෙනවා. ඔවුන්ගේ අත්දැකිම් බෙදාගන්නවා. සමාජයේ අඩු
අවස්ථා ලැබෙන කණ්ඩායම් (Disadvantaged
groups) තමන්ට වැඩි අවස්ථා ඉල්ලලා සටන් කරනවා. ඒ
තත්වය සමලිංගිකයන්ට පමණක් සීමා වුන දෙයක් නෙමෙයි.
ඒ නිසා සමලිංගිකත්වය පිළිබඳ අනවශ්‍ය භීතියක් ඇති
කරගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමලිංගිකයන් කියන්නෙත් අපේ සමාජයේම කොටසක්. ඔවුන්
ඔවුන්ගේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, වෘත්තීයමය සහ ලිංගික ජීවිතය ඔවුන්ට අවශ්‍ය
විදියට ගෙනයාවි. විරුද්ධ ලිංගිකයන්ගේ වගේම ඔවුන්ගෙත් අතිශය බහුතරයකගෙන් සමාජයට
කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. නමුත් දෙපිරිසටම අයිති සුළු පිරිසක් ලිංගික හිංසකයන්
විදියට ක්‍රියාකරනවා. ඒ සඳහා වගකිවයුත්තේ ඒ හිංසකයන්ම මිස සමලිංගිකයන්
හෝ විෂමලිංගිකයන් නෙමෙයි.
අද ප්‍රදීප්ගේ පිටුව උත්සාහ කලේ සමලිංගිකත්වය ගැන
මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක යෙදෙන්න. විවිධ මතවාද ඇති.
සමලිංගිකත්වය නීතිගත කළ යුතුද? නැත්නම් සමලිංගික විවාහයන්ට ඉඩදිය යුතුද? වගේ
මාතෘකා දේශපාලනික වශයෙන් ගතයුතු තීරණ. නමුත් සමලිංගිකත්වය පිලිබඳ භීතියක් ඇතිකර ගැනීම අනවශ්‍ය දෙයක් විදියටයි
ප්‍රදීප්ගේ පිටුව දකින්නේ.
එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.
ප.ලි. - මගේ ලිංගික නැඹුරුව ගැන බ්ලොග් අඩවියේ පළ කිරීම අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. ඒ දේ දැනගතයුතු අය පමණක් දැනගැනීම ප්‍රමාණවත්. සමලිංගිකත්වය ගැන කතාකරන්න සමලිංගිකයෙක්ම වියයුතුයි නම් ඒඩ්ස් ගැන ලියන්න ඒඩ්ස් රෝගියෙකුම විය යුතුයි, මානසික රෝග ගැන ලියන්න මානසික රෝගියකුම විය යුතුයි. මේ ලිපියේ උඩින්ම කියපු විදියට තමන් දන්න දේ ගැන පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක ලියන කෙනාට අයිතියක් තියෙනවා. මේ ලිපියෙන් මම උත්සාහ කලේ අන්න ඒ දේ. කියවලා ඒ දේ පිලිගැනීම හෝ නොගැනීම කියවන ඔබට අයිති කාර්යයක්.
ප.ලි. - මගේ ලිංගික නැඹුරුව ගැන බ්ලොග් අඩවියේ පළ කිරීම අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. ඒ දේ දැනගතයුතු අය පමණක් දැනගැනීම ප්‍රමාණවත්. සමලිංගිකත්වය ගැන කතාකරන්න සමලිංගිකයෙක්ම වියයුතුයි නම් ඒඩ්ස් ගැන ලියන්න ඒඩ්ස් රෝගියෙකුම විය යුතුයි, මානසික රෝග ගැන ලියන්න මානසික රෝගියකුම විය යුතුයි. මේ ලිපියේ උඩින්ම කියපු විදියට තමන් දන්න දේ ගැන පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක ලියන කෙනාට අයිතියක් තියෙනවා. මේ ලිපියෙන් මම උත්සාහ කලේ අන්න ඒ දේ. කියවලා ඒ දේ පිලිගැනීම හෝ නොගැනීම කියවන ඔබට අයිති කාර්යයක්.





කරුණු දන්නා කෙනෙක් මුල්වෙලා මේ විදිහට කරුණු පැහැදිලි කරලා දීපු එක කාලීන අවශ්‍යතාවයක්.
ReplyDeleteවටින විස්තරයක්...
ReplyDeleteහොඳ පෝස්ට් එකක් හොඳයි !! මේ වගේ වැඩිය කථා කරන්නැති පැති සාමාජීය මානසික පැතිකඩ තවත් කියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි
ReplyDeleteහොඳ ලිපියක් සහෝ..
ReplyDeleteදැනුවත් කලාට ස්තූතියි....මමත් ඔය සමලිංගිකයන්ට කැමතිම නෑහැ, එත් ඒ අයට කැමතිනම් නිතියෙන් අවසර දුන්නනම් ඉවරයි, මොකද කිසිම කෙනෙක්ගෙ ආශාවන්, කැමතිදෙවල් නිති-රිති,සංකෘතියකින් කවදාවත් හිරකරල තියන්න බැහැ,කවදා හරි නිති-රිති බිඳගෙන ආශාව ඉදිරියට එනවා...එක ලෝක ස්භාවය, එනිසා එ අයගෙ නිදහසට ගරුකරල එ අයටත් නිතියෙන් විවාහ වෙන්න අවසර දුන්නනම් ප්‍රශ්නය ඉවරයි...
ReplyDeleteතව ටික කාලෙකින් ලෝකෙ රොබෝවරු වැඩි වේවි..එතකොට රොබෝවරු එක්කත් සෙක්්ස කරන්න කස්ටිය පෙළඹේවි නේද??
ReplyDeleteඔබ වගේ ම්නෝවිද්‍යාව හදාරන කෙනෙක් මේ ගැන් කතාකරපු එක බොහොම වටිනවා
ReplyDeleteමගෙ අප්පේ.. මෙච්චර දෙයක් දැනං හිටියෙ නැහැ.
ReplyDeleteඒත් මම පිලිකුල් කරනවා. ඒක මගෙ වරදක් වෙන්න ඇති.
ඉතා වැදගත් ලිපියක් !!!...
ReplyDeleteඑල එල!වටින ලිපියක් අයියේ.....
ReplyDeleteමම හුගක් නොදන්න දෙයක් අදනම් දෑනගත්තා.ඒ වගේම මම ඔවුන්ව දෑඩි ලෙස පිලිකුල් කිරීමට ලක් කරපු කෙනෙක්,නමුත් ඒකත් අද බිදවෑටුනා.නමුත් මෙය ලංකාව වගේ රටක සමාජගත කිරීමටනම් මම තරයේ විරුද්දයි.ඒ මගේ මතය..නමුත් සියලුම මිනිසුන්ට අපි ගරු කල යුතුයි කියන ගුනාංගය අපි ඔවුන්ටද එය එලෙසම ලබා දිය හෑකි යන්න වග තේරුම් ගත්තා..නියමයි බ්ලොග්කරනයේ යථාර්තයද මෙයයි,අනික බහුතරය්ක් නොදන්නා ඉසව්වකට ගෙන යමින් හෑමදාම වගේ ලංකාවේ ලිංගිකත්වය ගෑන කතා නොකර මෙය කුනුහරුප කියන සමාජයට අයියා ලබා දෙන දායකත්වය ප්‍රශංසනීයයි..තව දුරටත් මම ඔබගෙන් මේ සම්බන්දව අලුත් දේවල් බලාපොරොත්තු වන අතරම ඔබගේ ඊලග පොස්ටුව එන තෙක් අපි බලාගෙන සිටිමු...
ReplyDeleteප/ලි අයියා ඔය ලියන හෑම එකක්ම අපේ රටේ හුගදෙනෙකුට මම කියලා දෙනවා.එහෙම කරන්නේ මගේ ඇග කසනවාටවත්,වෙනයම් අමාරුවකට නොව ලිංගිකත්වය ගෙදර මෑද සාලය තුල පවා කථා කල යුතු මාතෘකාවක් වන තත්වයට අද සමාජය පත් වී ඇති නිසා...
දැන් බන් උබ ඔය කියන්නේ සමලිංගිකත්වය අවුලක් නැහැ කියලනේ සරලම කෙටියෙන් ගත්තොත් , ???
ReplyDeleteඅනිත් පැත්තෙන් එක මානසික අසහනයක් කියලත් කියනවනේ බන් ?
උබට මතකනේ අර සිද්දිය ? බිමයි මමයි කලේ , එදා එකක් උබ කිව නිසාම අයින් කොරේ , ඇත්ත මම පිලිගන්නවා මම එහෙම කර එක වැරද්දක් කියල උගේ පැත්තෙන් බැලුවම ,
එත අනිත් එචුන්ගෙන් පැත්තෙන් බැලුවම , සමලින්ගිකයෝ ඇවිත් බෙහෙත් ලැබෙන්නේ නැති මානසික රෝගියෝ කියල අපිට ගන්න පුළුවන්නේ ,
ඉතාකොට අර අපි පොන්නයෝ (වැරදියට හිතන්න එපා ) කියන සමාජ කොට්ටසේ ගැන මොකෝ කියන්නනේ ?
උනුත් එහෙමනේ ?
අනිත් අතින් බලහන් බාල අපරාධ සමලින්ගිකයෝ නිසා නෙමේද වැඩි වෙන්නේ කියල , ඒවා එලියට එන්නේ නැහැනේ ,එක වැඩියෙම දන්නේ උබනේ මටත් වඩා ,
පොස්ට් එක දැන්ම එක නම සිරාවටම වටිනවා , ගොඩක් අයට වටිනා මාතෘකාවක් වෙයි
මොකද ප්‍රසිද්දියේ මොකෙක්වට්‍ත මේ වගේ මේ දේ ගැන කතා නොකරන නිසා ,
එත මම හිතන්නේ සම ලිංගිකත්වයට සාධාරණය කරන පැත්තට පොස්ට් එක බර වීම හොද නැහැ කියලයි ,
හොද පෝස්ට් එකක් අයියේ..
ReplyDeleteඑල එල..
අහ්.. මෙතන තියන දේවලින් 70% කට වඩා මට අලුත්නෙ.. ලිපියෙ වැදගත්කම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඉතිං.. කොහොම උනත් සමලිංගිකත්වය සමාජගත කළ යුතුද නැද්ද කියල හිතන්න, වාද කරන්න ගිහිල්ල ඔලුව විකාර කරගන්න නං උවමනාවක් මට නෑ.. ප්‍රශ්න නැතුවටයැ මට ඈ... :D
ReplyDeleteඑල ලිපියක්
ReplyDeletethanks aiya meka godak wedagath minissunta denenna one me loke godak lokui thaman hithan innawata wada kiyala. good job :)
ReplyDeleteබොහොම වටින ලිපියක් , කතා කළ යුතු මාතෘකාවක් , ලිපිය කියෙව්වත් සටහනක් යොදන්නට පමා වුනා ...ඒ ගැන සමාවන්න ..
ReplyDeleteඑක් එක් අයගේ ලිංගික හැඩගැස්වීම් පිළිබඳ ඔවුන්ගේ ඇති පෞද්ගලික කාරණයක් නිසා මන් නම් ඒක හරිද වැරදිද කියලා ජජ් කරන්නෙ නෑ. නමුත් සමලිංගික හෝ විශම ලිංගික අය කිසිම හයක් හතරක් නොතේරෙන බාලාපරාධ වලට යොමු වෙන එක නම් සමාජීය ප්‍රශ්ණයක්. අද මාධ්‍ය දිහා බැලුවොත් බහුතරයක් බාලාපරාධ වලට යොමු වෙලා තියෙන්නෙ විවාහ වෙච්ච ළමයි ඉන්න තාත්තලා. කාටවත් චෝදනා කරනවා නෙවෙයි මගේ නිරීක්ශනය මන් කීවෙ..
ReplyDeleteතාම වැටහුනේ නෑ මොකද ඒකට හේතුව කියලා.
ලිපියෙන් සාක්ච්ඡා කල කරුණු නම් හරි වටිනවා..
වැදගත් ලිපියක්.. දිගටම මේ වගේ දැනුවත් කරන්න..
ReplyDeleteජය වේවා..!
10 on 10 doc aiye
ReplyDeleteGood post bro...
ReplyDeleteසමාජය දැනුවත් කරන ලිපියක් . . .
ReplyDeleteමම මේ බ්ලොග් එක කියවපු පළවෙනි වතාව. මමත් පිරිමි සමලිංගිකයෙක්. සමලිංගිකත්වය ලෙඩක්ද නැද්ද කියන්න මම සූදානම් නෑ. හැබැයි විෂම ලිංගිකත්වයට කැමති අයගෙ හැඟීම් නොවටිනා ඒවා බව කියල මනුෂ්‍ය සිතුවිලි පහත් කරන්න මම කැමති නෑ. මේ වගේ ලිපි තියෙන හැම බලොග් එකක්ම වගේ මම කියවනවා. ඒවයේ කොමෙන්ට් දාන හැම කෙනාම ඉන්නේ අන්තගාමී තැනක. ඒවට ඉතින් කරන්න දෙයක් නෑ. ඒත් මට කොල්ලෙක් ඉන්නවා. හැබැයි බැඳලා පිස්සු කෙලින සමහරුන්ට වැඩිය අපි දෙන්නා නම් සතුටින් ඉන්නවා. මෙහම ලියන මමත් මගේ කොලු පැටියත් ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ චරිත දෙකක්. කිසි කෙනෙක් තවමත් වචනෙකින්වත් හිත රිදෙන්න දෙයක් කියල නෑ.
ReplyDeleteමේ ලිපිය මැදිහත්ව ලිව්වාට බොහොම ස්තුතියි.
Thumbs up for the post :)
ReplyDeleteනියමයි යාලුවා....... මම NIMH එකේ WD 2 වල කුමාර..
ReplyDelete