Posted by Pradeep Gunarathna at 12:36 AM
Read our previous post
මානසික රෝග මීට කාලෙකට ඉස්සර හැඳින්නුවේ "පිස්සු" (Lunatic) කියන නමින්. එහෙම හඳුන්වන්න හේතු වුනේ පූර්ණ චන්ද්‍රයා
සහ මානසික රෝග අතර සම්බන්ධයක් තියෙනවා කියන විශ්වාසය නිසා. (Luna කියන්නෙ හඳට) නමුත් පස්සෙ කාලෙකදි මේ නම වෙනස් වුනා.
මානසික රෝග වලින් පෙළෙන්නන් "පිස්සන්" වෙනුවට "මානසික රෝගීන්"
විදියට හඳුන්වන්න පටන්ගත්තා. "පිස්සන් කොටුව"(Lunatic Asylum) "මානසික රෝහල" බවට පත්
වුනා. නමුත් තවමත් අපි මානසික රෝගීන් හඳුන්වන්නේ "පිස්සා" කියලයි. මානසික
රෝග කියන්නෙ මොනවද? ඒවා හැදෙන්නෙ කොහොමද? ඒවාට ප්‍රතිකාර කරන්නෙ කොහොමද? කියන
දේවල් ගැන පොඩි විමසීමක් කරන්නයි සූදානම් වෙන්නේ.
මානසික රෝගයක්
හඳුන්වන්න පුළුවන් කරුණු 4කින්.
1.
Disorder
of the brain - මොළයේ ඇති වෙන අක්‍රමතාවයක්
ඒ කියන්නේ මොළය කියන අවයවයේ ඇති වන රසායනික
හෝ භෞතික අසමතුලිතතාවයක් කියන එක. හරියට කිව්වොත් හෘදයාබාධ කියන්නේ හදවතේ ඇතිවන
රෝගයක් වගේ මානසික රෝග කියන්නේ මොළය ආශ්‍රිතව ඇති වෙන රෝගයක්.
2.
Changes
in thoughts, emotions & perceptions - සිතුවිලි,
හැඟීම් සහ
සංජානනමය වෙනස්කම් ඇති වීම.
මොළය කියන්නෙ අපේ සිතුවිලි, හැඟීම් වගේ දේවල් පිළිබඳ කටයුතු කරන අවයවය
නිසා මොළය රෝගී වුනාම අපි හිතන පතන විදිය, අපිට දැනෙන දුක, සතුට, ආදරය, බිය වගේ හැඟීම්, අපි අහන දකින
දේවල් තේරුම් ගන්න විදිය වගේ මොළයෙන් කරන කාර්යයන් වල වෙනස්කම් ඇති වෙනවා.
3.
Abnormal behavior - හැසිරීමේ වෙනස්කම් ඇතිවීම.
මානසික ගැටළුවකින් පෙළෙන කෙනෙක් සිතන පතන
විදිය, හැඟීම් දැනෙන
විදිය වෙනස් වුනාම එයා හැසිරෙන විදිය වෙනස් වෙනවා.
4.
Impairment
of functioning / personal distress - එදිනෙදා වැඩ අතපසු
වීම, අපහසුවකින් පෙළිම.
මේ විදියට හැසිරීම වෙනස් වුනාම එදිනෙදා
කටයුතු කරගන්න අපහසු වෙනවා. මානසික අපහසුකාරී තත්වයක් ඇති වෙනවා.මේ කරුණු දැකගන්න
පුළුවන් කෙනෙක් අපි මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් කියලා හඳුන්වනවා.
ලෝකයේ මේ විදියේ ලක්ෂණ පෙන්වන, ඒ කියන්නේ
මානසික රෝග වලින් පෙළෙන අය මිලියන 450ක් ඉන්නවා. එයින් මිලියන 150ක්ම පෙළෙන්නේ
විශාදය කියන සුලබ මානසික රෝගයෙන්. මිලියන 50ක් අපස්මාරය සහ මිලියන 24ක්
භින්නෝන්මාදය කියන රෝග වලින් පෙළෙනවා. දළ වශයෙන් ගත්තොත් සෑම පවුල් හතරකින් එකකම
මානසික රෝගයකින් පීඩා විඳින සාමාජිකයෙන් ඉන්නවා.
අපි දන්නවා මානසික රෝග සහ සියදිවි නසාගැනීම
අතර සම්බන්ධයක් තියෙනවා කියලා. සෑම වසරකම මානසික රෝග නිසා මිලියන එකක ජනතාවක් සිය
දිවි නසාගන්නවා. ඒ වගේ දස ගුණයත් විසි ගුණයත් අතර පිරිසක් සියදිවි නසාගන්න උත්සාහ
කරනවා.
මානසික රෝග හැදෙන්නෙ කොහොමද?
මානසික රෝග ඇති වෙන්නේ මොළයේ පවතින රසායනික
සමතුලිතතාවය බිඳවැටීම නිසා. අපේ
ස්නායු පද්ධතියේ නියුරෝන අතර පණිවුඩ හුවමාරුව සිද්ධ වෙන්නේ රසායනික ද්‍රව්‍ය
භාවිතයෙන්. මේ එක් එක් රසායන ද්‍රව්‍යය මොළයේ තිබිය යුතු මට්ටමක් පවතිනවා. ඒ මට්ටම
අඩු හෝ වැඩිවීම නිසා මානසික රෝග ඇතිවෙනවා කියන එකයි දෙන්න පුළුවන් සරළම පිළිතුර.
අපි පරිගණක ඇසුරින් මේ කතාව පැහැදිලි කලොත් මොළය හරියට අපේ ප්‍රොසෙසර් එක වගේ. ඒකෙ
සිද්ධවෙන ක්‍රියාකාරකම් වෙන්න නිශ්චිත විදුලි බලයක් අවශ්‍යයි. මෙතනදි වෙන්නෙ ඒ
විදුලි බලය අඩු හෝ වැඩි වෙන එක. එතකොට ප්‍රොසෙසර් එක හරියට ක්‍රියා කරන්නෙ නෑ.
මානසික රෝග ඇතිවීමට බලපාන සාධක මොනවද?
විවිධ සාධක තියෙනවා. ඒවා වර්ග තුනකට බෙදන්න
පුළුවන්. ඒ තමයි රෝගය ඇතිවීමේ අවදානම වැඩි කරන සාධක, රෝගය ඇති කරන සාධක සහ රෝගය
පවත්වාගෙන යන සාධක.
රෝගය ඇති වීමේ අවදානම වැඩි කරන සාධක.
මෙම සාධක වලට නිරාවරණය වුනු කෙනෙක්ට ජීවිතයේ
කුමන හෝ අවස්ථාවක මානසික රෝගයක් වැළඳිමේ අවදානමක් තිබෙනවා. මේ සාධක නොමැතිව
වුනත් කෙනෙකුට මානසික රෝගයක් ඇති වෙන්න පුළුවන්. මෙතන සාකච්ඡා කරලා තියෙන්නෙ සුලබ
දේවල්.
- ජානමය ලක්ෂණ - මානසික රෝග පරම්පරාවෙන් පරම්පරාවට ඇති වීමේ වැඩි අවදානමක් තියෙනවා.
- ගර්භාෂයේ පරිසර තත්වය - දරුවා ගර්භාෂයේ සිටින කාලය තුල කළලය මුහුණ දෙන පරිසරය මානසික රෝග සඳහා බලපෑමක් ඇති කරනවා.
- උපතේදී සිදුවන අනතුරු - මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම, කායික අනතුරු ආදිය.
- දරුවා සංවර්ධනය වන අවධියේ මුහුණ දෙන මනෝ- සමාජයීය තත්වයන්
රෝගය ඇතිකරන සාධක
රෝගය ඇති වීමේ අවදානමක් සහිත පුද්ගලයෙක් මේ
සාධක වලට නිරාවරණය වුනොත් ඔහුට/ ඇයට රෝගය ඇති වෙන්න පුළුවන්. අවදානම වැඩි කරන සාධක
වලට මුහුණ නොදුන් කෙනෙකුට වුනත් මානසික රෝග ඇති වෙන්න මේ හේතු බලපාන්න පුළුවන්.
- කායික රෝග වලින් පෙලීම
- මත්ද්‍රව්‍ය සහ බෙහෙත්
- මානසික ආතතිය
- සමාජමය වෙනස්කම්
ඒ වගේම රෝගය සුව නොවී දිර්ඝ කාලීනව පවතින්න හේතු
වෙන කරුණු දෙකක් තියෙනවා.
- Intrinsic to the disorder - රෝගයේම ලක්ෂණයක් විදියට. - ඇතැම් රෝග සුව කළ නොහැකි රෝග විදියට හඳුන්වනවා. එවැනි රෝගයක් දීර්ඝ කාලීනව පවතින්න පුළුවන්.
- Social circumstances - සමාජ වාතාවරණය - රෝගියා මුහුණ දෙන සමාජමය ගැටළු නිසා රෝගය සුව නොවී පවතින්න පුළුවන්.
ලංකාවේ මානසික රෝග වලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව
වැඩි වීමට විවිධ හේතු බලපානවා.
- ජනගහනය වර්ධනය වීම
- දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධය
- සංක්‍රමණ - අවතැන් වීම
- මත්ද්‍රව්‍ය භාවිතය ඉහල යාම
- මානසික ආතතියට ගොදුරු වීම
මෙවැනි හේතු නිසා රටේ වැඩ කළ හැකි ජනතාව
මානසික රෝග වලට ගොදුරු වීම රටේ සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කරනවා. මේ බලපෑම
පුද්ගලයාට, පවුලට සහ සමාජයට වන බලපෑම විදියට වර්ග කරන්න පුළුවන්.
පුද්ගලයාට වන බලපෑම
- මානසික අපහසුකාරී බව
- වැඩ කිරීමේ හැකියාව අඩු වීම
- කායික රෝග වැළඳීමේ අවදානම වැඩි වීම
- සියදිවි නසාගැනීමේ අවදානම වැඩි වීම
- එදිනෙදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් වීම
- සමාජ අපවාදයට ලක්වීම
- පවුල සහ සමාජය විසින් කොන් කිරීම
පවුලට වන බලපෑම
- අසරණ බවට පත්වීම
- බලාපොරොත්තු විරහිත තත්වයට පත් වීම
- රෝගියා කෙරෙහි ඇතිවන බිය සහ අකමැත්ත
- රෝගී බව පිලිනොගැනීම
- කොන්කිරීමට සහ සමාජ අපවාදයට ලක්වීම
සමාජයට වන බලපෑම
- ආර්ථික වශයෙන් ඖෂධ සඳහා වියදමක් දැරීමට සිදු වීම සහ රෝගියාගේ ඉපයීමේ හැකියාව අඩු වීම නිසා වන පාඩුව
- සමාජ අපවාදය
- රෝගීන් කොන් කිරීම
මානසික රෝග සහ
දුප්පත්කම අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.
මානසික රෝග වල බලපෑම
වැඩි වීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා
- රෝගය හඳුනාගැනීමට කල් ගත වීම
- ප්‍රතිකාර සඳහා යොමු වීමට කල් ගත වීම
- සමාජ අපවාදය සහ කොන් කිරීම
- වැරදි විශ්වාස සහ වැරදි ආකල්ප
මානසික රෝග කලින් හඳුනාගැනීමෙන් සහ නිසි
ප්‍රතිකාර වෙත ඉක්මනින් යොමු වීමෙන් මානසික රෝග වල බලපෑම අඩු කරගන්නත්, සුවය
ඉක්මන් කරගන්නත් පුළුවන්. ආයෙ ලිපියකින් මානසික රෝග සඳහා ඇති ප්‍රතිකාර ගැන
කතා කරමු. යන්න
කලින් මතක් කරන්න ඕන බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනට මේ මාසෙ 23
වෙනිදා දක්වා පොත් භාර දෙන්න පුළුවන් කියන කාරණය.ප්‍රදීප්ගේ පිටුවෙ දීර්ඝම ලිපිය තමයි මේ. එහෙනම් ගිහින් එන්නම්. ජය..!









නියම පෝස්ට් එකක්...
ReplyDeleteඇත්තටම අයියේ හඳ මෝරනකොට පිස්සුව වැඩි වෙනවා කියන එක ඇත්තද???????
තරියා - ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මල්ලි. තවම ඔප්පු කරලා නෑ මානසික රෝග වැඩි වෙනවා කියලා හඳ මෝරනකොට. නමුත් එහෙම විශ්වාසයක් තියෙනවා. හරියට බබාලා හම්බ වෙනවා වගේ. ස්තුතියි කමෙන්ට් එකට සහ වැදගත් දෙයක් කතා කලාට.
ReplyDeleteවටිනා හරබර ලිපියක් මං හින්දා ලියුවද මන්ද.(විහිලුවට)
ReplyDeleteඉතාමත් හොද ලිපියක් කාලීන ප්‍රශ්නයක් පිලිබදව දැනුවත් කිරීම ඉතා වැදගත් !!! :)
ReplyDeleteමානසික රෝග ගැන පදනම සාරාංශයක් ලෙසින් කැටි කෙරුනු නියම ලිපියක් ...මේ වෙනුවෙන් ඔබ වෙන වෙහෙසට මගෙත් ස්තුතියි
ReplyDeleteවැදගත් ලිපියක්. ජය වේවා සහෝ!!!
ReplyDeleteinteresting post. If possible please write about the social responsibilities and personal behavior when we deal with these people. Thanks
ReplyDeleteවෙනදා වගෙම වටිනා ලිපියක් දැනුවත් කිරිම පිළිබඳ ඔබට ස්තුතී
ReplyDeleteඕනම කරන කරුණු ටික පේලියට තියල කියල දෙන්න අයියට හොඳ හැකියාවක් තියනව.. අනිත් එක කම්මැලි නැතුව ලේසියෙන් තේරුම් අරගෙන කියවන්න පුලුවන් ශෛලියක් තියනව.. නැත්තං ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කියවෙන්නෙ නෑ තියන කම්මැලිකමට.. ඊළඟ පෝස්ට් එක අර අනිත් කරුණු දෙක ගැන ලියමු එහෙමනං.. කම්මැලිකම කියන්නෙත් මානසික රෝගයක් වෙන්න පුලුවන්ද?? :D
ReplyDeleteහැමදාව වගේ වටිනා ලියවිල්ලක්.
ReplyDeleteඅයියේ මම අහන්න හිටියේ අපස්මාරය කියන්නෙත් මානසික රෝගයක්ද කියල. මම හිතාන හිටියේ ඒක මානසික රෝගයක් නෙමෙයි කියලා.
පැතුම් - අපස්මාරය මානසික රෝගයක්ම නොවුනත් ඒකත් මොළය ආශ්‍රිතව ඇති වෙන රෝගයක්. අපස්මාරය නිසා විවිධ මානසික ගැටළු ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපස්මාරය ස්නායු ආබාධයක් විදියට වගේම මානසික රෝගයක් විදියටත් සළකනවා.
ReplyDeleteකියවපු හැමෝටම ස්තුතියි. ජය..!
පිස්සු හැදෙයි සඳ බබලයි... හැම මානසික රෝගියෙක්ම 100% සුව කරන්න පුලුවන්ද?
ReplyDeleteවැදගත් ලිපියක් ...
ReplyDeleteබිම්සර - මානසික රෝග හැදෙන අයගෙන් 3/4ක්ම සුව කරන්න පුළුවන් (සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි රෝග වුනත් පාලනය කරන්න පුළුවන්). හැබැයි රෝගය කලින් හදුනාගැනීමත්, කල් නොයවා නිසි ප්‍රතිකාර ගැනීමත් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම බෙහෙත් නොකඩවා ගැනීමත් අත්‍යාවශ්‍යයි. ඒ ගැන ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්නවා. කියවපු හැමෝටම ස්තුතියි.
ReplyDeleteසුපිරි ලිපියක් ඈ!බලං ගියාම අපි ගොඩකට පිස්සුනේ ඈ!
ReplyDeleteVery Interesting and useful post. thanx 4 this
ReplyDeleteඅඩේ එතකොට කව්රු හරි අපිට පිස්සා කිව්වොත් අපි ආඩම්බර වෙන්න ඕන් ඇයි ඉතිං ඌ කියලා තියෙන්නේ අපි හඳ වගේ කියලනේ...හෙ හෙ
ReplyDeleteනියම පෝස්ට් එකක්......
වටින කරුණු ගොඩක් දැන ගත්තා. ස්තුතියි ඔබට!!
ReplyDeleteනියම ලිපියක් අය්යේ. මොකද අපි හැමෝටම මොකක් හරි මානසික අභාධයක් තියෙනවා කියල බුදු බනෙත් තියෙනවනේ.
ReplyDeleteමට තියෙන ප්‍රශ්නේ මානසික රෝග කියන එක හොඳ කරන්න බැරිද? මොකද මන් අහල තියෙනවා මානසික රෝහලේ මුළු ජීවිත කාලයම ගත කරපු රෝගීන් ගෙන.
හරි මට පිස්සු නෑ , එකත් එහෙනම් කොන්ඵර්ම් !
ReplyDeleteපසුව : තොට සැකය ගැන නේද ලියන්න කිවේ :/
ගොඩක් වටින තොරතුරු ටිකක් අයියේ..
ReplyDeleteමට පිස්සු බව මමම සහතික කර ගතිමි.ස්තූතියි අයියේ..
ReplyDeleteසෑහෙන්න දේ දැනගත්තා
ReplyDeleteඅපිත් මේවා දැනගෙන ඉන්න එක හොඳා..
ReplyDelete"සබ්බේ සත්තා උන්මත්තකා..." කියල බුදු හාමුඩුරුවොත් කියල තියෙනවනේ...
ReplyDeleteමෙහෙම හිටියට අපි හැමො'ටම මොන ම හරි පිස්සුවක් තියෙනවා.