Posted by Pradeep Gunarathna at 12:05 AM
Read our previous post
මේ පැත්තේ නිතර යන එන
අයට මතක ඇති මීට මාස දෙකකට විතර කලින් ඉඳලා ප්‍රදීප්ගේ
පිටුවේ “ලෝක මානසික සෞඛ්‍ය දිනය” ගැන විවිධ දේවල් පළ වුනා. ඔන්න
හෙට, ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ 10 වෙනිදා තමයි දවස. අද ප්‍රදීප්ගේ පිටුවේ සාකච්ඡා
කරන්නේ ඒ ගැන.
ලෝක මානසික සෞඛ්‍ය දිනය ආරම්භ වුනේ 1992 අවුරුද්දේ. ඒ රිචඩ් හන්ටර් (Richard Hunter 1914 – 2004) කියන මානසික සෞඛ්‍ය සේවකයාගේ අදහසකට අනුව. මේ තමයි එහි 20
වන සංවත්සර වසර. ලෝකයේ සෑම රටකම මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම සහ ආකල්ප තවමත් ප්‍රාථමික
මට්ටමේ පවතින නිසාම පසුගිය වසර කීපය මුළුල්ලේ සෑම වසරකම මේ දිනය මහජන අවබෝධය වර්ධනය
කිරීමේ දිනයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් එක් එක් වසර වල විවිධ තේමාවන්
යටතේ ලොව පුරාම විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා.
- 2009 - ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුල මානසික සෞඛය ප්‍රවර්ධනය
- 2010 - නිදන්ගත කායික රෝග සහ මානසික සෞඛ්‍යය
- 2011 - මානසික සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කිරීම
මේ විදියට මානසික සෞඛ්‍යය දින තේමාවන් හඳුන්වා දීම, වැඩසටහන් මෙහෙයවීම වාගේ
දේවල් කරන ජාත්‍යන්තර සංවිධානය තමයි “ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය” (World Fedreation of Mental Health). ඒ සංවිධානය
විසින් 2012 ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් යොදාගෙන තියෙන තේමාව තමයි “විෂාදය, ගෝලීය අර්බුදයක්” (Depression: A Global Crisis) කියන එක.
මේ තේමාව තෝරාගැනීම පිළිබඳව ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වෙන විදියට ඔවුන් විෂාදය
කියන මාතෘකාව තෝරාගෙන තියෙන්නේ එහි ඇති වේදනාකාරී බව, සුලබතාවය සහ පහසුවෙන් සුවකළ
හැකි බව නිසා. විෂාදය කියන්නේ ලෝකයේ පවතින වේදනාකාරීම රෝග පහෙන් එකක්. ඒ වේදනාකාරී
බව නිසාම විෂාදයෙන් පෙළෙන අය සිය දිවි නසාගන්න තියෙන අවදානම ගොඩක් වැඩියි. ඒ නිසා
විෂාදය පිළිබඳව ජනතාවගේ අවධානය වැඩි වීම අත්‍යවශ්‍යයි. තත්වය තවත් බරපතල වෙන්නේ ප්‍රබල
මානසික රෝග අතරින් සුලබම මානසික රෝගය විෂාදය වීම කියන කාරණයත් එක්ක. ලෝකයේ සෑම
පිරිමි අය දස දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් (1/10) ජීවිතයේ කුමන හෝ කාලයක විෂාදයෙන්
පෙළෙනවා. ඒ වගේම ලෝකයේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් (1/4) ජීවිතයේ
කුමන හෝ කාලයක විෂාදයෙන් පෙළෙනවා.
නමුත් විෂාදය සුව කළ හැකි රෝගයක්. මූලික අවස්ථාවේදී හඳුනාගැනීමෙන් සහ නිසි
ප්‍රතිකාර කිරීමෙන් විෂාදය සම්පූර්ණයෙන්ම පාහේ සුවකරන්න පුළුවන්. ඒ නිසා විෂාදය
පිළිබඳව ජනතා අවධානය වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වෙනවා. මේ අවබෝධය තවත් වැදගත්
වෙන්නේ 2020 වෙනකොට ලෝක ජනගහනයෙන් සැම තිදෙනෙකුගෙන්ම දෙදෙනෙක් (2/3) වයස්ගත වූවන්
වන නිසා. වයස්ගත වීමේදී සහ නව යොවුන් වියේදී විෂාදය වැළඳීමේ අවදානම වැඩි බව
සොයාගෙන තිබෙනවා. ඒ නිසයි මේ වසරේ මානසික සෞඛ්‍ය දිනය විෂාදය වෙනුවෙන් වෙන්
වෙන්නේ.
මානසික සෞඛ්‍ය දිනය ලොව පුරා විවිධ විදියට ක්‍රියාත්මක වෙද්දි අපේ රටෙත්
මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම පවත්වනු ලබනවා. සමහර වෙලාවට අපි ජාත්‍යන්තර තේමාවට
අනුව වැඩසටහන් ක්‍රියාත්මක කළත් සමහර අවුරුදු වල අපි අපේම තේමාවකට අනුව වැඩසටහන්
ක්‍රියාත්මක කරනවා.
- 2010 - මානසික යහපැවැත්ම උදෙසා සබඳතා ගොඩනගමු.
- 2011 - හදවතේ සෙනෙහසින් මනස සුවපත් කළ හැකිය.
ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය දිනය සමරන්නේ “විෂාදයෙන් නිදහස්
වෙමු” කියන තේමාව යටතේ. ඒ නිමිත්තෙන් රටපුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සතිය අද (9) ආරම්භ වෙනවා. මේ තමයි අපේ රටේ මානසික සෞඛ්‍ය
සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන “ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය” ලෝක මානසික සෞඛ්‍ය
දිනය සමරන ආකාරය.
ඔක්තෝබර් 9, 10, 11 - “මානසික රෝගයකින් පෙළෙන අපේ ඥාතියා රැක බලාගන්නේ
මෙහෙමයි” කියන මාතෘකාව යටතේ පාසල් ළමුන් අතර පැවැත්වූ චිත්‍ර, රචනා සහ වැකි
නිර්මාණ තරඟයේ තෝරාගත් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙනවා. ඒ
වගේම ඒ දවස් තුනේදි මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩමුළු කිහිපයක් ජාතික කලාභවනේ බටහිර
ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
ඔක්තෝබර් 12 සහ 13 - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විවෘත දින දෙකක්
පවත්වනු ලබනවා. ඒ දවස් දෙකේදි ලංකාව පුරාම ඉන්න ඕනම කෙනෙකුට ජාතික මානසික සෞඛ්‍ය
විද්‍යායතනය (ඉස්සර හැඳින්නුවේ අංගොඩ මානසික රෝහල, එහෙමත් නැත්නම් පිස්සන් කොටුව
කියලා) ඇතුලට ඇවිත් එහි කෙරෙන දේවල් දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ දවස් දෙකේදිත්
මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩමුළු කිහිපයක් පවත්වනවා. එන විදිය මෙහෙමයි. කොළඹ ඉඳලා 143 බස් එකේ ඇවිත් අංගොඩ හංදියෙන් බැහැලා 166, 164, 150 බස් එකක රුපියල් 9ක දුර එන්න පුළුවන්. බොරැල්ලේ ඉඳලා එනවානම් 150 බස් එකේ එන්න. ටවුන්හෝල් ඉඳලා එනවානම්164, 166, 150 බස් වල එන්න පුළුවන්.
ඒ වගේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් නිර්මාණය කරපු “පීඩිතයන්ගේ වේදිකාව”
(Theatre of the Oppressed) මණ්ඩප රංගය (Forum Theatre) පහත දිනවල වේදිකාගත කෙරෙනවා. ඔගස්ටෝ බෝවාල් (Augusto Boval) කියන බ්‍රසීලියානු
නාට්‍ය අධ්‍යක්ෂ වරයා විසින් ලොවට හඳුන්වා දුන්
මණ්ඩප රංගන නාට්‍ය ක්‍රමයේදී නරඹන්නන්ටත් නාට්‍යයට සම්බන්ධ වීමේ අවස්ථාව හිමි
වෙනවා. මෙවර නාට්‍යයේ විශේෂත්වය තමයි නාට්‍යයට පදනම් වෙලා තියෙන්නේ මානසික රෝග
වලින් පෙළෙන තරුණයකුගේ සත්‍ය ජීවිත කතාව වීම. ඊටත් වඩා වැදගත් කාරණය තමයි මේ
තරුණයා මේ නාට්‍යයට රංගනයෙන් දායක වීම.
ඔක්තෝබර් 10 - උදේ
8.30ට කොළඹ ජාතික කලාභවන
ඔක්තෝබර් 13 - උදේ
8.30ට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
ඔක්තෝබර් 15 - සවස 1.30ට මුල්ලේරියාව අතරමැදි නිවස්නය
මේ සියල්ලට අමතරව මානසික සෞඛ්‍ය දින පාගමන ඔක්තෝබර් 10 වෙනිදා උදේ 7.30ට
ජාතික කලාභවන අසලින් ආරම්භ වෙනවා. ඉතින් මේවාට ආවොත් අපිවත් මුණගැහිලා යන්න
පුළුවන්. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.
ඒ වගේම මානසික රෝග වලින් පෙළෙන අයගේ ස්වයං උපකාරක සංවිධාන වලට ආධාර රැස්
කිරීම සඳහා සමනලයන් අලෙවි කිරීමේ වැඩසටහනකුත් මේ එක්කම සිද්ධ වෙනවා. සමනලයා
කියන්නේ මනසේ සංකේතය. මනසත් හරියට සමනලයා වගේ. හරිම සියුම්, සුන්දරයි. නමුත්,
සමනලයෙක් අතින් ඇල්ලුවොත් උගේ පියාපත් විනාශ වෙනවා වගේ මනසට වෙන යම් සුළු බලපෑමක්
නිසා කෙනෙක්ගේ ජීවිතයම අඳුරු වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතය අඳුරු වුනු සොයුරු
සොයුරියන් එකතු වෙලා හදාගත්ත සංවිධාන දැන් රට පුරාම තියෙනවා. ඒ සංවිධාන වලට ආධාර
පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමග එකතු වෙලා VSO කියන රාජ්‍ය නොවන සංවිධානය සමනලයන් අලෙවි
කරනවා. ඔක්තෝබර් 10 වෙනිදට ලිප්ටන් වටරවුමේ ඔඩෙල් ප්‍රදර්ශනාගාරය අසලට ගියොත්
ඔබටත් සමනලයෙක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම wmhd2012srilanka@gmail.com කියන ඊමේලි
ලිපිනයෙනුත්, මුහුණු පොතේ මිතුරු පිටුවෙනුත් ඒ අය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම මතක් කරන්න ඕන
බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන සඳහා පොත් එකතු
කිරීමේ කටයුතු සාර්ථකව අවසන් වුනු බව. ඒ පොත් ඉදිරියේදී අම්පාර උහන ගලහිටියාගොඩ
මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතට පත් වේවි. ඒ පිළිබඳ තොරතුරු නිල බ්ලොග් අඩවිය ඔස්සේ ඉදිරියේදී දැනගන්න ලැබෙයි.
එහෙමනම් ගිහින්
එන්නම්. ඉදිරි දවස් කීපයේදී පැවැත්වෙන මේ වැඩසටහන් වලට ඇවිත් යන්න එන්න. ඒ වගේම
ආවොත් මතක් කරලා මටත් කතා කරලා යන්න. 10 වෙනිදා කලාභවනෙත්, 12 සහ 13 ජාතික මානසික
සෞඛ්‍ය විද්‍යායතනයෙත් මම අනිවාර්යයෙන්ම ඉන්නවා.




.jpg)



අයියා, 12 වෙනිදා එන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම්...හරිම කැමතියි මේ වගේ සත්කාර්ය වලට සම්බන්ධ වෙන්න ලැබෙනවනම්...
ReplyDeleteහැමදාම වගේ ගොඩාක් වැදගත් ලිපියක්!! :)
ReplyDeleteඒකියන්නේ අපේ දවස හික්ස් එදාට තිබෙන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතමි
ReplyDelete:( මට එන්න බැරි දවසක්ම දාගන්නවනේ හැමදාම :(
ReplyDeleteමේ දවස් වලනං මටත් මානසික රෝගයක් හැදිලා තීන්නේ...
ReplyDeleteගොඩාක් වැදගත් ලිපියක්. විවිධ මානසික තත්ව ගැන සිංහලෙන් තියන ලිපි අඩුයි.
ReplyDeleteමම අද තමා මේ පැත්තට ආවේ. :) :) :) :) :)
හැබෑම සත්ගුණවත් කාර්යයක් ප්‍රදීප් අයියේ. සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteහොඳ වැඩසටහනක් අය්යේ ඒත් එන්න වෙන එකක් නෑ
ReplyDeleteසාර්ථක වෙන්න කියල පතනවා...
ඔය කියන විෂාදය වෙන්න ඕනෙ මටත් ලව් හුටපටයක් නිසා අවුරුද්දක් විතර කාලයක් එහෙම තිබුනා. දැඩිව දැනුනු හිත් වේදනාව/සිතේ සතුට සැහැල්ලුව නැතිවීම/ අනිත් අය අතර මට තැනක් නැතැයි සිතීම වගේ දේවල් තමා ඒ කාලෙ වැඩිපුර දැනුනෙ..
ReplyDeleteඒ දැරිවිගෙන් වෙන් වෙලා ඔපීසිය මාරු කලාට පස්සෙ ලෙඩේ සුව වුනා... ඉලව් ලව් නැතුවට සිරා අද බොහොම හොද මානසික තත්වයකින් හොද සතුටින් ජීවත් වෙනවා....