Comments

Thursday, December 27, 2012

ලෝක විනාශය - තවත් එක් බොරුවක් නොවේ...

Posted by at 10:59 PM Read our previous post
වසර 2012 නිමා වීමට තව ඇත්තේ දින තුනක් පමණයි. ගෙවීයන අවුරුද්දේ වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාව වුනේ ලෝක විනාශය. මායාවරුන්ගේ දින දර්ශනය පදනම් කරගනිමින් ඇතිවුනු සැකය විවිධ මිත්‍යාවන් වලින් පෝෂණය වෙලා ලෝකය පුරාම විශාල කැළඹීමක් ඇති කලා. නමුත් ඒ දවසෙදි සැලකිය යුතු මට්ටමේ හානියක් සිදු වූ බවක් නම් වාර්තා වුනේ නෑ. ඒ ගැන විවිධ ලිපි, ප්‍රවෘත්ති, වාර්තා ආදිය ඔබ කියවන්නට ඇති. ලෝක විනාශය කියන්නේ මොකක්ද? එයින් බොහෝ විට අදහස් වෙන්නේ පොළව විනාශ වී යාමට වඩා පොළවේ සිටින ජීවීන් ව වී යාම ගැනයි. අද ප්‍රදීප්ගේ පිටුවෙනුත් මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක විනාශයක් සිදු විය හැකිද? එසේනම් ඒ කෙසේද? යන්නයි.


 ලෝක විනාශය ගැන විවිධ වූ මතවාද විවිධ ආගමික සංකල්පයන් තුල අඩංගු වෙනවා. බුදු දහමේ සහන් වෙන්නේ සූර්යයන් සත් දෙනෙක් පහළ වීමෙන් ලෝකයේ අවසානය උදා වෙන බවයි. ඒ ගැන විස්තර මෙතනින්බලන්න. බයිබලයේ සහන් වෙන්නේ ලෝකය ජලයෙන් යට වීමෙන් ලෝකය විනාශ වන බවයි. ලෝක විනාශය සත්වයින්ගේ විනාශය සමග සිදුවන බවත්, එය ආරම්භ වන්නේ සිරියාවෙන් බවත් කුරාණයේ සඳහන් වෙනවා. (මම වැරදි නම් නිවැරදි කරන්න.) මේ ආකාරයටම විවිධ ආගම් සහ ගෝත්‍ර වලට ලෝක විනාශය ගැන තමන් විශ්වාස කරන පිලිගැනීමක් තිබෙනවා. ඒ ආකාරයටම විද්‍යාඥයින් පිලිගන්නා ආකාරයට ලෝකය විනාශ විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. නමුත් එයින් කුමක් සිදුවීම නිසා ලෝකය විනාශ වේ දැයි කීමට කිසිවෙකුට හැකියාවක් නෑ.

ඉන් එකක් තමයි අභ්‍යාවකාශයේ සිට එන මීටර් 300කට වඩා විශාල ග්‍රහකයක් පොළවේ ගැටීමෙන් විය හැකි විනාශය. මෙවැනි ග්‍රහක සෑම වසර 1000ක පමණ කාලයකට වරක් පොළවට සමීප වෙනවා. පොළවට ආසන්නයෙන් ගමන් කරන විශාල ප්‍රමාණයේ ග්‍රහක 500ක් පමණ මේ වන විට සොයාගෙන තිබෙනවා. නමුත් හඳුනානොගත් ග්‍රහක ඒ වගේ දෙගුණයක්, තුන්ගුණයක් විතර තියෙන්න පුළුවන්. නමුත් එයින් එකක් පොළව හා ගැටීමට ඇත්තේ ලක්ෂයකට එකක් විතර සුළු ඉඩකඩක්. එවැන්නක් ගැටුනොත් ඇතිවිය හැකි සුනාමි රළ නිසා ගොඩබිම් ඛාදනය වීම, ගැටීමේදී පිටවන අංශු නිසා වායුගෝලය දූවිලි වලින් පිරීගොස් පොළවට හිරු එළිය නොලැබීම, ගැටීමේ කම්පනය නිසා ගොඩනැගිලි ආදිය විනාශ වීම වැනි දේ නිසා මිනිසුන් ඇතුළු ජීවීන් වඳවී යා හැකියි.


තවත් එක් ආකාරයක් තමයි හඳුනානොගත් රෝග තත්වයක් නිසා සිදුවිය හැකි විනාශය. ඔබට මතක නම් පසුගිය වසර දහයක කාලය තුල විවිධාකාරයේ අළුත් වයිරස් ආසාදන කීපයක්ම ලෝකය පුරා පැතිරුනා. ගවයින්ගේ කුර සහ මුඛ ආසාදනය, AH1N1, සූකර උණ ආදි වසංගත රෝග ඉන් කිහිපයක්. මැලේරියා වසංගතය යටත්විජිත යුගයේදී අපේ රට තුල පැතිරී ගිය බව වාර්තා වෙනවා. මහාමාරිය කියන නවකතාවෙන් කියවෙන්නේ මහාමාරිය වසංගතය නිසා නගරයක සිටි ජනතාව විශාල ප්‍රමාණයක් මිය යන සිද්ධියක්. I am legend කියන හොලිවුඩ් චිත්‍රපටයේත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන එවැනි ආසාදනයක් ගැන කියවෙනවා. මෙවැනි කුමක් හෝ රෝග තත්වයක් ලෝකය පුරා පැතිරී ගොස් ලෝකයේ ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ වීමේ හැකියාවක් තිබෙනවා.


තවත් එවැනි ආකාරයක් වන්නේ ස්වභාවික ව්‍යසන. භූ තැටි වල සිදුවන චලනයක් නිසා ඇතිවන විශාල භූමිකම්පාවකින් ජීවීන් විනාශ වී යා හැකියි. විශේෂයෙන්ම මුහුදේ සිදුවන භූ චලනයක් නිසා ඇතිවන සුනාමි තත්වයකින් මිනිසුන් විනාශ වී යා හැකියි. මීට වසර අටකට පෙර ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් 9.1ක භූ චලනයක් නිසා ඇතිවූ සුනාමියකින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් ගණනාවක පුද්ගලයන් ලක්ෂ ගණනක් (ලිඛිත වාර්තා වලට අනුව 227,898 දෙනෙක්) ජනතාව මියගියා. ඒ ගැන වාර්තාව මෙතනින්. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ මයික් මැක්වේ රචනා කල රික්ටර් 10 ප්‍රබන්ධයේ රික්ටර් 10ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් නිසා සිදුවිය හැකි විනාශය ගැන දක්වලා තිබෙනවා. තවත් එවැනිම ස්වභාවික සංසිද්ධියක් තමයි ගිණිකඳු. දැවැන්ත ගිණිකඳු පිපිරීමක් නිසා ඇතිවන දුමාරයෙන් කාලයක් තිස්සේ පොළවට හිරු එළිය නොලැබී යන්න පුළුවන්. එවිට පොළවේ ආහාර චක්‍ර විනාශ වෙලා ජීවීන් වඳ වී යාමේ හැකියාවක් පවතිනවා.


තවත් එවැනි ආකාරයක් තමයි සුර්යයා මත සිදුවන පිපිරීම්. යම්කිසි චක්‍රයකට අනුව සිදුවන මෙවැනි පිපිරීම් කාලයකට සැරයක් සිදුවෙනවා. එවැනි එක් විශාල විදාරණයක් ඉදිරි වසරේදී සිදුවිය හැකි බවට මත පල වී තිබෙනවා. නමුත් එවැනි විදාරණයන් සෑමවිටම පෘථිවිය දෙසට එල්ල වන්නේ නෑ. එලෙස එල්ල වුවහොත් පෘථිවියට එල්ල වන සූර්ය විකිරණ ප්‍රමාණය සිය දහස් ගුණයකින් වැඩිවී පෘථිවියේ සන්නිවේදන පද්ධති, විදුලි පද්ධති ආදිය බිඳවැටීමෙන් විශාල විනාශයක් සිදුවීමේ හැකියාව තිබෙනවා.

තවත් එක් ආකාරයක් තමයි මිය යමින් පවතින තරුවකින් නිකුත් වන ගැමා කිරණ නිසා සූර්යග්‍රහ මණ්ඩලයම විනාශ වී යා හැකියි. සූර්ය ග්‍රහ මණ්ඩලයට තරමක් ආසන්නයේ පවතින විශාල ප්‍රමාණයේ තරුවක් සුපර්නෝවාවක් ඇතිකරමින් පුපුරා යන විට එහි අක්ෂය සූර්යග්‍රහ මණ්ඩලය දෙසට හැරී තිබුනොත් එහිදී නිකුත් වන ගැමා කිරණ නිසා සූර්යග්‍රහ මණ්ඩලය විනාශ වී යා හැකියි. මෑතකදී සොයාගත් පොළවේ සිට ආලෝක වර්ෂ 8000ක් පමණ ඈතින් පවතින WR101 නමැති මිය යමින් පවතින තාරකාව එවැන්නක්.


ඒ වගේම අභ්‍යාවකාශයේ පවතින කළු කුහරයක පවතින අධික ගුරුත්ව බලය නිසාත් සූර්යග්‍රහ මණ්ඩලය විනාශ වී යා හැකියි. කළුකුහර විශ්වයේ විවිධ ස්ථාන වල පැවතිය හැකිය. ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය අධිකය. එවැනි කළු කුහරයක් සූර්ග්‍රහ මණ්ඩලය අසලින් ඇදී ගියහොත් පොළව ඇතුළු ග්‍රහලෝක ආදියේ ගමන්මග වෙනස් වීමටත් ග්‍රහලෝක ඒ තුලට ඇදී යාමටත් හැකියි. එවැන්නකදිත් ලෝකය විනාශ වීමේ හැකියාවක් තිබෙනවා.


මෙතෙක් අප සාකච්ඡා කලේ මිනිසාගේ සෘජු බලපෑමක් නොමැතිව ලෝකය විනාශ විය හැකි ආකාර කිහිපයක්. නමුත් මිනිසාගේ සෘජු දායකත්වය නිසාත් ලෝකය විනාශ වී යා හැකියි. ඉන් ප්‍රබලම කාරණය තමයි යුද්ධ. යුද්ධ වලදී භාවිතා කරන තාක්ෂණික අවි ආයුධ නිසා පෘථිවියේ විශාල ප්‍රදේශයක් එකවර විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. එවැනි දරුණු යුද්ධයක් හෝ වැරදීමකින් සිදුවන ආයුධ භාවිතාකිරීමක් නිසා පෘථිවියේ ජීවීන් සමූල ඝාතනය වී යා හැකියි. ඒ වගේම රසායනික අවි සහ ජෛව අවි නිසාත් මෙවැනිම විනාශයක් සිදුවීමේ අවදානමක් පවතිනවා. එවැනි එක් ජෛව අවියක් තමයි ඇන්ත්‍රැක්ස් වයිරසය. ආර්ථික පද්ධතියේ සිදුවන විශාල බිඳවැටීමක් නිසා මිනිසුන්ට සිදුවන ආහාර ඇතුළු පහසුකම් හිඟය සහ ඒ ආශ්‍රිත වෙනත් සාධක හේතුවෙන් මිනිසුන් මියයාමටත්, විශාල වශයෙන් සියදිවි නසාගැනීමටත් හැකියාව ඇතැයි විද්‍යාඥයින් උපකල්පනය කරනවා. යුරෝපයේ පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.



පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් ගැනත් විවිධ මතවාද පවතිනවා. එහෙත් එවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බුද්ධිමත් ජීවීන් පිරිසක් පිලිබඳව මෙතෙන් වාර්තා වී නැහැ. මෑතකදී ලංකාවේ වැසි ජලයේ සිටි ක්ෂුද්‍ර ජීවීන් පෘථිවියට බාහිරින් පැමිණෙන්නට ඇතැයි සැක කලත් මෙතෙක් ඒ බව තහවුරු වී හෝ පිලිගත් ආයතනයක සැකයට භාජනය වී හෝ නැහැ.




කොහොම වුනත් ලෝකය කවදා විනාශ වේදැයි කිසිවෙකුට නිශ්චිතවම ප්‍රකාශ කිරීමට හැකිවී නැහැ. ඒ දිනය හෙට වන්නටත් පුළුවන්. නැතහොත් තව වසර සියයකින්, දහසකින් හෝ ලක්ෂයකින් වන්නටත් පුළුවන්. ඒ දවස කවදා වුනත් එය නැවැත්වීමට අපිට ඇත්තේ ඉතා සුළු ඉඩක් පමණයි. එහෙත් ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ කිරීම අත්‍යාවශ්‍යයි.

මේ දිනවල රටේ හැමතැනකම මෑත කාලයේ සිදු නොවූ ආකාරයේ සිදුවීම් වාර්තා වෙනවා. මේ සිදුවීම් ලෝක විනාශය පිළිබඳ මතය තවත් ශක්තිමත් කරන්න දායක වුනා. මේ ලියන මොහොත වන විටත් කඳුකර ප්‍රදේශ නාය යමින් පවතිනවා. ගංගා සහ ජලාශ උතුරා යමින් පවතිනවා. මෙහෙම වෙන්නෙ ඇයි? ස්වභාවික විපත් වලින් බොහොමයකට මානව ක්‍රියාකාරකම් සෘජුවම බලපෑම් ඇති කරනවා. පසුගිය කාලය පුරාම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වන විනාශයත්, නිසි පරිදි පරිසර ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ ඉදිකිරීම් හා ව්‍යාපෘති වලින් සිදුවන පරිසර හානියත් නාය යෑම් සඳහා විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. 2004 වසරේදී සිදුවූ සුනාමි ඛේදවාචකයේදී විශාලම බලපෑමක් එල්ල වූ පැරෑලිය ප්‍රදේශයේ කඩොලාන ශාක පරිසරය විනාශ කොට තිබූ බව වාර්තා වුනා. අම්පාර ප්‍රදේශයේ විශාල ප්‍රමාණයෙන් සිදුකරන ගල් කැඩීම් මෑතකදී සිදුවූ භූ චලනයක්ට හේතු වන්නට ඇතැයි මතයක් පළ වී තිබුනා. මේවායින් බොහොමයක් වලක්වා ගත හැකිව තිබූ විනාශයන්. නමුත් අපි එදා ඒ ගැන සැලකිලිමත් නොවූ නිසා අද එයින් පීඩා විඳිනවා. ඒ නිසා ඒවා පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.


ලෝක විනාශ, භූමිකම්පා, නායයාම්, ගංවතුර ගැන කතාබහ අතරෙ ඔබ මේ පෝස්ට් එක කියවන දෙසැම්බර් 28 වෙනිදා විශේෂ දවසක්. මීට අවුරුදු 27කට කලින් දෙසැම්බර් 28 වෙනිදාවක උපන් එකෙක් නොවෙන්න ඔබට මේ කරදරකාර බ්ලොග් එක කියවන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අද දවස මේ බ්ලොග් එක කියවන හැමෝටම ගොඩක් වටිනවා. ඒ එක්කම මතක් කරන්න ඕන ජනවාරි 27 වෙනිදා පැවැත්වෙන බ්ලොග් සුහද හමුව. එදාට බ්ලොග් ලියන කියවන හැම කෙනෙක්ම ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට එකතු වෙයි කියලා ප්‍රදීප්ගේ පිටුව බලාපොරොත්තු වෙනවා.


අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දකුත් උදාවෙන එකේ හැම කෙනෙක්ටම අළුත් බලාපොරොත්තු ඇති. ඒ හැම එකක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වසරේදී ප්‍රදීප්ගේ පිටුවත් වැඩ කටයුතු කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා උසස් පෙළ පන්තියට යන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් තමන්ට සුදුසු විෂය ක්ෂේත්‍රය තෝරාගන්නෙ කොහොමද කියලා කියල දෙන්න පොඩි සූදානමක් තියෙනවා. අනිත් කාරණය ප්‍රදීප්ගේ පිටුවෙන් බොහෝ දෙනෙක් කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක්. ඒ තමයි මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක්. ඒ දෙකම මේ වෙනකොට සැලසුම් වෙමිනුයි තියෙන්නේ. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්කෝ. එහෙනම් ගිහින් එන්නම්. මේ කාරණා දෙක ගැන උනන්දු වෙන අය ඉන්නවානම් gpcguna@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊයක් එවන්නකෝ.

31 comments:

  1. මේ ලෝකේ විනාශ කරගන්නේ මිනිස්සු තමන් විසින්ම තමයි. එක කවද හරි මිනිස්සුම තේරුම් ගත්තොත් මේ විනාශය තව ටික කාලයක් කල් දාගන්න පුළුවන් වෙයි. ඒ නැතත් සියලු දේ අනිත්‍ය ලෝකේ විනාශ නොවෙන ලෝකයක් ගැන හිතලා වැඩක් නැහැ.
    ඉස්සරහට කරන්න සැලසුම් කරලා තියෙන වැඩ ටික නම් ගොඩාක් වටිනවා.
    සභාපතිතුමාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... :))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. උඹ තමයි ඔන්න මුලින්ම සුබපතපු කෙනා. ජය...!

      Delete
  2. විනාසේ වෙනකං බලං හිටියට හරියටම උනෙත් නෑනේ...
    එකපාර සුන්නද්දූලි වෙලා ගියානං එකක්..
    එහෙම වාසනාවක්වත් කොයිද අපිට..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි. මීලග ලෝක විනාශයේදීවත් සුන්නද්දූලි වේවා. ජය...!

      Delete
  3. අයියා.... එහෙමනම් ඉතින් සුභ උපන්දිනයක්.... වෙලාව 1.50 යි මොනවා කරන්නද ඒ කරදර කාරයාට මේ රෑ කෝල් කරලා ඇහරවන්නම හිතුනා..... දැන් ඉතින් බැන බැන නිදා ගන්නකො....

    ලෝක විනාශේ ගැන කොහේදෝ කමෙන්ට් එකක් තිබුනා එක තමා මම දැකපු හොදම කමෙන්ට් එක ලෝක විනාශේ ගැන... ලංකාවට ඉන්නේ අනිත් රටවල් එක්ක අවුරුදු 20ක් පිටිපස්සෙන්ලු. ඒ නිසා තව අවුරුදු 20ක් තියනවලු එකට... මට මතක නැ කොහේ තිබුනද කියල නම්

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. උඹ මහ රෑ මාව ඇහැරවපු එකට නම් කිසිම සමාවක් නෑ හොදේ... තිත් දෙකයි පී...

      Delete
    2. ආහ්හ් එක ඉතින් අය්යා ඔය මොකක් හරි භාජනයක දාලා පරිස්සම් කරලා තියා ගන්නකො.....(සමාව)
      කොහොමද රෙපා මුලින්ම විශ් කළා කිවේ විශ් කරලා තියෙන්නේ 27 නේ.... ඒවා ඔට්ටු නැ හොදේ..

      රෙපා එක්ක වලියකට රෙඩ්වෙමින්...

      Delete
    3. ඉතින් 27 කියන්නේ 28ට කලින් දවසෙනේ බං. හේමාලි අක්කත් විෂ් කලේ 27 තමයි. තව ජනිත් සංජය විෂ් කලේ 27 රෑ 11.55ට ඉතින් ඔයා ඊට පස්සේ 28 පාන්දර 1.50

      Delete
  4. බය හිතෙන කථා කියන්න එපා හලෝ.....යන්තම් හිත දාගත්ත විතරයි,21 පහුවුනා කියල.කෙහොම උනත් පට්ටයි ආ...කාලයට ගැලපෙන පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා හලෝ. ස්තුතියි... ජය...!

      Delete
  5. සුභම සුභ උපන්දිනයක් වේවා ප්‍රදීප්..

    ලෝකෙ විනාශ වෙන්නෙ කොහොමද කියලා හිතන්නැතුව තව දවසක්වත් ලෝකය ජීවත් කරන හැටි හිතන්න පුළුවන් නම් අපි ඉන්න ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වේවි?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම රූ. ස්තුතියි සුබපැතුමට. ජය...!

      Delete
  6. ප්‍රදීප්,

    ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා.... ජය...!

      Delete
  7. ලෝක විනාශය ගැන මා කියැවූ හොදම බ්ලොග් ලිපිය මෙයයි ප්‍රදිප්. ඒ වගේම ඔබට සුබ උපන් දිනක්ද පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා.... ජය...!

      Delete
  8. මම මේ අවේ හැපී කේක් ඩේ එකක් කියන්න :D

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ කේක් දුන්නෙත් නෑ... ස්තුතියි මචං.... ජය...!

      Delete
  9. happy birthday pradeep.think differently.you can change the world by making positive attitudes.go up by doing service to human.love u putha wish you happy birthday!

    ReplyDelete
  10. Happy Birth Day අය්යණ්ඩියා..හයියෝ...ඕක විනාස වෙනවානම් වෙද්දෙන් අප්පා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි. ඒක තමයි නේද?.... ජය...!

      Delete
  11. මේ ලෝකේ විනාස වෙනවනම් වෙන්නේ ඒ අපිම හන්දා.. වෙන කවුරුවත් ඇවිත් එක පාර මේක විනාස කරලා දාන්නේ නෑ.. ඇත්ත කතාවනම් ඒකයි...

    ඔන්න මහේ ඊයේ ටීවි එකේ කිවුවා 2040 පෙබරවාරරි 6 ලොකේ විනාස වෙනව කියලා.. මොකද්ද ග්‍රාහකයක් ඇවිත් හැප්පෙනවා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මල්ලි. ගණන් ගන්න එපා. ජය...!

      Delete
  12. Halo ayye, mama ada tama meka kiyeuwe. oyage Birth day eka danagatte dan. dinayak pahu unat mama godak pramada naha kiyala hituna nisa mama oyata subama suba upandinayakata asiri patanawa. e wagema obage yahapat situm patum e ayurinma istawewa kiyada, obata mewan lipi palakirimata, kage ho buddiya wardanaya kirimata, kenekuge dukakata pihita wi mahat u samaja sewayak itu kirimatat BUDDIYA, SHAKTIYA, HAKIYAWA wardanaya wewa kiya mama patanawa. e wagema obage jiwitaya sapawat wi sartaka wi chirat kalayak jiwat wimata awada ayuboooo wewa yai ma itha sitin prartana karami.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ජය...!

      Delete
  13. හ්ම්ම්ම්..මටනං පෙන්නේ දැනටමත් විනාස වෙලා වගේ!
    අන්තිමට ලියලා තියෙන වැඩ දෙකනම් බොහොම අගේ ඇති වැඩක්!! අනිවා කරමු!

    ReplyDelete
    Replies
    1. දැනටමත් සෑහෙන්න විනාශ වෙලා වගේ තමයි. ස්තුතියි මල්ලි. ජය...!

      Delete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා ප්‍රදීප්..

    ReplyDelete
  15. බය කරන්ඩ එපා අයියේ මේ අවුරුද්ද පටන් ගත්ත වෙලේම....
    සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template