Posted by Pradeep Gunarathna at 11:51 PM
වේදිකා නාට්‍ය, අපේ බ්ලොග් කරලිය ඇතුලේ ඒ
තරම්ම අහල පුරුදු දෙයක් නොවුනත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමතියි නිදහසක් ලැබුනු
වෙලාවක නාට්‍යයක් බලන්න යන්න. මමනම් නාට්‍ය පිස්සෙක්. මුලින්ම නාට්‍ය උණ හැදිලා
අවුරුදු හත අටක් ගෙවිලා වුනත් අදටත් ඒ උණ ඒ විදියටම තියෙනවා.
වේදිකා නාට්‍යයක් බැලීම වගේම කිරීමත් හරිම
සුන්දර අත්දැකීමක්. සුගතපාල ද සිල්වා මහත්තයා කියපු විදියට නාට්‍යකරුවා 'සොඳුරු ආඥාදායකයෙක්'. ඔහු පැය කීපයකට අපේ
ආඥාදායකයා වෙනවා. හැම කළාකරුවෙකුගේම ඇතුලේ සුන්දර මිනිසෙක් ජීවත් වෙනවා. (අද කාලේ
සමහරු සුන්දර නෑ වගේ පෙනුනට විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඒ සුන්දරත්වය සඟවාගන ඉන්නවා කියලයි
මටනම් හිතෙන්නේ) නාට්‍යකරුවා තමන් දකින ලෝකය බිත්ති තුනකින් වටවුනු රාමුවකට අරන් එනවා.
ඔහුගේ ඒ මහන්සියේ ඵලය තමයි හතරවෙනි බිත්තිය හරහා අපි දකින්නේ.
"අපි පොළවෙන්
ඉහලට - අඩි තුන හතරක
ඉන්නා විට සැරසීලා.....
ඔතැනට නොපෙනෙන
සොඳ - මනහර දසුනකි
නිබඳව මෙතැනට පෙනෙනා...."
කියලා ජයලත් මනෝරත්න මහත්තයා කියන්නේ
වේදිකාවේ ඉන්න කලාකරුවාට පෙනෙන ලෝකය ගැනයි.
නාට්‍යකරණය කොච්චර සුන්දර අත්දැකීමක් වුනත්
ඒ ගමනේදි විඳින්න වෙන දුක්
ගැහැටනම් එච්චර සුන්දර නෑ. ඒත් හැමදාමත් අපේ කළාකාරයෝ කොහොම හරි තමන්ගේ හදවතේ
නලියන දේවල් නාට්‍යයක් බවට පත්කරලා වේදිකාවට ගේනවා. ඒ අතරේ ගොඩක් වෙලාවට තියෙන්නේ
අපි හැමෝටම පොදු දේවල්. ඒ නිසාම ඒ නාට්‍ය ගොඩක් රසවත්. මතකනේ සෝමලතා සුබසිංහ නෝනාගේ
විකෘති නාට්‍යයේ තියෙන මේ ගීතය,
"විභාගේ
විභාගේ... එහෙ බැළුවත් විභාගේ...මෙහේ බැළුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ....."
කතාව ලියන්න හිතුවේ ලබපු අත්දැකීමක්
බෙදාගන්න වුනත් හැඳින්වීම ටිකක්
දික්වුනා. හැම අවුරුද්දකම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නාට්‍ය අනුමණ්ඩලය 'රාජ්‍ය නාට්‍ය උළෙල' පවත්වනවා.(ඒක කෙරුවාම
ඇතිද කියලා අහන්න එපා හොඳද) ඉතින් කොහොම කොහොම හරි මේ කාලෙට මගේ ලෙඩෙත් උත්සන්න වෙනවා. අඩුම ගානේ
නාට්‍ය දෙක තුනක්වත් බලනවා. මේ වතාවේනම් මාත් එක්ක රංගකලාව
හදාරපු අයගේ නාට්‍ය දෙකක්ම තිබුන නිසා ලොකු උනන්දුවකින් තමයි නාට්‍ය බැළුවේ.
මම මුල්ම සහ අවසාන වතාවට රංගකලාව හැදෑරුවේ
ජාතික තරුණසේවා සභාවේ ඇතුගල්පුර රංගශිල්ප ශාලිකාවේ. එහෙමත් නැත්නම් කුරුණෑගල නාට්‍ය
පාසලේදි. කවදාවත් ඒ ගැන හිතලාවත් නොතිබුන මට නාට්‍ය ඉගෙනගන්න ආසාව ඇතිවුනේ අහම්බෙන්.
ඒත් මං ඒ ගැන අදටත් ගොඩක් සතුටු වෙනවා. මගේ ගුරුවරයා සමන් ගාමිණි සර්.
මේ පාර නාට්‍ය උළෙලට ඉදිරිපත් වුන 'ගුත්තිලය' නාට්‍යයේ 'ගුත්තිල පඬිතුමා' වුනේ අපේ සර්. මාව
නාට්‍ය ඉගෙනගන්න ඇදගෙන ගිය ටෝනි පොතේ ගුරු වෙලා හිටියා. අපිත් එක්ක එක බත් මුල
ලෙහාගෙන කාපු යාළුවන්ගේ ඉදිරිපත් කිරීම් දකිනකොට ලොකු සතුටක් එක්කම මම ඒ ක්ෂේත්රයෙන්
අයින් වුන එක ගැන පොඩි දුකකුත් හිතුනා.
ඊයේ කෙටි නාට්‍ය උළෙලේ අන්තිම දවස. ඊයේ තමයි
ආනන්ද අයියාගේ 'බල්ලෝ
දෙන්නෙක්' වේදිකාගත
වුනේ. ජීවන්ති අක්කාව හම්බවුනේ අවුරුදු හතකට පස්සේ. ඒක පුදුමාකාර බැඳීමක්. කොච්චර සමීප
යාළුවෝ හිටියත් නාට්‍ය පාසලේ යාළුවෝ ටිකත් එක්ක තියෙන බැදීමටනම් කාටවත් කිට්ටු
වෙන්නවත් බැහැ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
කොහොම වුනත් මට ඒ දේ ගොඩක්ම තදින් දැනුනා.
ලංකාවේ ලොකුම, වැඩිපුරම පහසුකම් තියෙන නෙළුම්පොකුණ ළඟ ඉඳගෙන අපි පරණ ජෝන් ද
සිල්වා රඟහලේදි රාජ්‍ය
නාට්‍ය උළෙල බැළුවා. 'අපිට කවදාවත්
මේකේ නාට්‍යයක් පෙන්නන්න වෙන්නේ නෑ මල්ලියේ' කියලා ගොඩක් නාට්‍යකරුවෝ
කිව්වේ ලොකු දුකක් හිතේ හංගගෙන.
මට නම් හිතෙන්නේ 'උඹලා මේ කරන හරිය හොඳටම ඇති' කියලයි. උඹලා අමාරුවෙන්
හදන නාට්‍යය බලන්න අපි කොහොමහරි එනවා. 'නාට්‍ය අතඇරලා ආණ්ඩුවේ රස්සාවට ගිය එක හොඳයි. උඹ ඒකෙන් ගොඩ ගියා' කියලා සමන් සර් කිව්වට
'සර්, ඔය තරම්
ලස්සන හිත් මෙහේ හොයන්න අමාරුයි' කියලා මම කිව්වේ නෑ. ඒ ටික හිතේ හංගගෙන
සර්ට වැඳලා මම ආපහු
ආවා. මම තවමත් ඉන්නේ දුකක්ද සතුටක්ද කියලා හිතාගන්න බැරි ඒ අමුතු හැඟීමත් එක්ක.
සමහරවිට මේ කියපු දේවල් ගොඩක් පුද්ගලිකයි
කියලා හිතෙයි. ඒත් මට මේ සිතුවිල්ල ඔයාලත් එක්ක බෙදාගන්න ඕන වුනා. පොරොන්දු වුන
විදියට හිස්ටීරියා දෙවෙනි කොටස ලියමින් යන්නේ. හෙට අනිද්දාට දාන්නම්. මේ ලිපියේ මං
කියපු දේවල් ගැන මොනවාහරි හිතෙනවානම් පහලින් ලියලා යන්න. මම ගිහින් එන්නම්.
"සුබ සිහින
පිරි රාත්‍රියක්...."














