Wednesday, February 22, 2012

ෆිට් එක.... (Epilepsy) දැනගත යුතු දේවල්...

Posted by at 10:42 PM
දීර්ඝ කාලයකට, ඒ කියන්නේ සති 3කට විතර පස්සේ අද තමයි අවස්ථාවක් ලැබුනේ ලිපියක් ලියන්න. ටිකක් කාර්යබහුල කාලයක් වගේම විවේකයෙන් හිටපු දවස් 2-3කුත් ගතකලා. දැන් සයිබර් සිහින බක්මහ උළෙලටත් සූදානම් වෙන්න ඕනනේ.

අපස්මාරය එහෙමත් නැත්නම් ෆිට් එක කියන්නේ අපි නිතර අහන දකින වචනයක්. විශේෂයෙන් දරුවන්ට ෆිට් එක හැදෙන එක වලක්වන්න දෙමාපියො ගොඩක් පරිස්සම් වෙනවා. ඒත් අපි මේ ගැන දන්නේ මොනවාද? අද ප්‍රදීප්ගේ පිටුව වෙන්වෙන්නේ ඒ ගැන කතාකරන්න.



අපස්මාරය කියන්නේ 'නැවත නැවත කම්පන දාමයන් ඇති කරන මොළයේ  සිදුවන වෙනස් වීමක්'. මේ අපස්මාරය ගැන නිවැරදිම නිර්වචනය නෙමෙයි. නමුත් ඒ ගැන අවබෝධයක් ගන්න මේ ටික ප්‍රමාණවත් වෙයි. අනික මේ ලිපියේ අරමුණ වචන පැහැදිලි කිරීම නෙමෙයිනේ.

කොහොම වුනත් ලෝක ජනගහනයෙන් 5% කට ජිවිතයේ ඕනෑම අවස්ථාවක ෆිට් එකක් (seizure) හැදෙන්න පුළුවන්. නමුත් ඒක අපස්මාර තත්වයක් දක්වා වර්ධනය වෙලා නැවත නැවත හැදෙන්න පටන්ගන්නේ 0.5% - 1% අතර පිරිසකට විතරයි.



මේ අපස්මාරය විවිධ ආකාරයෙන් හැදෙන්න පුළුවන්. ඒ එක් එක් අවස්ථා වලදි රෝගියාගේ කම්පන ඇතිවෙන ආකාරය වෙනස්. ප්‍රධාන වශයෙන් මුළු ශරීරය පුරාම පැතිරී යන කම්පන සහ එක් ප්‍රදේශයකට පමණක් සීමා වූ කම්පන විදියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තව වර්ග 6කට විතර බෙදෙනවා. ඒ වර්ග දැනගැනීම අපට ඒ තරම් වැදගත් වෙන එකක් නෑ. හැබැයි රෝගියෙකුට ෆිට් එක හැදෙනවා දැකපු කෙනා එයාගේ කම්පන ඇතිවුන ආකාරය හරියටම වෛද්‍යවරයාට කිව්වොත් ඒක ප්‍රතිකාරයට උදව්වක් වෙනවා. දැන්නම් වීඩියෝ පහසුකම් තියෙන නිසා පුතාට ෆිට් එක හැදෙන විදිය වීඩියෝ කරලා වෛද්‍යවරයාට පෙන්වන අම්මලා මම දැකලා තියෙනවා.



එක අපස්මාර අවස්ථාවක් ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්.
01. අපස්මාරයට පෙර අවස්ථාව - (pre-ictal)මේ වෙලාවට රෝගියාට පූර්ව අපස්මාර ලක්ෂණ දැනෙනවා. ඒ ලක්ෂණය සමහර විට සුවඳක්, රසයක්, දැනීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකට අපි ඕරා (Ora) කියලා කියනවා. හැබැයි අපස්මාරය හැදෙන හැමෝටම මේ දේ දැනෙන්නේ නෑ.

02.අපස්මාර අවස්ථාව - (ictal)මේ අවස්ථාව තමයි කම්පනය පවතින අවස්ථාව. ඒ වෙලාවට අපි කරන වැරදි ගොඩක් තියෙනවා. එකක් තමයි අතට යකඩයක් දීම. නමුත් ඒකේ කිසිම විද්‍යාත්මක සත්‍යයක් නෑ. මෑතකදී මගේ අසල්වැසියෙක් මාත් එක්ක තර්ක කළා 'නෑ මල්ලි, යකඩයක් අතේ තියපු ගමන් මිනිහට හරිගියා' කියලා. නමුත් ඒ වෙලාවෙදි වෙන්නේ ඇත්තටම ෆිට් ඇටෑක් එක අවසන් වීම. මොකද ගොඩක් වෙලාවට ෆිට් ඇටෑක් එකක් තත්පර ගානකින් අවසන් වෙනවා.

අනිත් එක තමයි කටට හැන්දක් දැමීම. ඒක යකඩයක් දීමටත් වඩා භයානකයි. මොකද මේ හැන්ද නිසා දත් කැඩිලා යන්න පුළුවන්. හොදම දේ තමයි කම්පන අවස්ථාව අවසන් වෙනකම් මොකුත් නොකර සිටීම. රෝගියා පොළවේ දිගාකරවලා එයාගේ වටපිටාවේ තියෙන හානියක් වෙන්න පුළුවන් දේවල් ඉවත් කරන්න. කම්පනය අවසන් වුනාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකරන්න.



03.පසු අපස්මාර අවස්ථාව - (post-ictal) මේ අවස්ථාව තමයි කම්පනය අවසන් වූ ගමන්ම ඇතිවෙන අවස්ථාව. මේ තත්වයේදි කම්පනය ඇතිවුන කෙනාට දැන් සිදුවුනේ මොකක්ද, දැන් ඉන්නේ කොහෙද කියන දේවල් තේරුම්ගන්න අපහසු වෙන්න පුළුවන්. මේ තත්වය තාවකාලිකයි. අපි ඒ තත්වයට කියන්නේ පසු අපස්මාර ආකූලතාව (post-ictal confusion) කියලා. හැබැයි කලාතුරකින්සමහර අයට අපස්මාර තත්වය ඇතිවෙන්න මොහොතකට කලින් වුන දේවල් සදහටම අමතන වෙලා යන්න වුනත් පුළුවන්.

04. අන්තර් අපස්මාර අවස්ථාව - (inter-ictal) අපස්මාර අවස්ථා දෙකක් අතර කාලයේ සිදුවෙන දේවල් තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ තත්වය අපස්මාර රෝගයෙන් පෙළෙන අයගෙන් 99%කට ඇතිවෙන්න පුළුවන් කියලයි වාර්තා වෙන්නේ. මේ කාලයේදි වෙන්න පුළුවන් දෙයක් තමයි ATPD – Acute Transient Psychotic Disorder කියලා හඳුන්වන්නේ. ATPD කියන්නේ මානසික තත්වයේ ඇතිවෙන වෙනස්වීමක්. හදිසියේ ඇතිවෙලා නැතිවෙලා යන්න පුළුවන් මානසික රෝගී තත්වයක්. මේ තත්වය වැඩිපුරම (78.6%ක්) ඇතිවෙන්නේ කාන්තාවන්ට. මේ අවස්ථාවේදී මෝහය, භ්‍රාන්තිය වගේ (delusions, hallucinations) ධන භින්නෝන්මාදයේ ලක්ෂණ (positive schizophrenia) ඇතිවෙන්න පුළුවන්. (ඒවා ගැන ඉස්සරහට වෙන ලිපියකින් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රූ ඉල්ලීමක් කරලා තිබුනා භින්නෝන්මාදය ගැන ලියන්න කියලා. ඒකත් ලඟදීම ලියවෙයි)

ඒ වගේම මේ වගේ නිතර නිතර අපස්මාරය ඇතිවෙන අයගේ ප්‍රජානන (ප්‍රජනන නෙමෙයි cognitive) කුසලතා, සමාජ කුසලතා වගේ දේවල් අඩුවෙන්න පුළුවන්.



මේ අපස්මාර තත්වය ඇතිවෙන්නේ මොළයේ සිදුවෙන යම් අසාමාන්‍යත තත්වයක් නිසා. සාමාන්‍ය‍යෙන් අපස්මාරය ඇතිවෙන්නේ වයස අවුරුදු 20ට අඩු අයට වුනත් ඕනෑම වයසකදි මේ තත්වය ඇතිවෙන්න බැරිකමක් නෑ. මේ තත්වයට හේතු ගොඩක් බලපාන්න පුළුවන්.
1.    මොළයේ ඇතිවෙන ගෙඩියක්
2.    ආඝාතය (stroke)
3.    ඩිමෙන්ෂියාව (Dementia)
4.    මොළයට සිදුවෙන අනතුරක්
5.    මොළයේ ආසාදනයක්
6.    උපතේදී හෝ ළදරු වියේදී මොළයේ සිදුවන වෙනස්වීමක්
7.    උපතේදී ඇතිවෙන පරිවෘත්තීය අක්‍රමතාවයක්
8.    මොළයේ සෛල හා පටක වලට හානිකරන වෙනත් රෝගයක්

ඒ විතරක් නෙමෙයි පවුලේ කෙනෙකුට අපස්මාරය හැදිලා තියෙනවානම් රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා.



අපට මේ රෝගය වලක්වාගන්න බැහැ. නමුත් පාලනය කරන්න පුළුවන්. රෝගය පාලනය කරන්න මේ උපදෙස් පිලිපදින්න.

1.    ඔබට ලබා දී ඇති බෙහෙත් නොකඩවා භාවිතා කරන්න. වෙන රෝගයනට බෙහෙත් ගත්තත්, වෙන ලෙඩක් හැදුනත්, කෑවේ නැතත් බෙහෙත් හරියට බොන්න. වෙන රෝගයකට බෙහෙත් ගන්න යනකොට හරි ගර්භනී අවස්ථාවට පත්වෙනකොට හරි අපස්මාරයට බෙහෙත් ගන්නවා කියලා වෛද්‍යවරයාට කියන්න. මොකද බෙහෙත් බොමින් ඉඳලා නවත්තපු අයට රෝග තත්වය වැඩිවෙන්න පුළුවන්.

2.    රෑ නිදිමරන්න එපා. පිරිත් ගෙවල් වගේ තැනකට ගියත් ගොඩක් රෑ වෙනකම් ඇහැරිලා ඉන්න එපා.

3.    අරක්කු ඇතුළු මත්ද්‍රව්‍ය ගන්න එපා.
4.    බඩගින්නේ ඉන්න එපා. බඩගිනි වෙනකොට පාන් කෑල්ලක් කාලා සීනි දාපු තේ එකක්වත් බොන්න.
5.    වතුරේ බැහැලා නාන්න, ලිප ළඟට වෙලා ඉන්න, ගස් නගින්න වගේ අවදානම් අවස්ථා වලින් ඈත් වෙලා ඉන්න.
එතකොට අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන්.


අපස්මාරය ගැන කතාකරන ලෝක අපස්මාර දිනය මාර්තු 26 වෙනිදා. ඒත් එදාට විතරක් නෙමෙයි අද ඉඳලා අපස්මාරය ගැන දැනුවත් වෙමු. අනිත් අයත් දැනුවත් කරමු.



අප්‍රේල් මාසේ 22 වෙනිදා උදේ 9ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනේදි සයිබර් සිහිනබක්මහ උළෙල පැවැත්වෙනවා. ඒකටත් ඇවිත් යන්න. ඔන්න කලින්ම කිව්වා. 


ප්‍රදීප්ගේ පිටුවේ ලියනවා විතරයි එතනින් එහාට යන්නේ නැද්ද කියලා ගොඩක් අය ඇහුවා. තව ටික කාලයක් යනකොට ඒ අයටත් පිළිතුරක් දෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.

තවත් විශේෂ දෙයක්. මේ තමයි මගේ 20 වෙනි පෝස්ට් එක. මේ පැත්තේ ආවාට ස්තුතියි. යන්න කලින් මොනවාහරි ලියලා යන්න. මූනු පොතේදි හමුවුනොත් කතා කරන්න. එහෙනම් අදට සමුගන්නවා. ආයෙත් දවසක එන්නම්.

Thursday, February 9, 2012

බෙහෙත් බොන්නද හදන්නේ? එහෙනම් මේ ටික කියවලා ඉන්න....

Posted by at 10:14 PM
බෙහෙත්.... අපේ ජීවිතයට නැතිවම බැරි අංගයක් වෙලා. ගෙදර අල්මාරියේ, ඔෆිස් එකේ ලාච්චුවේ විතරක් නෙමෙයි පර්ස් එකෙත් බෙහෙත් පෙති දාගෙන යන්න කියලයි වෙළ දැන්වීම් වල නම් කියන්නේ. ඇත්තටම බෙහෙත් ගැන අපි දන්නවාද? බෙහෙත් ඔය තරම් බොන්න ඕනද? කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන කියලා තීරණය කලා. ඒකට හේතුව තමයි ඊයේ කඩේට ගිය වෙලාවේ මුදලාලි කියපු කතාව. 'මහත්තයෝ XXXX පෙති කොච්චර ගෙනාවත් මදි. හැම සතියකම ලොකු පැක් එකක් ඉවර වෙනවා. මිනිස්සු මේ තරම් ලෙඩ වෙනවාද?'

ඇත්තටම අපි ඇබ්බැහි වෙලාද? කියලා මට හිතුනා.








බටහිර බෙහෙත්, ඒ කියන්නේ පෙති සහ කරල් කියන්නේ රසායනික සංයෝග. මේවාගෙන් බොහොමයක් හදන්නේ ලංකාවෙන් පිටදි. එහෙම හදන බෙහෙත් ලංකාවට ගේන්න නීති රීති මාලාවක් තියෙනවා. (ඒවාට පිටින් ගේන අවස්ථා නැතුවා නෙමෙයි) මේ නීති අනුව සෞඛ්‍ය අමාත්‍යංශය අනුමත කරපු බෙහෙත් විතරයි ලංකාවට ගේන්න පුළුවන්. ඊට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව (SPMC) සමහර බෙහෙත් වර්ග ලංකාවෙදි නිෂ්පාදනය කරනවා. 



මේවා ඊලට යන්නේ ව්‍යාපාරිකයා ළට. නිෂ්පාදනයේදී විද්‍යාත්මක නමකින් හුන්වන බෙහෙත් වලට ව්‍යාපාරිකයා වෙළ නාමයක් එකතු කරනවා. වෙළ නාමය අයිති ඒ ඖෂධය විකුනන සමාගමට. සමාගම් කිහිපයක් එකම බෙහෙත් විවිධ නම් වලින් විවිධ මිලට විකුනන්න පුළුවන්. උදාහරණයක් විදියට 'පැරසිටමෝල්' පෙත්තක මිල ශත ගනනක්. නමුත් ඒ පෙත්තම විවිධ වෙළ නම් වලින් රුපියල් 1.50 ඉලා සියගනනක් දක්වා මිලට විකුණනවා. අපි හිතන්නේ ගනන් වැඩි පෙත්ත ගොඩක් ගුණයි කියලා. නමුත් මේ හැම පෙත්තකම තියෙන්නේ 'පැරසිටමෝල්' මිලිග්‍රෑම් 500 නිසා එකම ඖෂධීය ගුණය තමයි ලැබෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි අඩුම මිල බෙහෙත මිලදී ගැනීම.








අනිත් කාරණය තමයි අපි හිතනවා 'උණ ගැනුනාට බොන්න ඕන මේ පෙත්ත. කැස්සට මේ පැණිය. ඕක තමයි දොස්තර මහත්තයත් දෙන්නේ' කියලා. නමුත් රෝග ලක්ෂණ තරමක් සමාන වුනාට රෝගය වෙනත් රෝගයක් වෙන්න පුළුවන්. එතකොට කලින් රෝගයේ බෙහෙත්ම පාවිච්චි කිරීම ගොඩක් භයානක වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇස්ප්‍රීන් පෙත්තක් බීපුවාම උණ අඩු වුනාට සමහර විට ඔයාට හැදිලා තියෙන්නේ ඩෙංගු රෝගය නම් ඇස්ප්‍රීන් මාරාන්තික වෙන්න පුළුවන්. මේ වෙනකොට නම් prescription එකක් (බෙහෙත් තුන්ඩුවක්) නැතිව බෙහෙත් නිකුත් කිරීම ෆාමසි වලට තහනම් කරලයි කියෙන්නේ.








ඒ වගේම තමයි 'ආ මෙන්න... මේ බේත තමයි අහවල් දොස්තර මහත්තයා මට දුන්නේ. දෙවේලයි බිව්වේ. හොඳ වුනා. ඔයත් බීලා බලන්නකෝ' කියලා  අපිට දෙන බෙහෙත් වෙන අයට නිර්දේශ කිරීම. වෙනත් රෝග තත්වයන්, බොන බෙහෙත් වර්ග, අසාත්මිකතා වගේ දේවල් නිසා එකම රෝගයට වුනත් එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට දෙන බෙහෙත් වෙනස් වෙනවා. සමහර විට ඒ අයට ඔයා දෙන බෙහෙත අසාත්මිකයිනම් (ඇලජික්) එයාට ඒ බෙහෙත හානිකර වෙන්න පුළුවන්.



තවත් කාරණයක් තමයි අපිට දෙන බෙහෙත මොකක්ද? ඒකේ තියෙන අතුරු ආබාධ මොනවාද? කියලා අපි නොදන්නාකම. අපට දෙන බෙහෙතේ විද්‍යාත්මක නම, අතුරු ආබාධ වගේම ඒ බෙහෙත දෙන්නේ ඇයි කියන එකත් වෛද්‍යවරයාගෙන් අහලා දැනගන්න එක අපේ අයිතියක්. මේ තියෙන්නේ වෛද්‍යවරයා බෙහෙත් තුන්ඩුවේ සටහන් කරන කෙටි යෙදුම් කීපයක්. ඒවාත් අපිට වැදගත් වෙනවා බෙහෙත් පාවිච්චි කරනකොට.



ac                කෑමට පෙර

bid/bd        දිනකට දෙවරක්

gt                බිංදු

hs               නින්දට යන විට

od               දකුණු ඇස

os               වම් ඇස

po               මුඛයෙන් ගන්න

pc               කෑමට පසු

prn             අවශ්‍ය වූ විට

q3h             පැය 3කට වරක්

qd               දිනපතා

qid              දවසට 4 වතාවක්

tid/tds        දවසට 3 වතාවක්

c                 සමග

1/365         දින 1ක්

1/52           සතියක්

1/12           මාසයක්

sos              හදිසි අවශ්‍යතාවයකදී

mani           උදේට

noct.           රාත්‍රියට



අන්තිම කාරණය තමයි අපිට හැම ලෙඩකටම බෙහෙත් අවශ්‍යද කියන එක. වයිරස් රෝග වගේ ඇතැම් රෝග වලට බෙහෙත් නැහැ. උදාහරණයක් විදියට සෙම්ප්‍රතිශ්‍යාව කියන රෝගය වයිරස් රෝගයක්. ඒකට බෙහෙත් නැහැ. අපේ ශරීරය මගින්ම ඒ රෝගය පාලනය කරනවා. ඒ වගේම සමහර ප්‍රතිජීවක (ඇන්ටිබයොටික්ස්) වලින් අපිට හානිකර බැක්ටීරියා වගේම අපට අවශ්‍ය බැක්ටීරියාත් විනාශ කරනවා. එතකොට හිතකර බැක්ටීරියා වලින් අපේ ශරීරයට ලබා දුන්නු ආරක්ෂාව, සේවය අඩුවෙනවා. අනිත් අතට හැම බෙහෙතකම වගේ අතුරු ආබාධ සුළු ප්‍රමාණයක් හරි තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පුළුවන් තරම් අඩුවෙන් බෙහෙත් පාවිච්චි කිරීම.








එහෙම කියලා හැම බෙහෙතක්ම අඩු කරන්න හොඳ නෑ. අපස්මාරය, මානසික රෝග වගේ දේවල් වලට දෙන බෙහෙත් මොන හේතුවක් මත වත් නවත්වන්න එපා. මම කිව්වේ අපි නිතර සුළු සුළු අසනීප වලට බොන බෙහෙත් ගැන.



ඒ තමයි බෙහෙත් ගැන මම දන්න දේ. ඔයාලට හිතෙන දේ කොමෙන්ටුවක් විදියට ලියලා යන්න. ගිහින් එන්නම්. මූනු පොතේදි හම්බ වුනොත් කතා කරන්න. ප්‍රදීප්ගේ පිටුවට ආවට බොහොම ස්තුතියි...

Monday, February 6, 2012

ගෙදර බත් හැලියට වැලි වැටෙනවාද? ඉබේම දොර රෙදි ගිනිගන්නවාද? - දෙවන කොටස...

Posted by at 12:03 AM
හිස්ටීරියාව එහෙමත් නැත්නම් 'විඝටන ආබාධය' ගැන ලියපු ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුන නිසා ඉක්මනින්ම දෙවෙනි කොටසත් ලියන්න හිතාගෙන හිටියත් වැඩ රාජකාරි වැඩිකමත් එක්ක දවසින් දවස කල්ගියා. ඔය අතරේ 'ප්‍රදීප්ගේ පිටුව' තාවකාලිකව ඉවත් කරලත් තිබුනනේ. ඒකනම් ගූගල් සමූහයට වුන වැරදීමක් කියලයි දැනගන්න ලැබුනේ. කොහොම වුනත් ඔයාලගේ බ්ලොග් එකත් ඉවත් කරලා තිබුනොත් හැකි ඉක්මනින් කම්ප්ලේන් එකක් දාන්න. එතකොට ඉවත් කරපු බ්ලොග් එක නැවත ඇතුලත් කරන්න ඉඩ තියෙනවා.



අනිත් කාරණය තමයි නාට්‍ය ගැන ලියපු ලිපියෙන් පස්සේ ගොඩක් බ්ලොග් වල නාට්‍ය ගැන කතාකරලා තිබුනා. ඒකත් සතුටට කාරණයක්. 

'විඝටන ආබාධය' ගැන අපි කලින් ලිපියෙන් කතා කළ නිසා මම හිතුවා මේ ලිපියෙන් උදාහරණ කීපයක් එක්ක පැහැදිලි කරන්න. ICD 10 වර්ගිකරණයේ F44 පරිච්ඡේදය යටතේ මුලින්ම F44.0 කියලා නම්කරලා තියෙන්නේ Dissociative amnesia කියන තත්වය. ඉතාමත් භයානක එහෙමත් නැත්නම් විශාල කම්පනයක් ඇතිවන සිද්ධියකට මුහුණ දීපු එහෙමත් නැත්නම් ඒ වගේ දෙයක් දැකපු කෙනෙකුට ඒ සිද්ධිය මුළුමුනින්ම අමතක වෙලා යන්න පුළුවන්. උදාහරණයක් විදියට තමන්ගේ අම්මා හදිසි අනතුරකින් මියයනවා දැකපු දරුවෙකුට ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම අමතක වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවාගේ මතකයේ ගැටළුවක් නිසා නෙමෙයි. තමන් මුහුණ දීපු භයානක සිද්ධිය නැවත මතක්වීම වලක්වන්න මනස විසින්ම ඇතිකරගන්න ආරක්ෂණ උපක්‍රමයක්.



ඒ වගේම තමයි ඒ වගේ දේකට මුහුණදීපු කෙනෙක් ඒ සිද්ධියෙන් පස්සේ අදාල අවයව වල (ඇස්, කන්, ස්වරතන්ත්‍ර) කිසිම දුර්වලතාවයක් නැතිව ගොළු, අන්ධ එහෙමත් නැත්නම් බිහිරි වෙන්න පුළුවන්. ඒත් කලින් වගේම ආරක්ෂණ උපක්‍රමයක්. වැදගත් දේ තමයි මේ දේවල් රපෑම් හරි හිතින් මවාගත්ත දේවල් හරි නොවන බව දැනගැනීම. මොකද මේ හැමදෙයක්ම වෙන්නේ යටිහිතේ(අවිඥ්ඥානය) බලපෑමෙන්. මේ කෘතිමව වෙන දෙයක් කියලා පියවි ලෝකයේදී මේ සිද්ධියට මුහුණදෙන කෙනා දන්නේ නෑ. ඒ නිසා කිසිම අවස්ථාවක මේ වගේ අයට 'ඔයා බොරු කරනවා. ඔයාට කිසිම ලෙඩක් නෑ' වගේ දේවල් කියන්න හො නෑ. එහෙම කියන එක ප්‍රතිකාරයට බාධාවක්. මොකද රෝගියා මේ තත්වය ඇත්තටම අත්දකින නිසා.



තවත් සමහර අයගේ ශරීර අවයව වල ක්‍රියාකාරීත්වයේ දෝෂ ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට උසස්පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ශිෂ්‍ය‍යෙක්ගේ දකුණු අත අප්‍රාණික වීම වගේ දේවල්. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ මේ වගේ විභාග ආශ්‍රිත විඝටන ආබාධ ඇතිවෙන්නේ ගොඩක් දක්ෂ ශිෂ්‍යයන්ට කියලා. ඒකට හේතුව තමයි දෙමාපියන්, ගුරුවරුන් වගේ අය දක්ෂ ශිෂ්‍යයා මත තියලා තියෙන විශ්වාසය බිවැටෙයි කියන බය. මම විභාගය ෆේල් වුනොත් ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද? කියලා විශාල ආතතියකට මේ ශිෂ්‍යයා මුහුණ දෙනවා. මේ ආතතිය විභාගයට මුහුණ දෙන්න බැරිවෙන විදියේ වෙනත් ශාරීරික ආබාධයක් විදියට මතුවෙනවා. දකුණු අතින් ලියන ශිෂ්‍යයකුගේ දකුණු අත අප්‍රාණික වෙනවා. සමහර විට විභාගය කිට්ටු වෙද්දි කලින් කවදාවත් අපස්මාරය හැදිලා නැති ශිෂ්‍යයාට අපස්මාරය හැදෙන්න පටන්ගන්නවා. තව සමහර ශිෂ්‍යයන්ට විභාගය දවසේ උදේට කකුල් පණ නැතිව ඇවිදින්න බැරිව යනවා. මම කලින් කිව්වා වගේ මේ කිසිම දෙයක් හිනාවෙන්න දේවල් නෙමෙයි. රෝගියා මේ ලක්ෂණ ඇත්තටම අත්දකිනවා.



තවත් මේ වගේම දෙයක් තමයි වේදනා සහ හිරිවැටීම්. සමහරවිට අපරාධයක් කරපු කෙනෙක්ගේ ඒ අපරාධය කරපු අවයවයේ (උදා - අත) සුවනොවෙන වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට වේදනාකාරී සිද්ධියකට මුහුණ දීපු කෙනෙක්ගේ අදාල අවයව වල සුවනොවන හිරිවැටීමක් ඇතිවෙන්න පුළුවන්.
ICD 10 වර්ගිකරණයේ F44.3 Trance and possession disorders කියලා නම්කරලා තියෙන්නේ ආරූඩ වීම හා ආවේශ වීම. නමුත් ඒ ගැන විවිධ මත තියෙන නිසා මම කතාකරන්නේ නෑ. F44.81 - Multiple personality disorder කියලා කියන බහුපෞර්ෂ ආබාධය ගැන තමයි මේ ලිපි පෙලේ මාතෘකාවෙන් විස්තර කරලා තියෙන්නේ. සමහර ගෙවල් වල හිටිගමන් දොර රෙදි ගිනිගන්නවා. සමහර විට පවුලේ එක්කෙනෙක්ගේ ඇුම් විනාශ කරලා දාලා. නැත්නම් බත් හැලිය කොයිතරම් පරිස්සම් කලත් ඒකට වැලි දාලා. නැත්නම් වහලෙට ගල් ගහනවා. මේ වගේ තත්වයක් උදාවුන ගමන් අපි කරන්නේ 'අනේ අපේ ගෙදරට යකෙක් වැහිලා' කියලා විශාල මුදලක් වියදම් කරලා තොවිල් කරන එක. නමුත් මේ දේවල් කරන්නේ 'බහුපෞර්ෂ ආබාධය' කියන තත්වයෙන් පෙළෙන පවුලේම සාමාජිකයෙක්. එවැනි අයට සාමාන්‍ය පෞර්ෂය වගේම විකෘති පෞර්ෂයකුත් තියෙනවා. මේ දෙක මාරුවෙන් මාරුවට පෙන්නුම් කරනවා. විකෘති පෞර්ෂයෙන් පෙළෙන අවස්ථා වල තමයි මේ වගේ දේවල් කරන්නේ. සාමාන්‍ය පෞර්ෂය පවතින වෙලාවට කලින් කරපු  දේවල් ගැන අවබෝධයක් නෑ.



විඝටන ආබාධ වලට පොදු ලක්ෂණයක් තමයි යටිහිතේ තැන්පත් වුනු අරමුණක් ඇතිව තමයි මේ හැම ලක්ෂණයක්ම පෙන්නන්නේ. තමන් අකමැති දේවල් නොකර ඉන්න, ආදරේ කරන අය තමන් ලඟින් තියාගන්න, වගේ ඕනෑම අරමුණක් නිසා මේ ලක්ෂණ ඇතිවෙනවා වගේම ඒ අරමුණ ඉෂ්ඨ වුනාම රෝග ලක්ෂණ නැතිව යන්නත් පුළුවන්.

මේ රෝගයත් ඖෂධ සහ චර්යාමය ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. හොඳම දේ තමයි මේ වගේ දෙයක් හඳුනාගත් ගමන්ම ප්‍රතිකාර වලට යොමුවීම.



එහෙනම් මම යනවා. යන්න කලින් ඔයාලට හිතෙන දේ පහලින් ලියලා යන්න. ආයෙත් දවසක මම දන්න දේ අර‍ගෙන එන්නම්.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template