Posted by Pradeep Gunarathna at 10:42 PM
දීර්ඝ කාලයකට, ඒ කියන්නේ සති 3කට විතර පස්සේ
අද තමයි අවස්ථාවක් ලැබුනේ ලිපියක් ලියන්න. ටිකක් කාර්යබහුල කාලයක් වගේම විවේකයෙන්
හිටපු දවස් 2-3කුත් ගතකලා. දැන් සයිබර් සිහින බක්මහ උළෙලටත් සූදානම් වෙන්න ඕනනේ.
අපස්මාරය එහෙමත් නැත්නම් ෆිට් එක කියන්නේ
අපි නිතර අහන දකින වචනයක්. විශේෂයෙන් දරුවන්ට ෆිට් එක හැදෙන එක වලක්වන්න දෙමාපියො
ගොඩක් පරිස්සම් වෙනවා. ඒත් අපි මේ ගැන දන්නේ මොනවාද? අද ප්‍රදීප්ගේ පිටුව වෙන්වෙන්නේ ඒ ගැන කතාකරන්න.
අපස්මාරය
කියන්නේ 'නැවත නැවත කම්පන දාමයන් ඇති කරන මොළයේ
සිදුවන වෙනස් වීමක්'. මේ අපස්මාරය ගැන නිවැරදිම නිර්වචනය නෙමෙයි. නමුත් ඒ
ගැන අවබෝධයක් ගන්න මේ ටික ප්‍රමාණවත් වෙයි. අනික මේ ලිපියේ අරමුණ වචන පැහැදිලි
කිරීම නෙමෙයිනේ.
කොහොම වුනත්
ලෝක ජනගහනයෙන් 5% කට ජිවිතයේ ඕනෑම අවස්ථාවක ෆිට් එකක් (seizure) හැදෙන්න පුළුවන්. නමුත් ඒක
අපස්මාර තත්වයක් දක්වා වර්ධනය වෙලා නැවත නැවත හැදෙන්න පටන්ගන්නේ 0.5% - 1% අතර
පිරිසකට විතරයි.
මේ අපස්මාරය
විවිධ ආකාරයෙන් හැදෙන්න පුළුවන්. ඒ එක් එක් අවස්ථා වලදි රෝගියාගේ කම්පන ඇතිවෙන
ආකාරය වෙනස්. ප්‍රධාන වශයෙන් මුළු ශරීරය පුරාම පැතිරී යන කම්පන සහ එක් ප්‍රදේශයකට
පමණක් සීමා වූ කම්පන විදියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තව වර්ග 6කට
විතර බෙදෙනවා. ඒ වර්ග දැනගැනීම අපට ඒ තරම් වැදගත් වෙන එකක් නෑ. හැබැයි රෝගියෙකුට
ෆිට් එක හැදෙනවා දැකපු කෙනා එයාගේ කම්පන ඇතිවුන ආකාරය හරියටම වෛද්‍යවරයාට කිව්වොත්
ඒක ප්‍රතිකාරයට උදව්වක් වෙනවා. දැන්නම් වීඩියෝ පහසුකම් තියෙන නිසා පුතාට ෆිට් එක
හැදෙන විදිය වීඩියෝ කරලා වෛද්‍යවරයාට පෙන්වන අම්මලා මම දැකලා තියෙනවා.
එක අපස්මාර
අවස්ථාවක් ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්.
01. අපස්මාරයට පෙර අවස්ථාව - (pre-ictal)මේ වෙලාවට රෝගියාට පූර්ව
අපස්මාර ලක්ෂණ දැනෙනවා. ඒ ලක්ෂණය සමහර විට සුවඳක්, රසයක්, දැනීමක් වගේ දෙයක් වෙන්න
පුළුවන්. ඒකට අපි ඕරා (Ora) කියලා කියනවා. හැබැයි අපස්මාරය
හැදෙන හැමෝටම මේ දේ දැනෙන්නේ නෑ.
02.අපස්මාර අවස්ථාව - (ictal)මේ අවස්ථාව තමයි කම්පනය පවතින අවස්ථාව. ඒ වෙලාවට
අපි කරන වැරදි ගොඩක් තියෙනවා. එකක් තමයි අතට යකඩයක් දීම. නමුත් ඒකේ කිසිම විද්‍යාත්මක
සත්‍යයක් නෑ. මෑතකදී මගේ අසල්වැසියෙක් මාත් එක්ක තර්ක කළා 'නෑ මල්ලි, යකඩයක් අතේ
තියපු ගමන් මිනිහට හරිගියා' කියලා. නමුත් ඒ වෙලාවෙදි වෙන්නේ ඇත්තටම ෆිට් ඇටෑක් එක
අවසන් වීම. මොකද ගොඩක් වෙලාවට ෆිට් ඇටෑක් එකක් තත්පර ගානකින් අවසන් වෙනවා.
අනිත් එක තමයි කටට හැන්දක්
දැමීම. ඒක යකඩයක් දීමටත් වඩා භයානකයි. මොකද මේ හැන්ද නිසා දත් කැඩිලා යන්න
පුළුවන්. හොදම දේ තමයි කම්පන අවස්ථාව අවසන් වෙනකම් මොකුත් නොකර සිටීම. රෝගියා
පොළවේ දිගාකරවලා එයාගේ වටපිටාවේ තියෙන හානියක් වෙන්න පුළුවන් දේවල් ඉවත් කරන්න.
කම්පනය අවසන් වුනාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකරන්න.
03.පසු අපස්මාර අවස්ථාව - (post-ictal) මේ අවස්ථාව තමයි කම්පනය අවසන් වූ ගමන්ම
ඇතිවෙන අවස්ථාව. මේ තත්වයේදි කම්පනය ඇතිවුන කෙනාට දැන් සිදුවුනේ මොකක්ද, දැන්
ඉන්නේ කොහෙද කියන දේවල් තේරුම්ගන්න අපහසු වෙන්න පුළුවන්. මේ තත්වය තාවකාලිකයි. අපි
ඒ තත්වයට කියන්නේ පසු අපස්මාර ආකූලතාව (post-ictal confusion) කියලා. හැබැයි
කලාතුරකින්සමහර අයට අපස්මාර තත්වය ඇතිවෙන්න මොහොතකට කලින්
වුන දේවල් සදහටම අමතන වෙලා යන්න වුනත් පුළුවන්.
04. අන්තර් අපස්මාර අවස්ථාව - (inter-ictal) අපස්මාර අවස්ථා දෙකක්
අතර කාලයේ සිදුවෙන දේවල් තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ
තත්වය අපස්මාර රෝගයෙන් පෙළෙන අයගෙන් 99%කට ඇතිවෙන්න පුළුවන් කියලයි වාර්තා වෙන්නේ.
මේ කාලයේදි වෙන්න පුළුවන් දෙයක් තමයි ATPD – Acute Transient Psychotic
Disorder කියලා හඳුන්වන්නේ. ATPD
කියන්නේ මානසික තත්වයේ ඇතිවෙන වෙනස්වීමක්. හදිසියේ ඇතිවෙලා නැතිවෙලා යන්න පුළුවන්
මානසික රෝගී තත්වයක්. මේ තත්වය වැඩිපුරම (78.6%ක්) ඇතිවෙන්නේ කාන්තාවන්ට. මේ
අවස්ථාවේදී මෝහය, භ්‍රාන්තිය වගේ (delusions, hallucinations) ධන භින්නෝන්මාදයේ ලක්ෂණ (positive schizophrenia) ඇතිවෙන්න පුළුවන්. (ඒවා ගැන ඉස්සරහට වෙන ලිපියකින් කතාකරන්න
බලාපොරොත්තු වෙනවා. මොකද රූ ඉල්ලීමක් කරලා තිබුනා භින්නෝන්මාදය ගැන ලියන්න කියලා. ඒකත්
ලඟදීම ලියවෙයි)
ඒ වගේම මේ වගේ නිතර නිතර
අපස්මාරය ඇතිවෙන අයගේ ප්රජානන (ප්‍රජනන නෙමෙයි cognitive) කුසලතා, සමාජ කුසලතා වගේ දේවල් අඩුවෙන්න
පුළුවන්.
මේ අපස්මාර තත්වය ඇතිවෙන්නේ මොළයේ සිදුවෙන යම් අසාමාන්‍යත
තත්වයක් නිසා. සාමාන්‍යයෙන් අපස්මාරය ඇතිවෙන්නේ වයස අවුරුදු 20ට අඩු අයට වුනත්
ඕනෑම වයසකදි මේ තත්වය ඇතිවෙන්න බැරිකමක් නෑ. මේ තත්වයට හේතු ගොඩක් බලපාන්න
පුළුවන්.
1.
මොළයේ ඇතිවෙන ගෙඩියක්
2.
ආඝාතය (stroke)
3.
ඩිමෙන්ෂියාව (Dementia)
4.
මොළයට සිදුවෙන අනතුරක්
5.
මොළයේ ආසාදනයක්
6.
උපතේදී හෝ ළදරු වියේදී මොළයේ සිදුවන වෙනස්වීමක්
7.
උපතේදී ඇතිවෙන පරිවෘත්තීය අක්රමතාවයක්
8.
මොළයේ සෛල හා පටක වලට හානිකරන වෙනත් රෝගයක්
ඒ විතරක්
නෙමෙයි පවුලේ කෙනෙකුට අපස්මාරය හැදිලා තියෙනවානම් රෝගය වැළඳීමේ වැඩි අවදානමක්
තියෙනවා.
අපට මේ රෝගය
වලක්වාගන්න බැහැ. නමුත් පාලනය කරන්න පුළුවන්. රෝගය පාලනය කරන්න මේ උපදෙස්
පිලිපදින්න.
1.
ඔබට ලබා දී ඇති බෙහෙත් නොකඩවා භාවිතා කරන්න. වෙන රෝගයනට බෙහෙත් ගත්තත්, වෙන
ලෙඩක් හැදුනත්, කෑවේ නැතත් බෙහෙත් හරියට බොන්න. වෙන රෝගයකට බෙහෙත් ගන්න යනකොට හරි
ගර්භනී අවස්ථාවට පත්වෙනකොට හරි අපස්මාරයට බෙහෙත් ගන්නවා කියලා වෛද්‍යවරයාට කියන්න.
මොකද බෙහෙත් බොමින් ඉඳලා නවත්තපු අයට රෝග තත්වය වැඩිවෙන්න පුළුවන්.
2.
රෑ නිදිමරන්න එපා. පිරිත් ගෙවල් වගේ තැනකට ගියත් ගොඩක් රෑ වෙනකම් ඇහැරිලා
ඉන්න එපා.
3.
අරක්කු ඇතුළු මත්ද්‍රව්‍ය ගන්න එපා.
4.
බඩගින්නේ ඉන්න එපා. බඩගිනි වෙනකොට පාන් කෑල්ලක් කාලා සීනි දාපු තේ එකක්වත්
බොන්න.
5.
වතුරේ බැහැලා නාන්න, ලිප ළඟට වෙලා ඉන්න, ගස් නගින්න වගේ අවදානම් අවස්ථා
වලින් ඈත් වෙලා ඉන්න.
එතකොට අපිට මේ
රෝගය පාලනය කරගන්න පුළුවන්.
අපස්මාරය ගැන කතාකරන ලෝක අපස්මාර දිනය මාර්තු 26 වෙනිදා. ඒත් එදාට විතරක් නෙමෙයි අද ඉඳලා අපස්මාරය ගැන දැනුවත් වෙමු. අනිත් අයත් දැනුවත් කරමු.
අප්‍රේල් මාසේ
22 වෙනිදා උදේ 9ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනේදි සයිබර් සිහිනබක්මහ උළෙල පැවැත්වෙනවා. ඒකටත් ඇවිත් යන්න. ඔන්න කලින්ම කිව්වා.
ප්‍රදීප්ගේ
පිටුවේ ලියනවා විතරයි එතනින් එහාට යන්නේ නැද්ද කියලා ගොඩක් අය ඇහුවා. තව ටික
කාලයක් යනකොට ඒ අයටත් පිළිතුරක් දෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.
තවත් විශේෂ
දෙයක්. මේ තමයි මගේ 20 වෙනි පෝස්ට් එක. මේ පැත්තේ ආවාට ස්තුතියි. යන්න කලින්
මොනවාහරි ලියලා යන්න. මූනු පොතේදි හමුවුනොත් කතා කරන්න. එහෙනම් අදට සමුගන්නවා.
ආයෙත් දවසක එන්නම්.

















