Posted by Pradeep Gunarathna at 9:26 PM
යුද්ධය, අපි හැමෝගෙම හිත් වලින් ටිකෙන් ටික
මැකිලා යන්න පටන් අරන්. දැන් යුද්ධයක් තිබුනද කියලවත් ගොඩක් දෙනාට මතක නෑ කියලා කීප
දෙනෙක්ම කියනවා මට ඇහිලා තියෙනවා. නමුත්, යුද්ධයකට පස්සෙ අපට ඉතිරිවන තවත් විශාල
වැඩකටයුතු ප්‍රමාණයක් තියෙනවා. එයින් එකක් තමයි රණවිරුවන්ගේ සුබසාධනය. අපේ රටේ හෙට
දවස වෙනුවෙන් ඔවුන්ගේ අද දවස කැපකරලා මියගිය හා තුවාල ලබපු දස දහස් ගණනක් අතරින්
සදාකාලික ආබාධිත තත්වයට පත්වුන රණවිරුවන් සියගණනක් අපි අතර ඉන්නවා. දිවි ඇතිතෙක්
ඔවුන් රැකබලාගැනීම ජාතියේ වගකීමක් වෙන්නේ ඔවුන් කළ කැපකිරීමට මිලක් නියම කරන්න
බැරි නිසයි.
ගිය අවුරුද්දෙ ජූනි මාසෙ දවසක විශේෂඥ
මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයත්, මමත් තව කීපදෙනෙකුත් අත්තිඩිය "මිහිඳු සෙත් මැදුර"ට මුලින්ම පයගැහුවෙ
වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාට ආරක්ෂක අමාත්‍යංශයෙන් කරපු ආරාධනාවක ප්‍රතිඵලයක්
විදියට. හෙටට හරියටම අවුරුද්දකට කලින්, ඒ කියන්නේ 2011 මැයි මාසෙ 30 වෙනිදා
අත්තිඩියේ සුන්දර වටපිටාවක මිහිඳු සෙත් මැදුර විවෘත වෙන්නේ ආරක්ෂක
ලේකම්තුමාගේ සංකල්පයක් අනුව. පූර්ණකාලීන ආබාධිත තත්වයේ හිටපු රණවිරුවන් 45 දෙනෙක්
එදා මේ "නිවසින් බැහැර
නිවහනට" (home away
home) ඇතුලත් වුනා.
මේ සුන්දර මධ්‍යස්ථානය
රෝදපුටුවෙන් ගමන්කරන ආබාධිත අයෙකුට අවශ්‍ය සියළුම පහසුකම්වලින් වගේම වෛද්‍ය සහ
වෙනත් සේවාවලිනුත් පරිපූර්ණයි. ඒ වගේම මේ නිවහන සකස් කරලා තියෙන්නේ හෝටලයක
ආකෘතියකට. ඒ කතාව පස්සෙ දවසක කියන්නම්. විවිධ ක්ෂේත්‍ර වල සහය විවිධ විදියට මේ
නිවහනට ලැබෙද්දි අපි බලාපොරොත්තු වුනේ මේ නේවාසික රණවිරුවන්ට අවශ්‍ය මානසික සහය
ලබාදෙන්න උත්සාහයක් දරන්නයි. ඒකට හේතුව තමයි මේ රණවිරුවන් බොහෝ දෙනෙක් වයස අවුරුදු
විසිගණන් වල මුල් භාගය ගතකරන අය. අවිවාහකයි. ඒ වගේම එයාලගෙ පවුල් වල විවිධ
දුෂ්කරතා තිබුනා. ඒ වගේම සමහරුන්ට තමන් මුහුණදීපු යුධ අත්දැකීම් වල අතීතාවර්ජනයන්
මානසිකව දැඩි බලපෑම් ඇතිකරමින් තිබුනා. බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් රෝහල්ගතව තමන්ගේ
කායික ආබාධයන්ට ප්‍රතිකාර ලබමින් හිටපු අය. මේ තත්වය දරුණු යුද්ධයකට මුහුණදීපු හමුදාවක
දකින්න ලැබෙන තත්වයක්.
අපේ පළවෙනි
දවසේ අපි උත්සාහ කලේ ඔවුන්ගේ ජීවිතය චිත්‍රයට නගන්න අවස්ථාව ලබාදෙන්න. අවසානයේදී නිර්මාණාත්මක
සිතුවම් හැම කෙනෙක්ගෙම කඩදාසි වල ලස්සනට සටහන් වෙලා තිබුනා. ඔය විදියට වරින් වර විවිධ ක්‍රියාකාරකම්, විනෝදාංශ, ක්‍රීඩා, සංගීතය
වගේ දේවල් ප්‍රතිකාරාත්මක විදියට යොදාගනිමින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය හොද මට්ටමක
පවත්වාගන්න අපිට හැකිවුනා. ඔවුන්ගේ වෙනත් ගැටළු වලට විසඳුම් ලැබෙද්දි, කායික දුර්වලතා මගහැරෙද්දි ඔවුන් තවත් ධෛර්යමත් වුනා. මුලදි
ඇවිදින්න හිතලවත් නොතිබුන අපේ රණවිරුවන් කීපදෙනෙක්ම මේ වෙනකොට ඇවිදින්න පටන්
අරගෙන. පහුගිය මාසෙ වෙනකොට තවත් කීපදෙනෙක්ම විවාහ ගිවිසගෙන හිටියා. තමන්ගේ
ආබාධිතතාවය නිසා මුළු ජීවිතයම පලක් නෑ කියලා හිතපු සමහර රණවිරුවො දැන් ඒ ආබාධිතතාවයත්
එක්ක ජීවිතය ගොඩනගාගන්න සමත් වෙලා.
මේ කණ්ඩායම බොහොම
විනෝදකාමී, එකමුතු කණ්ඩායමක්. දක්ෂ ගායකයො, ලේඛකයෝ, චිත්‍ර ශිල්පීන් වගේම නළුවො,
නාට්‍ය නිර්මාණ ශිල්පීන් පවා ඒ අය අතර ඉන්නවා. හැමදාම අපේ ක්‍රියාකාරකම් අවසන් වෙන්නේ
ගීත කීපයක් ගායනා කලාට පස්සේ. ඒ වගේම තමයි මඩ. (අපේ බ්ලොග් අවකාසෙ තව හොඳයි ඈ..)
මේ රණවිරුවන්ගේ
සහයට පත්කරලා ඉන්න හමුදා සාමාජික කණ්ඩායම තමන්ට භාරවෙලා ඉන්න රණවිරුවා සුවපත්
කරන්න දිවා රෑ වෙහෙසෙනවා. සේනා විධායකතුමාගෙ ඉඳලා ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමා, භෞත චිකිත්සක, හෙද නිලධාරීන් වගේම ජ්‍යෙෂ්ඨ
සහ කණිෂ්ඨ කාර්යමණ්ඩලයත් ඒ වගේම තමයි. ආරක්ෂක ලේකම්තුමා, හමුදාපති වරුන් සහ සේවා
වනිතා ඒකක නිතරම මේ ඒකකය ගැන සොයාබලනවා.
මේ හැම කෙනෙක්ගෙම
කැපවීම තුලින් පහුගිය අවුරුද්දෙදි මේ රණවිරුවන් විශාල දියුණුවක් ලබලා තියෙනවා
කියලා දකිනකොට සියුම් ආඩම්බරයක් එක්ක සතුටක් දැනෙනවා. කොයිතරම් බාධක ආවත් නිවාඩු
දවස් හරි මේ කටයුත්ත වෙනුවෙන් කැපකරන්න ලැබීම සතුටක්.
නමුත් මේ
රණවිරුවන් හෙට දවසේ ඔවුන්ගේ නිවෙස් වලට යාවි. එතකොට ඒ අයට කටයුතු කරන්න වෙන්නේ ඔබ
අප වගේ සිවිල් සමාජයත් එක්ක. අන්න එදාටත් එදා ඔබ ඔවුන්ට දක්වපු ගෞරවය ඒ විදියටම
දක්වන්න. මොකද ඒ තමයි අපිට ඔවුන්ට දෙන්න පුළුවන් වන්දිය.
හැබැයි මේක කඩේ යාමක් විදියට වරදවා හිතන්න එපා හොඳද.
මිහිඳු සෙත් මැදුර වෙබ් අඩවියට මෙතනින් යන්න.
ඔන්න අපි ගැනත් තියෙනවා.
මිහිඳු සෙත් මැදුර වෙබ් අඩවියට මෙතනින් යන්න.
ඔන්න අපි ගැනත් තියෙනවා.
මිහිඳු සෙත් මැදුර ගැන විකාශය වුන වෙනස වැඩසටහන බලන්න.
අදට ප්‍රදීප්ගේ පිටුවෙන් සමුගන්නවා. ඊළඟට ලියන්න බලාපොරොත්තු
වෙන්නේ HIV සහ ඒඩ්ස් ගැන. කොහෙද ඒක ලියන්න වෙලාවක් ලැබුනයැ. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට හිතෙන දේ පහලින් ලියලා යන්නකෝ.














