Tuesday, July 31, 2012

සමලිංගිකත්වය - භීතිකාවෙන් ඔබ්බට...

Posted by at 9:19 AM
සමලිංගිකත්වය ගැන කාලෙන් කාලෙට බ්ලොග් පෝස්ට් ලියවෙනවා. කවදාවත් ලියන්න හිතාගෙන නොහිටියත් ගිය සතියේ කියවපු ඒ වගේ පෝස්ට් එකක් නිසා තමයි අද ප්‍රදීප්ගේ පිටුව මේ මාතෘකාව වෙනුවෙන් වෙන් වෙන්නේ. ඒ පෝස්ට් එකේ සහන් වුනු සමහර දේවල් වලින් සමලිංගිකත්වය ගැන අනවශ්‍ය බියක් ඇති බව පෙනුන නිසා තමයි මේ ගැන ලියන්න හිතුවේ.

මේ ගැන පොඩ්ඩක් හොයනකොට සමලිංගිකත්වය කියන්නේ හො දෙයක්ද, නරක දෙයක්ද, සමලිංගිකයන් සමාජයෙන් පිටමං කළ යුතුද, සමලිංගිකත්වය නීතිගත කළ යුතුද, ඔබේ දරුවා සමලිංගික අතවර වලින් බේරාගන්නේ කෙසේද, පිටකොටුවේ සමලිංගික රැස්වීම් තියන්න අවසර දුන්නේ කව්ද, මෙකී නොකී විවිධ මාතෘකා වලින් ලියවුනු බ්ලොග් පෝස්ට් කීපයක්ම කියවන්න ලැබුනා. ඒ හැම එකක්ම ගත්තොත් විවිධ මතවාද විවිධාකාරයෙන් පළ කරලා තිබුනා.

                              ග්‍රීක මිථ්‍යා කතාවල එන සියුස් සහ ගැනිමීඩ් අතරප්‍රේමය

අද ප්‍රදිප්ගේ පිටුවෙන් උත්සාහ කරන්නේ සමලිංගිකත්වය ගැන ලෝකයේ මනෝවිද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව දරන ආකල්පය ගැන කතා කරන්න. මොකද අද දවසේ යම් ආකාරයකට කතාබහට ලක්වන මාතෘකාවක් විදියට මේ ගැන කතා කරන එක සුදුසුයි කියලා හිතන නිසා. එහෙම නැතුව මගේ මතය පළ කරන්නවත්, සමහරු කියනවා වගේ කුතුහලය අවුස්සන මාතෘකාවක් දාලා බ්ලොග් එක ප්‍රමෝට් කරගන්නවත් නෙමෙයි.

සමලිංගිකත්වය කියන්නේ මොකක්ද?

සමලිංගිකත්වය කියන්නේ පිරිමියකු හෝ කාන්තාවක් තමන්ගේම ලිංගයේ කෙනෙකුට ලිංගික වශයෙන් ආකර්ෂණය වීම. විකිපීඩියා සිංහල විශ්වකෝෂය කියන්නේ "සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි." කියලා.

යම් කෙනෙක් සමලිංගික වෙන්නේ කොහොමද?

පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම සමලිංගිකත්වය (Homosexuality), විෂම ලිංගිකත්වය (Heterosexuality), උභය ලිංගිකත්වය (Bisexuality) කියන ආකාර තුනකින් පවතින්න පුළුවන්.  මේ ආකාර තුන ගැන ලිංගිකත්වය කියන පෝස්ට් එකේ කතා කරලා තියෙනවා. මේ හැඩගැස්ම ඇති වෙන්නේ මොනවගේ හේතුවක් නිසාද කියන එක ගැන තවමත් 100%ක් පිළිගන්නා මතයක් නෑ. නමුත් බහුතරයක් පිළිගන්න මතයක් තමයි උපතේදීම හෝ ඉතා අඩු වයසේදී කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම තීරණය වෙනවා කියන එක.

බොහෝ විට සාකච්ඡා වෙනවා කුඩා කාලයේදී සිදුවූ අතවරයක් නිසා කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම සමලිංගික වෙන්න පුළුවන් කියලා. ඒක කොහේවත් ඔප්පු කරපු මතයක් නෙමෙයි. ලිංගික හැඩගැස්ම වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා වෙනස් කරන්න බැහැ. එහෙම පුළුවන්නම් තමන් අකමැති ලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙක්ට බලපෑම් කරලා ඔහුගේ හෝ ඇයගේ ලිංගික හැඩගැස්ම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්න බැහැ. නමුත් කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස් කරගන්න උත්සාහ කරනවානම් ඒ සඳහා මනෝවිද්‍යාත්මක සහය ලබාගන්න පුළුවන්.



සමලිංගිකත්වය ලෙඩක් ද?

මනෝවිද්‍යාත්මකව බැළුවොත් මේ කියන ලිංගික හැඩගැස්ම අතිශයින්ම සාමාන්‍යයි. සමලිංගිකත්වය රෝගයක් කියන මතය දැන් පිළිගන්නේ නෑ. රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණ දෙකම (ICD සහ DSM) සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.වර්තමානයේ පිළිගන්න විදියට සමලිංගිකත්වයත් විෂම ලිංගිකත්වය වගේම එක්තරා ලිංගික හැඩගැසීමක් පමණයි. ඒ අයගෙත් ලිංගික හැඟීම් ශුංගාරාත්මක හැඟීම් ඇති වෙනවා. ආදරය හා ලිංගිකත්වය පිළිබඳ සමාන හැඟීම් ඇතිවෙනවා. වෙනස් වෙන්නේ ඔවුන් මේ හැඟීම ඇතිකරගන්නේ තමන්ගේම ලිංගයේ අයට වීම කියන කාරණය විතරයි.

එහෙම නැත්නම් සමලිංගිකත්වය වරදක්ද?

විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික හැඩගැසීම් වලින් එකක්වත් අසාමාන්‍යයි කියන්න බැහැ. නමුත්, අති විශාල බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන්ගේම ලිංගයේ අයට ලිංගිකව විකර්ෂණය වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් දකින්නේ තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වීම පිළිකුල් සහගත දෙයක් විදියට. ඒ නිසාම ඒක සමාජයේ පිළිගත් මතයක් බවට පත්වුනා. ඒ වගේම සමලිංගිකත්වය රෝගයක් විදියට පිලිගන්න පටන්ගත්තා. ඒකට තවත් හේතුවක් වුනේ කතෝලික ධර්මය ලෝකයේ පැතිරීම. කතෝලික ධර්මය සමලිංගිකත්වය පාපයක් විදියටයි සලකන්නේ. නමුත් මේ වෙනකොට කතෝලික ධර්මය ප්‍රධාන ආගම වශයෙන් පිළිගන්න රටවල් වල පවා සමලිංගිකත්වය වරදක් විදියට සලකන්නේ නෑ. උපතින්ම ගෙනෙන දෙයක් වරදක් විදියට සලකන්න බැහැ කියන එකයි ඔවුන්ගේ මතය.

ඇමරිකානු මනෝවිද්‍යා සංගමය කියන කතාව මෙතනින් බලන්න.

සමලිංගිකත්වය කියන සංකල්පය ඇතිවුනේ මෑතකදි නේද?

සමලිංගිකත්වය අද ඊයේ ඇතිවුන දෙයක් නෙමෙයි. ලේඛනය ආරම්භ වූ අවධියේ ඉඳලා මේ දක්වාම සමලිංගිකත්වය ගැන ලිඛිත සාක්ෂි හොයාගන්න පුළුවන්. කාලයෙන් කාලයට සමලිංගිකත්වයට ලැබුනු තැන වෙනස් වුනා. කාලයක් සමලිංගිකත්වය පූජනීයත්වයේ තියලා සලකද්දි තවත් කාලයක සමලිංගිකයන් පණ පිටින් පුළුස්සනු ලැබුවා. අද වෙනකොට සමලිංගිකත්වය ලෝකයේ බොහෝ රටවල් සාමාන්‍ය දෙයක් විදියට පිළිගන්නවා. සමලිංගිකත්වය වරදක් විදියට සලකන්නේ රටවල් 70ක් විතර ප්‍රමාණයක් විතරයි. අනාගතයේදීත් සමලිංගිකයන් බිහිවෙනවා. හැම කාලයකම ලෝක ජනගහනයෙන් යම් ප්‍රමාණයක් (4%ක් පමණ) සමලිංගික නැඹුරුවක් ඇතිව තමයි උපදින්නේ. ඔවුන්ට ලැබෙන තැන කුමක් වේවිද කියන්න තවම ඉක්මන් වැඩියි. බ්ලොග් ලෝකයේ සැරිසරද්දි සමලිංගිකත්වයේ ඉතිහාසය ගැන ලියවුන පෝස්ට් දෙකක් කියවන්න ලැබුනා. මෙතනින් කියවන්නකෝ. 01, 02.

                                        චීනයේ ක්විං රාජ සමයේ ආදරය කරන
                                                 පිරිමින් දෙදෙනෙකු දැක්වෙන සිතුවමක්

සමලිංගිකයන් HIV/AIDS වාහකයන්ද?

සමලිංගිකයන් HIV/AIDS වාහකයන් විය හැකියි. ඒ වගේම විෂමලිංගිකයනුත් HIV/AIDS වාහකයන් විය හැකියි. සමලිංගිකයෙක් හෝ විෂමලිංගිකයෙක් HIV/AIDS ආසාදිතයෙක්නම් ඔහු/ඇය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන සමලිංගික හෝ විෂමලිංගික අයෙකුට HIV/AIDS ආසාදනය වෙන්න පුළුවන්. ලෝකයේ අළුතින් HIV ආසාදනය වෙන අය බැළුවාම ඒ අයගෙන් 85%ක්ම ආසාදනය වෙලා තියෙන්නේ විෂමලිංගික සම්බන්ධතා වලින්. ප්‍රදීප්ගේ පිටුවේ HIV/AIDS පෝස්ට් එක මෙතනින් බලන්න.

සමලිංගිකයන් ලිංගික අපරාධකරුවන්ද?

නැහැ. සමලිංගිකයකු වූ පමණින් කෙනෙක් ලිංගික අපරාධකරුවෙක් වෙන්නේ නෑ. නමුත් ලිංගික අපරාධකරුවන් අතර සමලිංගික හැඩගැසීමක් සහිත අය ඉන්න පුළුවන්. ඒ අයගේ ලිංගික හිංසනයට භාජනය වෙන්නේ තමන්ගේම ලිංගයේ අය.

උදාහරණයක් විදියට කුමරකාමය (Pedophilia) කියන මානසික ලිංගික අක්‍රමතාවය තියෙන කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම සමලිංගික හෝ විෂම ලිංගික වෙන්න පුළුවන්. සමලිංගික පිරිමි කෙනෙක් කුමරකාමයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික තෘප්තිය ලබාගන්න පිරිමි දරුවෙක් යොදාගන්න පුළුවන්. විෂමලිංගික පිරිමි කෙනෙක් මේ තත්වයෙන් පෙළෙනවානම් ඔහු ලිංගික තෘප්තිය ලබන්න ගැහැණු දරුවෙක් යොදාගන්න පුළුවන්.

ලාංඡන භක්තිය (Fetishism) තියෙන කෙනෙක් සමලිංගික නම් ඔහු/ ඇය තමන්ගේ ලිංගික තෘප්තිය සහා භාවිතා කරන්නේ තමන්ගේම ලිංගයේ කෙනෙක්ගේ යට ඇුම් වගේ දේවල්. විෂම ලිංගික කෙනෙක්නම් විරුද්ධ ලිංගයේ අයගේ දේවල්.

සත්වකාමය (Zoophilia) හැර ලිංගික ගැටළු කියන පෝස්ට් එකේ තියෙන අනිත් සියළුම අක්‍රමතා වලට මේ තත්වය අදාලයි. සමලිංගිකයන් කියන්නෙත් සමාජයේ ඉන්න කොටසක් නිසා ඔවුන් අතරත් මේ වගේ අය ඉන්න පුළුවන්. විෂම ලිංගිකයන් අතරත් ඉන්න පුළුවන්. නමුත් හැම සමලිංගිකයෙක්ම හෝ විෂමලිංගිකයෙක්ම ලිංගික අපරාධකරුවන් නෙමෙයි.

1954 දී බ්‍රිතාන්‍ය රජය කොමිසමක් පත් කලා Committee on Homosexual Offenses and Prostitution කියලා. ඒ කොමිසමේ වාර්තාවට කියන්නේ WOLFENDERN REPORT කියලා. ඒ කොමිසම පත්කලේ සමලිංගිකයන්ගෙන් සමාජයට වෙන හානිය මොකක්ද කියලා අධ්‍යයනය කරන්න.1957 සැප්තැම්බර් 3 වෙනිදා පළ කරපු ඒ වාර්තාව කියන විදියට ඔවුන් වසර තුනක් තිස්සේ කරන ලද අධ්‍යයනය මගින් ආපු නිගමනය තමයි "homosexual behavior between consenting adults in private should no longer be a criminal offense" කියන එක. ඒ කියන්නේ "එකිනෙකාගේ කැමැත්ත මත වැඩිහිටි දෙදෙනෙක් ( වයස 18ට වැඩි) අතර ඇතිවන සමලිංගික සම්බන්ධතා වැරදි විදියට නිගමනය කරන්න බෑ" කියන එක. එකිනෙකාගේ කැමැත්ත නැතිව (බලෙන්) හරි බාලවයස්කරුවෙක් එක්ක හරි සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්තුවොත් ඒක වරදක්. එවැනි විෂමලිංගික සම්බන්ධතාවයක් වුනත් වරදක් නිසා ඒ වාර්තාව අනුව සමලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය සමාන ලෙස සැලකිය යුතුයි. ඒ අනුව තමයි බ්‍රිතාන්‍යය සමලිංගිකත්වය නීතිගත කලේ.



සමලිංගික සංවිධාන තිබීම සමලිංගිකත්වය ප්‍රචලිත වීමට හේතුවක්ද?

නැහැ. සමලිංගික හෝ විෂමලිංගික හැඩගැස්මක් ඇති කරන්න බාහිර සමාජයට බැහැ. එය අදාල පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තිබෙන දෙයක්. ඒ නිසා සමලිංගික සංවිධාන තිබීම නිසා සමලිංගිකයින් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා හඳුනාගෙන නැහැ. සමාජ විද්‍යාත්මකව බලපුවාම හැම ආකාරයේම සමාන අදහස් දරන අය කණ්ඩායම් හෝ සංවිධාන විදියට එකතු වෙනවා. ඔවුන්ගේ අත්දැකිම් බෙදාගන්නවා. සමාජයේ අඩු අවස්ථා ලැබෙන කණ්ඩායම් (Disadvantaged groups) තමන්ට වැඩි අවස්ථා ඉල්ලලා සටන් කරනවා. ඒ තත්වය සමලිංගිකයන්ට පමණක් සීමා වුන දෙයක් නෙමෙයි.



ඒ නිසා සමලිංගිකත්වය පිළිබ අනවශ්‍ය භීතියක් ඇති කරගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමලිංගිකයන් කියන්නෙත් අපේ සමාජයේම කොටසක්. ඔවුන් ඔවුන්ගේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, වෘත්තීයමය සහ ලිංගික ජීවිතය ඔවුන්ට අවශ්‍ය විදියට ගෙනයාවි. විරුද්ධ ලිංගිකයන්ගේ වගේම ඔවුන්ගෙත් අතිශය බහුතරයකගෙන් සමාජයට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. නමුත් දෙපිරිසටම අයිති සුළු පිරිසක් ලිංගික හිංසකයන් විදියට ක්‍රියාකරනවා. ඒ සහා වගකිවයුත්තේ ඒ හිංසකයන්ම මිස සමලිංගිකයන් හෝ විෂමලිංගිකයන් නෙමෙයි.

අද ප්‍රදීප්ගේ පිටුව උත්සාහ කලේ සමලිංගිකත්වය ගැන මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක යෙදෙන්න. විවිධ මතවාද ඇති. සමලිංගිකත්වය නීතිගත කළ යුතුද? නැත්නම් සමලිංගික විවාහයන්ට ඉඩදිය යුතුද? වගේ මාතෘකා දේශපාලනික වශයෙන් ගතයුතු තීරණ. නමුත් සමලිංගිකත්වය පිලිබ භීතියක් ඇතිකර ගැනීම අනවශ්‍ය දෙයක් විදියටයි ප්‍රදීප්ගේ පිටුව දකින්නේ.

එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.

ප.ලි. - මගේ ලිංගික නැඹුරුව ගැන බ්ලොග් අඩවියේ පළ කිරීම අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. ඒ දේ දැනගතයුතු අය පමණක් දැනගැනීම ප්‍රමාණවත්. සමලිංගිකත්වය ගැන කතාකරන්න සමලිංගිකයෙක්ම වියයුතුයි නම් ඒඩ්ස් ගැන ලියන්න ඒඩ්ස් රෝගියෙකුම විය යුතුයි, මානසික රෝග ගැන ලියන්න මානසික රෝගියකුම විය යුතුයි. මේ ලිපියේ උඩින්ම කියපු විදියට තමන් දන්න දේ ගැන පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක ලියන කෙනාට අයිතියක් තියෙනවා. මේ ලිපියෙන් මම උත්සාහ කලේ අන්න ඒ දේ. කියවලා ඒ දේ පිලිගැනීම හෝ නොගැනීම කියවන ඔබට අයිති කාර්යයක්. 

Tuesday, July 24, 2012

සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?

Posted by at 12:33 AM
බස් රේඩියෝ බ්ලොග් සතියට පස්සේ අද තමයි වෙලාවක් ලැබුනේ අළුතින් මොනවා හරි ලියන්න. ලියන්න දේවල්නම් බොහොමයි. වෙලාවක් තමයි නැත්තේ. නාඩියා හිරේ ගිය හැටි කියවලා පොරොන්දු වුන හැටියට මං හිරේ ගිය හැටි ලියන්නත් තියෙනවා. දෙමළ කතා කරන නංගිලා මල්ලිලා පිරිසක් එක්ක ගත කරපු දවස් 10 ගැනයි, තව ගොඩක් දේවලුයි වෙලාව තියෙන විදියට ලියන්නම්.

බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් පවත්වන සාකච්ඡා මාලාවට සහභාගී වුන වෙලාවේ මං කියපු විදියටත්, පොර ටෝක් එකේ කියපු විදියටත්, ලියලා පුරුදු විදියටත් සෞඛ්‍යය ගැන කතා කරන්නයි අදත් ලෑස්ති වෙන්නේ.

සිගරට් ගැන අහලා තියෙනවද? සිගරට් වලට එක එක වචන කියනවනේ. මගෙ යාළුවෙක් කියන්නේ "මචං, ෆැන්ටා එකක් ගහලා එන්නම්" කියලා. තව ඒ වගේ ඒවා ඇතිනෙ. සිගරට් නැති නිසා බන්ධනාගාරෙ ඉන්න කට්ටිය බොන්නෙ ලෝකල්. ඒවා හදන හැටි වෙන වෙලාවක කියලා දෙන්නම්. තව ඉතිං බීඩි, සුරුට්ටු වගේ දේවලුත් අයිති වෙන්නේ "දුම් වැටි" කියන කාණ්ඩෙටම තමයි. අද ලියන්නෙ ඒ ගැන. මං සිගරට් බොන්නෙ නෑ කියලා මේක කියවන්නෙ නැතුව ඉන්න එහෙම එපා හොද?



සිගරට් හදන හැටිවත්, සිගරට් වල තියෙන දේවල් වත් නොකියා සිගරට් නිසා මොකද වෙන්නෙ කියන තැනින්ම පටන් ගන්නම්. මොකද අනිත් දේවල් අහලා දැකලා හොට පුරුදුයිනේ.

සිගරට් නිසා මිනිසුන් මිය යනවද? ඔව්.
කී දෙනෙක්ද? ඒක තමයි දන්නැත්තෙ නේද? එහෙනම් අහගන්න. සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්. ඒ කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා. මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, ඒ සංඛ්‍යාව මේ ලැයිස්තුවේ තියෙන කාරණා නිසා මිය යන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි.

         Motor vehicle accidents - මෝටර් රථ අනතුරු
         Suicides - සිය දිවි නසාගැනීම
         Homicide - මනුෂ්‍ය ඝාතන
         Tuberculosis - ක්ෂය රෝගය
         Maternal deaths - මාතෘ මරණ



දුම් පානය නිසා කෙනෙක් මිය යන්නේ කොහොමද?
දුම්කොළ වල අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ස්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ ශරීරයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
·        හෘද රෝග
o   Myocardial infarction - හෘදයාබාධ
o   Stroke - ආඝාත (මොළයට රුධිරය සැපයීම අවහිර වීම)
o   Sudden death - හදිසියේ මියයාම (හේතුවක් නැතිව)
o   Peripheral vascular disease - රුධිර වාහිනී ආශ්‍රිත රෝග


·        පිළිකා
o   Lung - පෙනහළු
o   Oral cavity - මුඛ කුහරය
o   Oesophagus - අන්නශ්‍රෝතය
o   Stomach - ආමාශය
o   Pancreas - අග්න්‍යාශය
o   Larynx - ස්වරාලය
o   Bladder - මුත්‍රාශය
o   Kidney - වකුගඩු
o   Leukaemia - ලියුකේමියා (ලේ පිළිකා)
o   Liver - අක්මාව


·        පෙනහළු
o   Chronic obstructive pulmonary disease(COPD) - නිධන්ගත පෙනහළු රෝග



මේවාට අමතරව තවත් ගැටළු ඇති වෙන්න දුම්පානය හේතු වෙන්න පුළුවන්. ඒවායින් මූලික කාරණයක් තමයි ප්‍රජනක සෞඛ්‍යය (reproductive health) සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු.

·        ශරීරයේ නිපදවෙන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවා. සුළු පටු ප්‍රමාණයකින් නෙමෙයි. 24%කින්. ඒ කියන්නෙ හරියටම ¼ ක්.
·        විකෘති වූ ශුක්‍රාණු නිපදවෙනවා. ඒ ශුක්‍රාණු වල සඵලතාවය අඩුයි.
·        Erectile dysfunction - එහෙමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය (impotence) ඇති වෙන්නත් මූලික හේතුවක් වෙන්නේ දුම්වැටි.



මේ ගැටළු ඇති වෙන්නේ දුම් බොන අයට විතරද? නෑ.
දුම් බොන අය ළ ඉන්න දුම් නොබොන අයටත් මේ දේවල් බලපානවා. ඒකට කියන්නේ "අක්‍රීය දුම් පානය". එහෙම වෙන්නේ, සිගරට් දුමෙන් ¾ ක් පිට වෙන්නේ වායුගෝලයට. මේ දුම සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි නිසා සුළට ගසාගෙන යන්නෙ නැතිව ඒ අවට පරිසරයේම රැඳි තියෙනවා. මේ නිසා දුම් නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්. ඒ නිසයි පොදු ස්ථාන, ආවරණය කළ ස්ථාන, ජනතාව රැස්වෙන ස්ථාන වගේ ඒවගේ දුම් බීම තහනම් කරන්න නීති ගෙනල්ලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම ගැටළුවක්.



අක්‍රීය දුම් පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.
         Sudden infant death syndrome - හදිසියේ ළදරුවන් මියයාම
         Chronic cough - නිධන්ගතව පවතින කැස්ස
         Ear infection - කණේ ආසාදන
         Asthma - ඇදුම

ගර්භනී මවක් අක්‍රීය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ විදියට බලපාන්න පුළුවන්.
         Low birth weight - අඩු බර දරු උපත්
         Prematurity - නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36ට අඩු)
         Abortions - ගබ්සා වීම
         Still births - මළ දරු උපත්
         Congenital abnormalities - ආබාධ සහිත දරුවන් ලැබීම



මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන කාරණයක් තමයි එතුමා පෙනහළු රෝගයකට ගොදුරු වුනේ එතුමා ගර්භාෂයේ ඉන්නකොට සහ ළමා කාලයේ එතුමාගේ තාත්තා බීඩි බිම නිසා කියන එක. මේ නිසා බිරි ගර්භනී අවස්ථාවේ ඉන්නකොටවත් දුම් පානයෙන් වැලකිලා ඉන්නවානම් හොයි.

අපි මේ වෙනකම් කතා කලේ සෞඛ්‍ය ගැටළු ගැනනේ. ආර්ථික සහ සමාජයීය ගැටළු ගත්තොත් අපේ රටේ කරපු සමීක්ෂණයකට අනුව මධ්‍යම පාන්තික පවුලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරන මුදල ඒ පවුලේ ආදායමෙන් 1/3 ත් ½ ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 12000ක් හම්බ කරන පවුලක් රුපියල් 4000ත් 6000ත් අතර මුදලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරනවා. ඒ නිසා ඒ පවුලේ අනිත් සියළුම කටයුතු වලට ඉතිරි වෙන්නේ ආදායමෙන් 2/3ත් ½ත් අතර මුදලක් විතරයි. ඒ නිසා ඒ පවුල දවසින් දවස දුප්පත් වෙනවා.



නමුත් මේ කිසිම දෙයක් සිගරට් සමාගම් වලින් අපිට කියන්නෙ නෑ. ඔවුන්ට එක වාසියක් වෙලා තියෙන්නේ සිගරට් නිසා ඇති වන රෝග වලින් මියයන අය වාර්තා වෙන්නේ ඒ රෝගය නිසා මියගිය අය විදියට මිසක් සිගරට් නිසා මිය ගිය අය විදියට නොවීම. ඒ වගේම සමාජයේ සිගරට් ගැන මවලා තියෙන ප්‍රතිරූපයත් ඒකට හේතු වෙලා තියෙනවා.

සිගරට් බීම නැවැත්තුවොත් කෙනෙකුට ඇතිවෙන වාසි මොනවාද?
1.     අපි කලින් කියපු රෝග වලට ගොදුරු වීමේ අවදානම සැළකිය යුතු ලෙස අඩු වීම.
2.     තම ආදායමෙන් විශාල මුදලක් දිනපතා ඉතිරි වීම.
3.     තම පවුලේ අය අක්‍රීය දුම් පානයට ගොදුරු නොවීම නිසා පවුලේ ලෙඩරෝග අඩු වීම.
4.     සිගරට් බොන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට දායක වීම තුලින් සිගරට් බීම විලාසිතාවක් නොවීමට හා ඒ ගැන සමාජ මතය වෙනස් කිරීමට ඔබ දායක වීම.
5.     ඔබගේ දරුවන් සිගරට් වලට යොමු වීමේ අවදානම අඩු වීම.

සිගරට් බීම නවත්තන්නෙ කොහොමද?
ඒක ඒ තරම් අපහසු නෑ. සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුළුවන්. අවශ්‍ය වෙන්නෙ උනන්දුව විතරයි.
·        සිගරට් බීම නවත්තන දවස විදියට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න. (උදාහරණයක් විදියට දරුවාගේ උපන් දිනය)
·        තමන් සිගරට් බීම නවත්තන බව ඔබ ඇසුරු කරන අනිත් අයට කියන්න. (බිරි, පවුලේ අය)
·        සිගරට් බීම වෙනුවට වෙනත් විකල්පයක් යොදාගන්න. ( බබල්ගම් එකක්, තේ එකක්)
·        සිගරට් වලට දිනපතා වියදම් කරපු මුදල එකතු කරන්න. සතියකට සැරයක් ඒ මුදල බැංකුවේ තැන්පත් කරන්න. මාසෙකට සැරයක් ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා බලන්න.
·        ඔබගේ යාළුවන්ටත් සිගරට් බීම නවත්තන්න උපදෙස් දෙන්න.
·        හැම අවුරුද්දකම ඔබ සිගරට් බීම නවත්තපු දිනය සමරන්න.

එතකොට ඔබට ලොකු නිදහසක් දැනෙයි. අනික දීර්ඝ කාලයක් සිගරට් බීපු කෙනෙක් වුනත් සිගරට් බීම නවත්තලා අවුරුදු 5ක් යනකොට සිගරට් වලින් ශරීරයට ඇතුල් වුනු විෂ රසායන ඔක්කොට ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය මිනිසෙක්.



මේ ටික සිගරට් නොබොන අයට...
සිගරට් බීමෙන් වැලකිලා ඉන්නවා වගේම සිගරට් බොන කෙනෙක් ගලවාගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඔබට පුළුවන් වුනොත් සිගරට් බොන දෙන්නෙක් ඒකෙන් මුදවා ගන්න ඔබ ජීවිතයක් බේරා ගත් කෙනෙක් බවට පත් වෙනවා. මොකද මම මුලින්ම කියපු කාරණය නිසා. // සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්//

කොහොමද කෙනෙක් සිගරට් බොන එකෙන් වලක්වා ගන්නේ..?
හරිම පහසුයි. ඔබ සිගරට් බොන දස දෙනෙකුට (10) කිව්වොත් "සිගරට් බොන එක නවත්තන්න" කියලා, ඒ අයගෙන් එක්කෙනෙක් සිගරට් බීම නවත්තනවා කියලා හොයාගෙන තියෙනවා. එහෙම නැවැත්තුවේ නැත්නම් මේ කතා කරපු දේවල් ටිකක් කියලා බලන්න. නවත්තගන්න හැටිත් කියලා දෙන්න. ඔයාගෙ ජීවිත කාලෙදි සීයකට කිව්වොත් දෙතුන් දෙනෙක් හරි අහයි. ඒ හොටම ඇති.

කෙනෙක් සිගරට් බීම නවත්තන්න කැමති වුනත් ඒක අපහසුනම් ගොඩක් වෙලාවට එයා දුම්කොළ වලට ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්. ඒ වෙලාවට වෛද්‍ය උපදෙස් ලබාදීම වැදගත් වෙනවා.



යන්න කලින් සුබ ආරංචි දෙකක් තියෙනවා කියන්න. පළවෙනි කාරණය තමයි සයිබර් සිහින උළෙලට පස්සෙ සයිබර් අවකාශයේ මිතුරෝ පවත්වන සමාජ සත්කාර වැඩසටහන මේ දවස් වල ලහිලහියේ සැළසුම් කෙරෙනවා. විශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉලා අපි අතරින් වෙන්වුනු ඔබා මාමා සහ ඉලන්දාරියා සිහිපත් කරලා රටටත්, හෙටටත් වැදගත් යමක් ඉදිරියේදී සිදු කෙරේවි. විස්තර සයිබර් සිහින උළෙල නිල බ්ලොග් අඩවියෙන්දීම ලබාගන්න පුළුවන්.

අනිත් කාරණය තමයි ඉදිරියේදී ඔබට මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් ලබා ගන්න අවස්ථාවක් ලැබේවි කියන එක. විස්තර පස්සෙ කියන්නම්කෝ.

එහෙමනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය...!
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template