Posted by Pradeep Gunarathna at 12:08 AM
ප්රචණ්ඩත්වය... මේ දවස් වල රටේ හැම තැනම
කතා බහ වෙන මාතෘකාවක්. හැම දවසකම ප්රචණ්ඩ ක්‍රියා දෙක තුනක් වාර්තා වෙනවා. ප්රචණ්ඩත්වය
දවසින් දවස වර්ධනය වෙන්නේ ඇයි කියන එක සමාජ විද්‍යාත්මක ගවේශණයන්ට ලක්වියයුතු
මාතෘකාවක්. නමුත් ප්රචණ්ඩත්වය සමග බැඳී තිබෙන මනෝවිද්‍යාත්මක තත්වය ගැන පුංචි විමසීමක්
කිරීම කාලෝචිතයි කියලා හිතනවා. අද ප්‍රදීප්ගේ පිටුව වෙන් වෙන්නේ ඒ වෙනුවෙන්.
සමහර කාල වලදි සැකකරුවන්ට, ඔත්තුකරුවන්ට සහ
දේශපාලන සිරකරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සමාජයන් තුල සාධාරණිකරණයට ලක් වුනා. නමුත්
මේ වෙනකොට ලෝකය සියළු ආකාරයේ ප්රචණ්ඩත්වය හෙලා දකිනවා. එක්සත් ජාතින්ගේ මානව
හිමිකම් පිලිබඳ විශ්ව ප්රකාශනය
මේ විදියට කියනවා.
පූර්විකාව - "මානව අයිතිවාසිකම්
නොතැකිමේ හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික
පීඩනයට භාජනය කෙරෙන මිලේච්ඡ කෲරකම් සිදුවී ඇති හෙයින්ද,...."
5 වන වගන්තිය - "කිසිම කෙනෙකු වධයට,
කුරිරු අමානුෂික දඬුවමකට හෝ
හිරිහැරයකට හෝ එවැනි නින්දාවකට හෝ පත් නොකල යුතුය."
ප්රචණ්ඩත්වය කියන්නේ මොකක්ද?
“ Any act of which severe pain or
suffering, whether physical or mental, is intentionally inflicted on a person
for such purposes as obtaining from him or third person, information or a
confession, punishing him for an act he or a third person has committed or is
suspected of having committed, or intimidating or coercing him or a third
person, or for any reason based on discrimination of any kind, when such pain
or suffering is inflicted by or at the instigation of or with the consent or
acquiescence of a public official or other person acting in an official
capacity. It does not include pain or suffering arising only from inherent in
or incidental to lawful sanction”
යමක්
ලබාගැනීම, දඬුවම්
කිරීම, අවමානයට ලක් කිරීම වැනි අරමුණක් ඉටු කරගැනීම සඳහා යම්
පුද්ගලයෙකු (පුද්ගලයන්) කායික හෝ මානසික වශයෙන් වේදනාවට පත් කිරීම ප්රචණ්ඩත්වය
ලෙස හැඳින්වේ.
නීත්‍යානුකූල වශයෙන් යම් පුද්ගලයකුට දෙනු ලබන දඬුවමකදී විඳින යම්
වේදනාවක් වෙතොත් එය ප්රචණ්ඩත්වය යටතට ගණන් ගනු නොලැබේ.
-
ප්‍රචණ්ඩත්වයට එරෙහි එක්සත් ජාතින්ගේ
සම්මුතිය (1984)
විවිධාකාරයේ
ප්රචණ්ඩ ක්‍රියා රාශියක් තියෙනවා. මේ එයින් කිහිපයක්.
- කායික ප්රචණ්ඩත්වය
- මානසික ප්රචණ්ඩත්වය
- ලිංගික ප්රචණ්ඩත්වය
- ගෘහස්ථ ප්රචණ්ඩත්වය
- සයිබර් ප්රචණ්ඩත්වය (පරිගණක පද්ධති වලට හානි පැමිණවීම ආදිය)
- සන්නිවේදනය ආශ්රිත ප්රචණ්ඩත්වය (දුරකථන ඔස්සේ තර්ජනය කිරීමේ සිට මාධ්‍ය පදනම් කරගත් අපහාස කිරීම් දක්වා)
- පාසල් ආශ්රිත ප්රචණ්ඩත්වය (දරුවන්ට කරනු ලබන හිංසා ආදිය)
- දේශපාලන ප්රචණ්ඩත්වය
- ආර්ථික ප්රචණ්ඩත්වය
ප්රචණ්ඩත්වය එහෙමත් නැත්නම් වදහිංසා
පැමිණවීම පිලිබඳ සොයාබලද්දි
පාර්ශව දෙකක් ගැන විමසා බලන්න සිදු වෙනවා. පළමු කාණ්ඩය තමයි වින්දිතයන් (Victim). අනෙක් කොටස
තමයි "වධකයා" (perpetrator).
යම් ප්රචණ්ඩ ක්‍රියාවකට භාජනය වුන කෙනෙකුට මේ
විදියේ ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන් මේ ලක්ෂණ පෙන්නුම් කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා.
- තමන් මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීම නැවත නැවත මානසිකව අත්විඳීම. (Re-experience the traumatic experience) නින්දේදී සිහින විදියට මෙන්ම දිවා කාලයේ අවදියෙන් සිටින විට අතීතාවර්ජන (Flash backs) විදියටත් ඒ අත්දැකීම දැනෙන්න පුළුවන්.
- එම අත්දැකීම හා සම්බන්ධ දේවල් වලින් හා ස්ථාන මගහැරීමට උත්සාහ කිරීම. (Avoidance behavior).
- අධි අවධිමත් බව. (Hyper-arousal)සුළු සිද්ධියකින් පවා කම්පනයට පත් වීම. උදාහරණ: නින්දේදී සුළු ශබ්දයකටත් බිය වී අවදි වීම.
- විශාදයේ ලක්ෂණ පෙන්වීම. (Symptoms of Depression)
- ආත්ම සංකල්පය බිඳ වැටීම. (Damage self concept) තමන් පිලිබඳ තමන් තුල තිබූ ගෞරවය හා අභිමානය බිඳවැටීම. තමන් අපිරිසිදු/ වටිනාකමක් නොමැති අයෙකු ලෙස හැඟීම.
- කායික වේදනා ඇතිවීම. (Somatic complains) වෛද්‍යමය වශයෙන් විස්තර කළ නෙහැකි කායික රෝග ලක්ෂණ ඇතිවීම.
- ලිංගික දුර්වලතා ඇති වීම. (Sexual dysfunction) විශේෂයෙන්ම ලිංගික හිංසනයට ලක් වූවන් අතර මේ තත්වය සුලබව දැකගන්න පුළුවන්. පොදුවේ ඕනෑම ආකාරයේ හිංසනයන්ට ගොදුරු වූවන්ට මේ තත්වය ඇති වෙන්න හැකියාවක් තියෙනවා.
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. (Substance abuse)
- මානසික රෝග වලට ගොදුරු වීම. (Psychosis) විශේෂයෙන්ම භ්‍රාන්තිය (hallucination) වගේ සයිකෝසීය ලක්ෂණ පෙන්නුම් කරන්නන්ගෙන් බහුතරයක් අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දුන් අය බව සොයාගෙන තියෙනවා.
- සම්බන්ධතා වල ගැටළු ඇති වීම. සමීප සම්බන්ධතා, පවුල් සම්බන්ධතා සහ සමාජ සම්බන්ධතා බිඳ වැටීම මේ නිසා සිදු වෙන්න පුළුවන්.
මේ බලපෑම් කෙටි කාලීනව වගේම දිගු කාලීනවත්
ඇති වෙන්න පුළුවන්. සමහර විට ප්‍රචණ්ඩත්වයට භාජනය වෙන පුද්ගලයා සිය දිවි නසාගැනීමට
පවා මේ ගැටළු හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය කටයුතු කරනවා
වගේම මේ ආකාරයේ ගැටළු හඳුනාගැනීමත් සහය ලබා දීමත් අත්‍යාවශ්‍ය
වෙනවා.
අපි වධකයා දෙසට හැරුණොත් ඔහු ඒ හිංසාව සිදු
කරන්නේ යම් කිසි අභිප්‍රේරණයක් (Motivation)
නිසා. ඒ අභිප්‍රේරණය යමක් ලබා ගැනීම, බිය වැද්දීම, දඬුවම් කිරීම වගේ ඕනෑම
දෙයක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඔහු/ ඇය යම් හිංසාවක් සිදු කරනු ලබන්නේ ප්රතිරෝධයන්
වලට එරෙහිවයි.
- අභ්‍යන්තර ප්‍රතිරෝධය - හෘදය සාක්ෂිය
- බාහිර ප්‍රතිරෝධය - නීතිය, සාරධර්ම, සමාජ පිලිගැනීම් හා විශ්වාස
- වින්දිතයාගේ ප්‍රතිරෝධය - වින්දිතයා විසින් ඇති කරනු ලබන ප්රතිරෝධයයි.
මෙවැනි අපරාධ සිදුකරන්නන් සතු පොදු ගුණාංග
කිහිපයක් තියෙනවා.
- මත්පැන් පානය (Alcoholism)
- ප්‍රචණ්ඩකාරී ස්වභාවය (Aggression)
- හීනමානයෙන් පෙලීම (Feelings of inadequacy)
- තනිකම (Feelings of isolation)
- ළමා කාලයේදී දෙමාපියන් අතර අඬදබර අත්විඳ තිබීම (Family violence)
- ලිංගික අපගමන (පරපීඩා කාමුකත්වය වැනි...) (Deviant sexuality)
- දුර්වල අන්තර් පුද්ගල සම්බන්ධතා (Poor interpersonal relationships)
- ආවේග පාලනය කරගැනීමේ නොහැකියාව (Poor impulse control)
මෙම ලක්ෂණ සහිත පුද්ගලයන් බොහෝ දුරට
හිංසකයන් එහෙමත් නැත්නම් වධකයන් වෙන්න අවදානමක් තියෙනවා. නමුත් හැම කෙනෙක්ම එහෙම
නොවෙන්නත් පුළුවන්. සමහර අය ළමා කාලයේදීම ප්රචණ්ඩ ලක්ෂණ පෙන්නුම් කරනවා. ලෝකයේ
සමහර රටවල මෙවැනි අවදානම් ලක්ෂණ ප්රබලව පෙන්නුම් කරන අය ආරක්ෂිත ස්ථාන වල රඳවලා තියන්න අවශ්‍ය
නීති සම්පාදනය කරලා තියෙනවා. නමුත් අපේ රටේ බොහොමයක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒකෙ
අනිත් පැත්ත.
වධකයන් නැවත සමාජගත කිරීම දීර්ඝ කාලීන
පුනරුත්ථාපන ක්‍රියාවලියක් සමග සිදු විය යුත්තක්. නමුත් බොහොමයක් වෙලාවට වෙන්නේ
එවැනි ප්රචණ්ඩ ක්‍රියා කරපු අය සති කිහිපයකින් නැවත සමාජගත වෙන එක. ඔවුන්ට තවත්
වාසියක් තමයි අපරාධ වින්දිතයන් ඔවුන්ට එරෙහිව කටයුතු නොකිරීම. බිය නිසා හරි මුදල්
නිසා හරි ගොඩක් වෙලාවට වින්දිතයන් නීතිමය කටයුතු වලට යොමු වෙනවා අඩුයි. ඒ නිසා වින්දිතයන්ට
නීතිමය පියවර ගැනීමට සහ සෞඛ්‍ය සහය ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සමාජයේ
පුරවැසියන් සතු යුතුකමක් වෙනවා.
ඒ වගේම ප්රචණ්ඩත්වය මුදාහරින අයට අවශ්‍ය
මනෝවිද්‍යාත්මක සහය ලබාගැනීමට ඔවුන් යොමු කිරීමත් වැදගත්. ඒ සඳහා පහසුවෙන්ම කටයුතු
කරන්න පුළුවන් වින්දිතයන්ට සහ පවුලේ සාමාජිකයන්ට. ඔවුන් වධකයන් කියලා කොන් කරන්නෙ
නැතුව ඔවුන්ට අවශ්‍ය මනෝචිකිත්සාමය සහය ලබාගැනීමට අවශ්‍ය සහය ලබා දිමෙන් සමාජ
ගැටළු යම් ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අන් අයට අසාමාන්‍ය විදියට
හිංසා කරන දරුවන් ගැන හොඳ අවධානයක් යොමු කිරීමෙන් අනාගතයේදී බරපතල
අපරාධ වලක්වාගන්න පුළුවන්කමක් ලැබෙනවා.
එහෙනම් ගිහින් එන්නම්. බ්ලොග් අවකාශයේමිතුරෝ සමාජ සත්කාර වැඩසටහනට තව තියෙන්නේ මාසෙකටත් වඩා අඩු කාලයක්. හැම කෙනෙක්ගෙම
සහය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.












