Posted by Pradeep Gunarathna at 11:58 PM
සැකය බොහොමයක්
සම්බන්ධතා බිඳී යාමට බලපාන සාධකයක්. පෙම්වතා, පෙම්වතිය,
සැමියා හෝ බිරිඳ දෙස සැකයෙන් බලන සහකරුවන් ප්‍රමාණය
සාපේක්ෂව විශාලයි. ඒ වගේම සැකයේ ප්‍රමාණය සරළ සැකකිරීමක සිට මානසික රෝගයක ලක්ෂණයක්
වීම දක්වා පරාසයක පැතිර පවතිනවා. එපමණක් නොවෙයි. අඹු සැමියන් හෝ පෙම්වතුන් අතර සිදුවන
සුළු අඬදබර වල සිට මිනීමැරුම් දක්වා සැකයේ ප්‍රතිඵල
විවිධ වෙන්න පුළුවන්. ඒ නිසයි අද ප්‍රදීප්ගේ පිටුව සැකය ගැන කතා කරන්න වෙන්කරන්නේ.
මේ සිද්ධිය අහන්න
ලැබුනේ එක්තරා පුද්ගලික ආයතනයකින්. මේ ආයතනයේ සේවය කරන තරුණියකට පැයකට තුන් හතර
වතාවක් පෙම්වතා දුරඇමතුම් ලබා දෙනවා. පෙම්වතිය මොන විදියේ රාජකාරියක නිරත වෙලා
හිටියත් දුරකතනය නාද වෙන පළමු අවස්ථාවේදීම පෙම්වතාට පිලිතුරු දිය යුතුයි. ඒ වගේම ඒ
වෙලාවට පිරිමි කටහඬක් ඔහුට දුරකථනයෙන්
ඇහුනොත් ඇයට බැනුම් වර්ෂාවකට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඊට හේතුව මේ පෙම්වතා ඇයව
අධික ලෙස සැක කිරීම. මේ විදියේ විවිධ තහංචි මාලාවක් මැද්දේ ඇය අවුරුදු 7ක්ම මේ
පෙම්වතාට ආදරය කරනවා. ඇය හිතන විදියට ඔහු තරහ ගන්නේ ඇයට ඇති ආදරය නිසයි. නමුත් ඒ
ආදරය ඕනවට වැඩි බව වටපිටාවෙ ඉන්න ඕනම කෙනෙකුට වැටහෙනවා.
මෙවැනි සිද්ධි ඕනෑතරම්
ඔබ අසා දැක ඇති. යම් පුද්ගලයෙක් මෙවැනි හැසිරීම් දක්වන්නේ බොහෝ දුරට “ලිංගික ඊර්ෂ්‍යාව”(Sexual Jealousy) කියන කාරණය නිසා.
මේ ඊර්ෂ්‍යාව විවිධාකාර වෙන්න පුළුවන්. ඇතැම්විට තමන්ගේ සහකරු හෝ සහකාරියගේ
ආකර්ෂණීය බව හෝ සමාජශීලී බව නිසා ඔහු හෝ ඇය අන් අයගේ ආකර්ෂණයට ලක්වීම අයෙකුට
ලිංගික ඊර්ෂ්‍යාව ඇති විමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් පිලිබඳ ඇති සෘණ ආකල්ප (මම එයාට වඩා කැතයි, මම එයා
තරම් ඉගෙනගෙන නෑ....) නිසා හෝ තමන්ට ඇය/ඔහු අහිමි වේ යැයි ඇතිවන බිය නිසා යම්කිසි
ඊර්ෂ්‍යාවක් සහකරු හෝ සහකාරිය කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පෞර්ෂයේ
ඇති දුර්වලතා, කටකතා, සැකය පදනම් කරගත් වැරදි ආකල්ප නිසා වගේම ප්‍රබල මානසික රෝගයක
ලක්ෂණයක් විදියට ඇතිවන සැකය නිසාත් ලිංගික ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්.
ඊර්ෂ්‍යාව ඇතිවීමට
බලපාන හේතුව මොකක් වුනත් එහි අවසාන ප්‍රතිඵලය දෙදෙනාගේම හෝ එක් අයකුගේ මරණය වන්නට
පුළුවන්. ඔබ විලියම් සේක්ෂ්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ගැන කියවා තිබේ නම් එහි කියවෙන
ලිංගික ඊර්ෂ්‍යාව පිලිබඳ කතාව
වැටහෙන්නට ඇති. ඒ පිලිබඳව ලියවුනු විචාරයක් මෙතනින් කියවන්න.
මෑතකදී එක්තරා
ස්වාමිපුරුෂයෙක් තමන්ගේ භාර්යාවට පිහියකින් කොටා තුවාල සිදුකොට තිබුනා. ඇය සති
කිහිපයක දරුවකු සිටින මවක්. හේතුව සොයාබැලීමේදී හෙලි වුනේ ප්‍රබල මානසික රෝගයක
ලක්ෂණයක් ලෙස තම භාර්යාව වෙනත් ස්වාමියකු සමග ලිංගික සම්බන්ධතා පවත්වන බවට සැකයක්
ඔහුට ඇති වී තිබිම. ඔහුට වෙනත් ස්වාමියකු තම භාර්යාව සමග ලිංගික සම්බන්ධතා පවත්වන
බව පෙනෙන භ්රාන්ති තත්වයක් (Visual Hallucination) ඇති වී
තිබුනා.
මෑතකදී අසන්නට ලැබුනු
එක්තරා සිද්ධියක තරුණ පෙම්වතුන් යුවලක පෙම්වතිය පෙම්වතා දැඩි ලෙස සැක කරනු ලබනවා.
ඔහු ආයතනයේ සේවය නිමා කරලා නිවයට යන්න ප්‍රමාද වුනොත් ඇයට සිතෙන්නේ ඔහු වෙනත්
පෙම්වතියක් සමග කාලය ගත කරනවා කියලා. ඒ වගේම ඔවුන් හමුවූ අවස්ථා වලදී ඔහුගේ
දුරකථනයේ ඇති සෑම කෙටි පණිවිඩයක්ම ඇය විසින් කියවනු ලබනවා. යම් ආකාරයකින්
කාන්තාවකගේ නමකින් save කර ඇති දුරකථන අංකයක්
හෝ කෙටි පණිවිඩයක් තිබුනහොත් ඒ පිලිබඳ පරීක්ෂා
කරනවා. ඔවුන්ගේ වසර දෙකක ප්‍රේම සම්බන්ධය පිරී පවතින්නේ සැකකිරීම් හා ගැටුම්
වලින්.
තම පෙම්වතාට/පෙම්වතියට
ගැහැණු සහ පිරිමි මිතුරන් කිසිවකු ඇසුරු කිරීම තහනම් කළ පෙම්වතියන් සහ පෙම්වතුන්
සැළකිය යුතු සංඛ්‍යාවක් පිලිබඳ මා අසා
තිබෙනවා. එක්තරා ස්වාමිපුරුෂයෙක් තම අළුත විවාපත් බිරිඳ නිවස තුල
සිටියදී දොර ජනෙල් වසා රැකියාවට යාමට පුරුදුව සිටියා. ඊට හේතුව ඇය වෙනත් අය සමග
කතා කරාවිය යන බිය.
මේ සිද්ධීන් වලින්
කියවෙන දේ දැඩි ආදරය නිසා සිදුවන දේ විදියට ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් මෙහි
අවසාන ප්‍රතිඵලය භයානක විය හැකියි. සැකය හෝ ඊර්ෂ්‍යාව වැඩි වූ විට සම්බන්ධතා බිඳ වැටීමට මෙන්ම ඔබ මරාදැමීමට
පවා ඒ ආවේගය ප්‍රබල වීමට පුළුවන්. එවැනි සිද්ධි ලොව පුරාම නිරතුරුව සිදු වෙනවා.
නමුත් හැමදාම කියනවා වගේ කලින් හඳුනාගැනීමෙන්
හා නිසි ප්‍රතිකාර කිරීමෙන් මේ තත්වය මගඅරවාගන්න පුළුවන්.
මෙවැනි තත්වයන්ගෙන්
සමහරක් ඇතිවන්නේ අනවබෝධය, අන්‍යොන්‍ය විශ්වාසය පළුදු වීම, නිසි සන්නිවේදනයක්
නොමැති වීම වැනි සරළ හේතු නිසා. එවැනි බොහොමයක් අවස්ථා වල නිසි මගපෙන්වීම් වලින් හා
පවුල් උපදේශනය වැනි ප්‍රතිකාර මගින් අන්‍යොන්‍ය විශ්වාසය වර්ධනය කිරිමටත්, සැකය
දුරු කිරීමටත් පුළුවන්.
නමුත් ඇතැම් අවස්ථා වල
ග්‍රස්ථිය (Obsessions) මෝහය(Delusions) වැනි මානසික රෝග ලක්ෂණ නිසා තමන්ට පාලනය
කරගත නොහැකි ආකාරයෙන් මේ සැකය හා ඊර්ෂ්‍යාව වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථා
වලදී ඇතැම් විට සැක කරනු ලබන පුද්ගලයා දැඩි ලෙස එම සැකය හා ඊර්ෂ්‍යාව තුල එල්බගෙන
සිටීමට පුළුවන්. එවිට ඔවුන්ට මනෝවිද්‍යාත්මක මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතු
වෙනවා.
ඔබේ පෙම්වතා, පෙම්වතිය,
සැමියා හෝ භාර්යාව අසාමාන්‍ය ලෙස ඔබව සැක කරනවා
නම් සහ පරීක්ෂා කරනවා නම් ඒ පිලිබඳව අවධානයෙන්
සිටීමත් වෙනස්කම් හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර
වෙත යොමුවීමත් ඉතා වැදගත් වෙනවා.
සති දෙකක විතර කාලයක්
බ්ලොග් කියවීම සහ ලිවීම අඩපන වෙලා තිබුනා අසනීපයෙන් ඉන්න නිසා. නමුත් දැන් අවශ්‍ය
හැඩගැසීම් කරගෙන බ්ලොග් එක ලියන්න උත්සාහ කරනවා. ඒ වගේම පසුගිය සතියේ බ්ලොග්
අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුනා. ඒ ගැන විස්තර නිල බ්ලොග් අඩවියෙන්ලබාගන්න පුළුවන්. පහුගිය පෝස්ට් එකෙන් කතා කරපු ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම්
උත්සවයේ ඡායාරූප මෙතනින් බලන්න.
එහෙමනම් ගිහින්
එන්නම්. ඊළඟ ලිපිය බොහෝ දුරට භින්නෝන්මාදය ගැන ලියවේවි.
ප.ලි.
- කෙනෙක්ගේ සැකය අසාමාන්‍යයි කියලා හිතන්න නම් ඇත්තටම සැකයට භාජනය වෙන
කෙනා සැක කටයුතු සහ වැරදි හැසිරීම් වලින් වැලකී සිටීම වැදගත්. නැතුව තමන්
වැරදි හැසිරිම් හරි සම්බන්ධතා හරි පවත්වමින් පෙම්වතා/පෙම්වතියගේ සැකය
අසාමාන්‍යයයි කියන එක වැරදියි. අනිත් කාරණය තමයි මෙවැනි හැසිරීමක් තියෙන
කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනකොට පුළුවන් තරම් ඉවසීමෙන් සහ සුහදව
සාකච්ඡා කරලා සැකය නැතිකරන්න උත්සාහ කරන එක තමයි සුදුසු. එහෙම නැතිව
දෙන්නාම ගහ මරාගන්න ගියොත් සම්බන්ධතාවය ඉක්මනින්ම බිඳ වැටේවි.








.jpg)






