Thursday, November 29, 2012

අවුරුද්දකුත් ගෙවුනා එහෙනං.....

Posted by at 2:06 AM

ඉස්කෝලෙ 7 – 8 වසර වල ඉදලාම තදේටම කොම්පියුටර් උණ ගැනිලා හිටපු කොල්ලෙක් හිටියා. ඒ 1997 – 98 කාලෙ. ඒ වුනාට කොළඹ ඉලා කිලෝමීටර් හැට හැත්තැවක් ඈත ගමක හිටපු මේ කොල්ල කොම්පියුටරයක් අතින්වත් අල්ලලා තිබුනෙ නෑ. කොහොම හරි ඇහින් දැකපු පළවෙනි කොම්පියුටරේ දැක්කෙත් 1998දි නිදහස් ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය බලන්න ගිය වෙලාවෙ. නමුත් පරිගණක සරාවයි, ටී. එම්.ජී. චන්ද්‍රෙස්කර මහත්තයාගෙ අන්තර්ජාලය ඔබේ නිවසට”වැඩසටහනයි ඒ අඩුව පිරෙව්වා. කොල්ලගෙ උනන්දුව හින්දම සාමාන්‍යපෙළ ලියපු ගමන් කොල්ලගෙ තාත්තා පරිගණක පාඨමාලාවකට ඇතුලත් කලා. ඒ වුනාට තමන්ගෙම කියලා කොම්පියුටරයක් පාවිච්චි කරන්න පුළුවන් වුනේ 2010 අවුරුද්දත් වුනාට පස්සෙ. 


එහෙන් මෙහෙන් ටික ටික මේ ක්ෂේත්‍රය ගැන දැනකියාගෙන හිටියට ඔය අතරෙදි කොල්ලා වෙනමම ක්ෂේත්‍රයක රැකියාවක් කරන්න පටන්ගත්තා. ඒ රැකියාව කරන අතරතුරේ තමයි මම දන්න දේ අනිත් අයට කියලා දෙන්න ඕන කියලා කොල්ලට හිතුනේ. ඒ වෙනකොට මේ කොල්ලගේ ඉංග්‍රීසි ජාතික උපදේශකවරිය Anne's Diaries කියලා බ්ලොග් එකක් ලියමින් හිටියා. මේ කොල්ලා 2008දි නිකමට පටන්ගත්ත බ්ලොග් එකකුත් තිබුනා. ඒ වුනාට ඉංග්‍රීසියෙන් මේක ලිව්වට වැඩක් නෑ කියලා හිත හිතා ඉන්නකොට තමයි අහම්බෙන් දේවාගේ අඩවිය”(දැන් දේව්ගේ අඩවිය) කියන සිංහලෙන් ලියපු බ්ලොග් එක කියවන්න ලැබුනේ. ඒකෙන්ම හොරකම් කරපු පෝස්ට් එකක් එක්ක මේ කොල්ලා මීට හරියටම අවුරුද්දකට කලින් 2011 නොවැම්බර් 29 වෙනිදා “ප්‍රදීප්ගේ පිටුව” කියලා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න පටන්ගන්නවා. 


ඔන්න ඔහොමලු මේ බ්ලොග් එක පටන්ගත්තේ. අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරන්න ඉගෙනගෙන දන්න කියන දේවල්, හිතට එන දේවල් ලියන අතරෙදි මං වගේම බ්ලොග් ලියන, කියවන එකා දෙන්නා අඳුනගන්න පටන්ගත්තා. මුලදිම බ්ලොග් එක කියෙව්වේ යාළු මිත්‍රයෝ විතරයි. පස්සේ ගොඩක් අය අඳුනගත්තේ ලියන දේවල් වලට වැටෙන කමෙන්ට් වලින්. තවත් සමහර උදවිය බ්ලොග් අවකාශයේ මිතුරෝ හරහා. ඔය විදියට අදුනගත්ත අයගෙ නම් කියලා ඉවර කරන්න බැහැ.  නමුත් නිතරම මම ලියන දේවල් ගැන හොයලා බලන මහේෂ්නිශාන්ත අයියා වගේම මුල් දවස් වලම ප්‍රදීප්ගේ පිටුව කියවපු රූ සිරිනි වගේ අය අමතක වෙන්නේ නෑ. අටම්පහුර, රාජ්, අග්නිධාරා, Raj, වෙනී අයියා, සැමා වගේ තව නම් ගොඩක් මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි භාෂාවේ වෙන අඩුපාඩු පෙන්වලා දෙන බට්ටා, සමීර මල්ලි සහ ඉන්ද්‍රනාථ තේනුවර සර්  වගේ අයත්, කියවලා හොඳ නරක කියලා යන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම සමහර උදවිය කියවලා මොකවත් නොකියා යනවා. ඒ මොනවා විදියට වුනත්.......,
ප්‍රදීප්ගේ පිටුව වසරක් තිස්සේ ලියන්නට අවශ්‍ය ශක්තිය මට ලබා දුන්නේ ඔබයි. කියවන ඔබ නොවන්නට මේ බ්ලොග් අඩවිය ලියවෙන එකක් නැති වෙන්නට තිබුනා. ඒ නිසා මේ බ්ලොග් අඩවියට ආපු ගිය ඔය හැම කෙනෙක්ටම බොහෝමත්ම ස්තුතියි....! 



අද අපි අළුත් ඇඳුමක් ඇන්දා. කිලෝමීටර් 100ක් ඈත ඉඳන් මම ඉල්ලපු විදියටම ඒ ඇඳුම නිර්මාණය කළ නොහික්මුණුඇස මගේ ආදරණීය මිත්‍රයාටත් ස්තුතියි....! 
ඒ විතරක් නෙමෙයි. මෑතක ඉඳලා ප්‍රදීප්ගේ පිටුවෙ පළ වෙන සමහර ලිපි පොඩි පොඩි වෙනස්කම් එක්ක ලොවෙත් නෑ වෙබ් අඩවියෙත් පළ වෙනවා. ඒ වෙබ් අඩවියේ ඇඩ්ඩිං මහත්මයාටත්, සියළුම සින්ඩි වලටත් ප්‍රදීප්ගේ පිටුවේ ස්තුතිය හිමිවෙනවා.
අළුත් අවුරුද්දෙදිත් මේ විදියටම ප්‍රදීප්ගේ පිටුව ඔබට කියවන්න ලැබේවි. අළුත් වෙනස්කම් කීපයකුත් එක්ක. ඒ විතරක් නෙමෙයි. මේ අවුරුද්දෙ වගේම ලබන අවුරුද්දෙත් පලවෙන පෝස්ට ගැන ඔයාලගෙ අදහස් උදහස් බොහොම කැමැත්තෙන් භාරගන්න බවත් සඳහන් කරන්න කැමතියි. 
 
පනස් වෙනි පෝස්ට් එකෙන් පස්සෙ දාන්න හිටපු පෝස්ට් එක ඉක්මනින්ම පළ කරනවා. එහෙනම් ගිහින් එන්නම්. යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. බ්ලොග් අවකාශයේ මිතුරෝ ලබන අවුරුද්දට අරගෙන යන්න ඔබ කැමතිනම් මෙතනින් ගිහින් විස්තර කියවලා බලන්න. හෙට තමයි අන්තිම දවස.
මගේ පළවෙනි බ්ලොග්වසරියට ආපු එකේ හිස් අතින් යවන්නත් බෑනේ. මෙන්න තේ මේසයක් ඇරියා. කාලා බීලා යන්නකෝ.


Thursday, November 22, 2012

පපර පාං.....පාං..... පනහා......යි......

Posted by at 11:18 PM
සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් සතියෙන් සතිය සති පනස් එකක් ගෙවෙනකොට ඔන්න ප්‍රදීප්ගේ පිටුව පනස්වෙනි පෝස්ට් එක ලියන්නයි හදන්නේ. පනහක් කියන්නේ සමහර බ්ලොග් අඩවිත් එක්ක බලද්දි බොහොම පොඩි ගණනක්. ඒ වුනාට මට නම් ඒක ලොකු දෙයක්. රැකියාව, අධ්‍යාපනය, ගේ දොර අතර එහෙ මෙහෙ පනින අතරෙදි දන්න කියන දෙයක් කියවන ඔයාලත් එක්ක බෙදාගන්න පටන් අරන් ඒ වාගෙ ඒවා 49ක්ම ලියලා කියලා හිතෙනකොට හීන් සතුටක් එක්කම ආඩම්බරයකුත් හිතට දැනෙනවා. කොහොම වුනත් මම ලියන්නේ ඔයාලා කියවන නිසානේ. කියවලා දාන කමෙන්ට් කියවනකොට ආයෙත් ඉක්මනටම මොනවාහරි ලියන්න හිතෙනවා. ඒ නිසා ප්‍රදීප්ගේ පිටුව කියවන ඔයාල හැමෝටම හිස නමා ආචාර කරන්න කැමතියි.


මේ විදියට බ්ලොග් ලියනකොට හම්බවුන යාළුවො එක්කෙනා දෙන්නා පස්සෙ දහය දොළහ වෙලා ඊටත් පස්සෙ ගණන් කරගන්න බැරි තරම් වෙනකොට ඒ අයත් එක්ක එකතුවෙලා බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය “සයිබර් සිහින උළෙල” පවත්වන්න දායකත්වයක් දෙන්න පහුගිය අවුරුද්ද ඇතුලෙ ප්‍රදීප්ගේ පිටුවට පුළුවන් වුනා. අහම්බෙන් ඇහැ ගැහුණු පෝස්ට් එකක් කියවලා සංවිධායක මණ්ඩලේට එකතුවෙන්න නම් ගම් දුන්නට කවදාවත් දැකලා තිබුනේ නැති කණ්ඩායමක් හමුවෙන්න විහාරමහා දේවී උද්‍යානයට යන එක ඒ තරම් ලේසි වුනේ නෑ. අඩි එකක් ඉස්සරහට තියද්දි දෙකක් පස්සට තිය තියා ගිහිල්ලා ගේට්ටුව ගාව ඉන්නකොට “බ්ලොග් ලියනවා නේද?” කියලා අහලා මාව ඇතුලට එක්කගෙන ගියේ Raj. ඒ වෙනකොට කිසිම කෙනෙක් ඇහින් දැකලා තිබුනෙ නැතත් ඒ නුහුරු බව දැනුනෙ විනාඩි කීපයක් යනකම් විතරයි.


ඊට පස්සෙ අළුත්, පරණ බ්ලොග්කරුවන් එක්ක එකතු වෙලා ලොකු වැඩක් සංවිධානය කරන්න, මඩ ගහගන්න, රණ්ඩු වෙන්න, හිනාවෙන්න වගේම මහ රෑ කොස්ගස් බඩගාලා කාඩ් එකක් ගහගන්නත් ඒ සහෝදරකම හේතු වුනා. දවල් රෑ නැතුව, ගැහැණු පිරිමි භේදයක් නැතුව එකා වගේ වැඩ කරපු නිසා අපේ කණ්ඩායම වගේම ඇහින් දැකලා, කතා කරලා නැති බ්ලොග්කරුවන් සියගණනක් වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට ගෙනල්ලා ඔවුන්ගේ ජීවිතයේ කවදාවත් අමතක නොවෙන දවසක් ලබාදෙන්න අපට පුළුවන් වුනා.  සැමා කියපු මචං අපි ඔෆීස් එකේ එවුන් එකතු කරගෙන ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න බැරි එකේ, කවදාවත් දැකල නැති අපිව එකතු කරන්න උබලා මේ කරපු වැඩේ නම් සුපිරි බං... කියන වචන ටික තවමත් හොට මතක තියෙන්නේ කණ්ඩායමක් විදියට අපට ලොකු වැඩක් කරන්න පුළුවන් වුනා කියන නිහතමානී සතුටත් එක්කමයි.



ඔය අතරෙදි තමයි අපේ සයිබර් සිහින උළෙලට ඇවිත් බොහොම සුහදව කතා බහ කරපු ඔබ්සවර් එහෙමත් නැත්නම්ඔබා මාමා” සනත් විජේවර්ධන මහත්මයා අපි අතරින් වෙන් වුනේ. ඔබා මාමා මෙහෙම කියලා තිබුනා. කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ. ඔබා මාමා වෙනුවෙන් අපේ කට්ටිය දාපු සුදු කොඩි වලින් මුහුණු පොත පිරෙද්දි බ්ලොග් පිටු ඔබා මාමා වෙනුවෙන් වෙන් වුනා. 

ඊට පස්සෙ අපේ කට්ටියට අම්පාර කිට්ටුව උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයට පුස්තකාලයක් ලබා දෙන්න පුළුවන් වුනේ බ්ලොග් කියවන ලියන හැමෝගෙම දායකත්වයෙන්. කණ්ඩායමක් විදියට ලබන්න පුළුවන් උපරිම සහෝදරත්වය, අන්‍යොන්‍ය සහයෝගය වගේම නායකත්ව ලක්ෂණත් මේ වැඩකටයුතු වලදි අපේ කණ්ඩායමට ලැබුනා කියන එක නම් සහතිකයි. අවාසනාවට එදා අම්පාරෙ යන්න බැරි වුනාට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඒ කණ්ඩායම් හැීම හේතු වුනා. 



පනස් වෙනි පෝස්ට් එක ලියන්න ගිහිල්ලා පහුගිය දේවල් ලියන්නෙ මොකද කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. එහෙම ලියන්න හිතුනේ බ්ලොග් අවකාශයේ මිතුරෝ පළකරපු පෝස්ට් එකක් දැකලා. ඔන්න අවුරුද්දක් තිස්සේ අපේ කණ්ඩායම එකතු වෙලා නායකත්වය අරගෙන කරපු දේවල් ඉස්සරහට අරගෙන යන්න අළුත් කට්ටියකට බාර දෙන්නයි හදන්නේ. 2011 අවුරුද්දෙ නායකත්වය අරගෙන කටයුතු කරපු කණ්ඩායම අපේ කට්ටියට බාරදුන්නා වගේම හෙට අනිද්දට ලබන අවුරුද්දේ සංවිධායක මණ්ඩලයට එකතුවෙන කට්ටියට මේ වගකීම බාර දෙන්න සැලසුම් කරලා ඉවරයි. හැබැයි ගිය අවුරුද්දෙ ලබපු අත්දැකීම්, සහෝදරත්වය, විනෝදය අතඇරලා දාලා යන්න හිතෙන්නෙ නෑ. නමුත් නායකත්වය අරගෙන වැඩකරපු කීප දෙනෙක්ම ඊලග අවුරුද්දෙ අපිත් එක්ක ඉන්න එකක් නෑ. ඒ තැන හිමිවෙන්නේ අළුත් කණ්ඩායමට. නමුත් මේ අවුරුද්දේ සහයෝගය දක්වපු සමහර අය ලබන අවුරුද්දෙත් ඒ විදියටම සහයෝගය දක්වයි. 


ඔන්න මමත් පුළුවන් හැම වෙලාවෙම සහයෝගය ලබාදෙනවා කිසිම කොන්දේසියක් නැතුවම. ඔයාලත් හැකි ඉක්මනින් බ්ලොග් අවකාශයේ මිතුරෝ නිල බ්ලොග් අඩවියට ගිහිල්ලා දීලා තියෙන ෆෝම් එක පුරවලා සංවිධායක මණ්ඩලයට ඇතුලත් වෙන්න. අපිට ළදිම හමුවෙලා කතා කරන්න බැරියැ.

පනස් වෙනි පෝස්ට් එකේ අළුත් දෙයක් නොලිව්වට තරහා වෙන්න එපා. නමුත් මේ කාලීන මාතෘකාවක්නේ. ළබන සතියෙ අළුත් දෙයක් කතාකරන්නම්කෝ. පනස් එක් වෙනි පෝස්ට් එකෙන් පස්සෙ ප්‍රදීප්ගේ පිටුව ටිකක් වෙනස් වේවි. එහෙනම් ගිහින් එන්නම්. පෝස්ට් පනහක් පුරාම ප්‍රදීප්ගේ පිටුව එක්ක හිටපු හැමෝටම ආයෙත් පාරක් ස්තුතියි.

Monday, November 19, 2012

රෝගී දිවිය සවිබල ගන්වන වෘත්තීය චිකිත්සාව

Posted by at 11:06 PM
ඕනෑම අයෙකු ජීවිතයේ කවර හෝ අවස්ථාවක කුමන හෝ රෝගාබාධයකට ලක් වීමට ඇති අවදානම නොසලකා හැරිය නොහැකිය. ඇතැම් විට දීර්ඝ කාලීනව රෝහල්ගතව සිටීමට හෝ සදාකාලික ආබාධිත තත්වයට පත් වීමට සිදු විය හැකිය. එසේ නැතහොත් උග‍්‍ර මානසික ආබාධයකට ලක්වීමට ඉඩ ඇත. එවැනි අවස්ථා වලදී තම පුද්ගලික ජීවිතය, පවුල, වෘත්තීය සහ සමාජය වෙනුවෙන් තමාගෙන් ඉටුවූ සේවාව ඉටු කිරීමට ඇති හැකියාව නැතිවී යයි. එය රෝගී බවට පත් වූ පුද්ගලයා තවදුරටත් මානසික වශයෙන් දුර්වල කිරීමටත්, ඔහුගෙන් හෝ ඇයගෙන් පවුලට සහ සමාජයට ඉටුවූ යුතුකම් සහ වගකීම් තවදුරටත් ඉටුනොවීමටත් හේතු වේ. මේ නිසා අපහසුතාවයට පත් වන්නේ රෝගියා සහ ඔහුගේ හෝ ඇයගේ පවුල පමණක් නොවේ. මෙවැනි දීර්ඝ කාලීන රෝගාබාධයන්ට ලක් වූවන් නැවත සමාජගත නොවීම හේතුවෙන් රටට අහිමි වන ජාතික ආදායම අති විශාලය. 



උදාහරණයක් ලෙස මීට කලකට පෙර හිසට සිදුවූ අනතුරක් නිසා රෝහල්ගත වූවන්ගෙන් දිවි රැකගැනීමට සමත් වූයේ ඉතා සුළු පිරිසකි. එහෙත් මේ වන විට එවැනි රෝගීන් බහුතරයක් විවිධ කායික හා මානසික අපහසුතා සහිතව තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගනිති. එවැනි පුද්ගලයන්ගෙන් බහුතරයක් පූර්ණකාලීන ආබාධිත තත්වයේ පසුවන අතර ඔවුන්ට අන් අය මත යැපීමට සිදුවේ. 

එමෙන්ම මීට වසර 80කට පෙර වයස අවුරුදු 30 - 32 පමණ වූ පුද්ගල ආයු අපේක්ෂාව මේ වනවිට අවුරුදු 68 - 77 දක්වා වර්ධනය වී ඇත. (දත්ත: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව). එබැවින් ලොවපුරාම වැඩිහිටි ජනගහනය නිරතුරුව වැඩිවෙමින් පවතී. එහෙත් අහිමි වන කායික හා මානසික ශක්තීන් හේතුවෙන් විවිධ ක්ෂේත‍්‍රයන්හි දක්ෂතා සහ අත්දැකීම් සහිත වැඩිහිටියන්ට තම දක්ෂතාවයන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමේ හැකියාව අහිමි වී යයි. 

මානසික රෝග සම්බන්ධයෙන්ද තත්වය එසේමය. කිසියම් මානසික රෝගී තත්වයකට පත්වූ පුද්ගලයකුට බොහෝවිට සිදුවන්නේ අහිමි වී යන තම දක්ෂතා, සමාජ තත්වය සහ වැඩකිරීමේ නොහැකියාව නිසා සමාජයෙන් කොන්වී ජීවත්වීමටය. මෙවැනි විවිධ රෝගාබාධ සහ ගැටළු හේතුවෙන් තම හැකියාවන් අහිමි වන හෝ නැවත සමාජගත වීම සඳහා මගපෙන්වීමක් අවශ්‍ය වන රෝගීන්ට සහය වීම සඳහා ක‍්‍රමවේදයක් සෞඛ්‍ය සේවාව තුල අන්තර්ගතව ඇත. එය  පුනරුත්ථාපනය (Rehabilitation) යනුවෙන් හඳුන්වනු ලැබේ. 

පුනරුත්ථාපනයේ අරමුණ වන්නේ තම කායික, මානසික, ආර්ථික, අධ්‍යාපනික, සමාජයීය ආදී අංශයන්ගේ අහිමිවී ගිය කුසලතා වර්ධනය කරමින් හෝ නව කුසලතා ඇති කරමින් රෝගියාට සමාජයේ ඵලදායී පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය සහය ලබාදීමයි. පුනරුත්ථාපනය ආරම්භ වන්නේ රෝගියා රෝහල්ගත වන පළමු දිනයේදීය. පුනරුත්ථාපන ක‍්‍රියාවලිය සඳහා සියළුම සෞඛ්‍ය කාර්යමණ්ඩල අඩු වැඩි වශයෙන් දායක වන අතර  වෘත්තීය චිකිත්සාව රෝගී පුනරුත්ථාපන ක‍්‍රියාවලිය තුල සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරනු ලබයි. 

 වෘත්තීය චිකිත්සාව (Occupational Therapy) යනුවෙන් හඳුන්වනු ලබන්නේ කායික සහ මානසික රෝගාබාධ වලින් පෙලෙන්නන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ස්වාධීන හා ඵලදායී ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහය ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙහිදී ප‍්‍රතිකාර මාධ්‍යය වශයෙන් ඵලදායී ක‍්‍රියාකාරකම් (Occupations) යොදාගනී. වෘත්තීය චිකිත්සාවේදී ඵලදායී ක‍්‍රියාකාරකම් වල නිරතවීම යනුවෙන් අදහස් කරනුයේ පුද්ගලයා කුමක් හෝ කාර්යයක නිරතවීම නොවේ. සේවාලාභියාට ඵලදායී වන කිසියම් ක‍්‍රියාකාරකමක නිරතවීමයි. එමගින් රෝගියාගේ සුවය ලැබීමට හා නැවත සමාජගත වීමට අවශ්‍ය හැකියාවන් හා උනන්දුව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. 

කිසියම් කි‍්‍රයාකාරකමක කාලයක් තිස්සේ නොයෙදී සිටීම මගින් හා විවිධ ආබාධ වලට ලක්වීම මගින් වැඩකිරීමේ උනන්දුව හීන වී යයි. එමෙන්ම එම කාර්යයන් කිරීම සඳහා ඇති හැකියාවද දුර්වල වේ. කිසියම් දීර්ඝ කාලීන රෝගයකට ලක්වූ පුද්ගලයන් හෝ ආබාධිත තත්වයට පත්වූ පුද්ගලයන් තුල මෙවැනි තත්වයන් දැකගත හැකිය. එමෙන්ම මානසික රෝග වැනි ඇතැම් රෝගාබාධ (උදාහරණ: විෂාදය - Depression) නිසාද පුද්ගලයන්ගේ වැඩකිරීමේ හැකියාව හා උනන්දුව දුර්වල විය හැකිය. ඖෂධ මගින් රෝගී තත්වය පාලනය කරනු ලැබූවද රෝගියාගේ අහිමි වී ගිය හැකියාවන් සහ උනන්දුව නැවත වර්ධනය නොවේ. වෘත්තීය චිකිත්සාවේ සහය ලබාගත යුත්තේ මේ අවස්ථාවේදීය. 
සුදුසුකම් ලැබූ වෘත්තීය චිකිත්සක වරුන් විසින් රෝගියාගේ අහිමිවී ගිය හෝ දුර්වල වූ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට විවිධ ඵලදායී ක‍්‍රියාකාරකම් වල නිරතවීමට අවස්ථාව ලබාදෙයි. ඇතැම් විට සේවාලාභියාගේ අහිමි වූ හැකියාවන් එක්වරම ගොඩනැංවීමට නොහැකි විය හැකිය. එහිදී වෙනත් ආකාරයේ හැකියාවන් වර්ධනය කිරීමේ ක‍්‍රියාකාරකම් මගින් එම කුසලතා වර්ධනය කළ යුතුය. උදාහරණයක් ලෙස දත්මැදීම වැනි අප ඉතා සරළයැයි සළකනු ලබන ක‍්‍රියාකාරකමක නිරතවීමේදී දත් බුරුසුව අල්ලාගැනීමට අවශ්‍ය හැකියාව සේවාලාභියාගෙන් ගිලිහී ගොස් තිබීමට ඉඩ ඇත. එවැනි අවස්ථා වලදී අදාල ක‍්‍රියාකාරකම සඳහා විවිධ වෙනස්කිරීම් සහ සකස්කිරීම් සිදුකිරීමට වෘත්තීය චිකිත්සකවරුනට සිදුවේ. ඇතැම්විට මේ සඳහා යම් කාලයක් ගතවිය හැකිය. එහෙත් සේවාලාභියාට දැක්වියහැකි උපරිම ක‍්‍රියාකාරී මට්ටම දක්වා ඔහු හෝ ඇය ගෙන ඒමට ඔවුහු කැපවෙති. 

 වෘත්තීය චිකිත්සාව සුවය ලැබීම (Recovery) යන පදනමින් ක‍්‍රියා කරයි. එනම් තම ආබාධිතභාවය බාධාවක් කර නොගනිමින් තම ජීවිතයේ අරමුණු ඉටු කරගැනීම සඳහා සේවාලාභියා තුල ශක්තිය හා බලාපොරොත්තුව ඇතිකිරීමයි. ආබාධිතභාවය නිසා සමාජයේ කොන්වී සිටින්නන් තම ජීවිතය හා සම්බන්ධ විවිධ අවස්ථා වලදී ක‍්‍රියාකාරීව සහභාගී වියයුතුයැයි වෘත්තීය චිකිත්සකවරු විශ්වාස කරති. එහෙත් ඒ සඳහා එක් එක් පුද්ගලයා සතු හැකියාවන්, උනන්දුව සහ අවශ්‍යතා එකිනෙකට වෙනස් බැවින් එක් එක් සේවාලාභියා තනි පුද්ගලයන් ලෙස සලකා කටයුතු කිරීම වෘත්තීය චිකිත්සාවේ ප‍්‍රධාන අංගයක් වේ. එහිදී පුද්ගලික සනීපාරක්ෂාව, අධ්‍යාපනය හෝ වෘත්තිය, විවේකය සහ විනෝදය යන අංශ වල දියුණුවක් ලබාගැනීමට එක් එක් සේවාලාභියා විසින් කළයුතු ක‍්‍රියාකාරකම් හා වැඩසටහන් වෙන් වෙන්ව සැළසුම් කර ක‍්‍රියාත්මක කරනු ලබයි. එහිදී සේවාලාභියාගේ අදහස්ද ප‍්‍රයෝජනයට ගැනීම විශේෂත්වයකි. 

 1950 දශකයේදී ආරම්භ වූ මෙරට වෘත්තීය චිකිත්සක සේවාව මේ වන විට දිවයින පුරා පැතිරී ඇත. විවිධ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් වෘත්තීය චිකිත්සකවරුන්ගේ සේවය ලබාගනිති. ඒ අතරින් රක්තවාතවේදය, ස්නායු රෝග, කැඩුම්බිඳුම්, පිලිස්සීම්, මානසික රෝග, ළමාරෝග ආදී අංශ ප‍්‍රධාන වේ. එමෙන්ම දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම පාහේ වෘත්තීය චිකිත්සකවරු සේවය කරති. 

1976 දී ආරම්භ කරන ලද වෘත්තීය චිකිත්සක පුහුණු පාඨමාලාව මගින් මෙරට සේවා අවශ්‍යතාවයට ගැලපෙන වෘත්තීය චිකිත්සකවරුන් පුහුණු කරනු ලබයි. ඊට අමතරව කැළණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය චිකිත්සක උපාධි පාඨමාලාව පුහුණු වෘත්තීය චිකිත්සකවරුන්ට තවදුරටත් උපාධි මට්ටම දක්වා අවශ්‍ය පුහුණුව ලබා දෙයි. නිරන්තර නව දැනුමෙන් හා අත්දැකීමෙන් පෝෂණය වන විෂය ක්ෂේත‍්‍රයක් ලෙස වෘත්තීය චිකිත්සාව දිනෙන් දින නව මංපෙත් සොයා යමින් ලොව පුරා ආබාධ වලින් පෙලෙන්නන්ට සහය ලබාදෙමින් සිටී. 




















ලොවපුරා විසිරුණු වෘත්තීය චිකිත්සකවරුන් සෑම වසරකම ඔක්තෝබර් මස 27 වන දින වෘත්තීය චිකිත්සාව පිලිබඳ ජාත්‍යන්තර දිනය සමරයි. වෘත්තීය චිකිත්සාව පිලිබඳ ලෝක සම්මේලනය (World Federation of Occupational Therapy) විසින් ප‍්‍රථම වරට 2010 වසරේදී මෙම දිනය හඳුන්වා දෙන ලද අතර එතැන් සිට සෑම වසරකම ශ‍්‍රී ලංකාවද වෘත්තීය චිකිත්සාව පිලිබඳ ජාත්‍යන්තර දිනය අභිමානයෙන් සමරනු ලබයි.

ප.ලි. - මගේ වෘත්තිය මොකක්ද කියන එක ප්‍රදීප්ගේ පිටුව කියවන බොහෝ දෙනෙක් හරියට දැනගෙන හිටියේ නෑ. මම වෘත්තියෙන් වෘත්තීය චිකිත්සක වරයෙක්. දැන් තේරෙනවනේ මගේ රස්සාව මොකක්ද කියලා. මේ ලිපිය ලෝක වෘත්තීය චිකිත්සක දිනය වෙනුවෙන් පුවත්පතකට සකස් කළ ලිපියක්. නමුත් පළ කරන්න බැරි වුනා. නොහික්මුණු ඇස කරපු ඉල්ලීමක් නිසා පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා බ්ලොග් පෝස්ට් එකක් බවට පත් කලා. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු. ඔන්න බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් ලියන අපට පොඩි ආරාධනාවකුත් කරලා. ඒ පැත්තෙත් ගිහිල්ලා එන්න.

Thursday, November 15, 2012

භින්නෝන්මාදය - පුද්ගලයන් දුබල කරන ප්‍රබල මානසික රෝගය

Posted by at 11:11 PM
තනිවම කතා කරමින් ඇතැම් විට ගීත ගායනා කරමින් හෝ කිසිවෙකුට බනිමින් බස් නැවතුම්පල, සතිපොල වැනි ස්ථාන වල සිටින වැරහැලි ඇඳගත් ගැහැණු පිරිමි අය ඔබ දැක ඇති. එවැන්නෙක් දුටු විට මිනිසුන් “පිස්සු මනුස්සයෙක් ඉන්නවා” යයි එම ප්‍රදේශයෙන් ඉවත්ව යති. නැතහොත් “කොහෙද යන පිස්සෙක්” කියා ඔහුට හෝ ඇයට උසුළු විසුළු හෝ අඩන්තේට්ටම් කරති. මෙවැන්නන් බොහෝ විට භින්නෝන්මාදය (Schizophrenia) නම් මානසික රෝගී තත්වයෙන් පෙලෙන රෝගීන් වේ. ප්‍රදීප්ගේ පිටුවට පිවිසෙන ඔබ අතරින් සෑම සිය දෙනෙකුගෙන්ම එක් අයෙක් ජීවිතයේ කවර හෝ අවස්ථාවක මෙම රෝගී තත්වයට පත් වීමට ඉඩ ඇති බව ඔබ දන්නවාද?



භින්නෝන්මාදය යනුවෙන් හඳුන්වන ප්‍රබල මානසික රෝගී තත්වය සයිකෝසීය රෝග (Psychosis) ගණයට වැටෙන සුලබ රෝගී තත්වයකි. ගැහැණු පිරිමි භේදයකින් තොරව ජනගහනයෙන් 1%කට ජීවිතයේ කවර හෝ අවස්ථාවක මෙම රෝගය වැළඳීමේ අවදානම පවතී. බොහෝවිට මෙම රෝගය මතුවන්නේ වයස අවුරුදු 15-30 ත් අතරදී වුවත් ඕනෑම වයසක අයෙකු මෙම රෝගී තත්වයට පත් වීමේ අවදානම දරයි.

භින්නෝන්මාදය රෝග ලක්ෂණ රාශියක එකතුවකි (Syndrome). මෙහිදී රෝගයට භාජනය වන පුද්ගලයා යතාර්ථය සහ මායාව අතර දෝලනය වන විසිරුණු මානසික ස්වභාවයකට පත් වේ. එහිදී ඔහුගේ සිතුවිලි, හැීම් සහ හැසිරීමේ වෙනස්කම් ඇතිවේ. මෙම රෝගයේදී රෝගී වු පුද්ගලයා මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ ආවේදනයන් තෝරා බේරා ගැනීමට, ඒවා අර්ථ දැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව දුර්වල වීමයි.



රෝග පිලිබ ජාත්‍යන්තර වර්ගීකරණයේ (International Classification of Diseases – 10th Edition) සංකේත අංක F20 යටතේ භින්නෝන්මාද රෝගය වර්ගීකරණය කොට ඇත.
F20 Schizophrenia
F20.0 Paranoid schizophrenia
F20.1 Hebephrenic schizophrenia
F20.2 Catatonic schizophrenia
F20.3 Undifferentiated schizophrenia
F20.4 Post-schizophrenic depression
F20.5 Residual schizophrenia
F20.6 Simple schizophrenia
F20.8 Other schizophrenia
F20.9 Schizophrenia, unspecified

මේ යටතේ මෙම රෝගයෙහි රෝග ලක්ෂණ රාශියක් දක්වා ඇතත් බහුතරයක් රෝගීන්ට පොදු ලක්ෂණ කිහිපයක් පවතී.
01. මෝහය (Delusions)
මෙම තත්වයේදී රෝගී වූ පුද්ගලයා සාමාන්‍යයෙන් පිලිගත නොහැකි අභව්‍ය දේ පිලිබ විශ්වාස කරයි. මෙම විශ්වාසයන් පහසුවෙන් ඉවත් කළ නොහැක. කෙතරම් හේතු සාධක සහිතව පෙන්වා දුන්නද තමන් එල්බ ගත් විශ්වාසයන්ගෙන් නොමිදෙයි. මෙම විශ්වාසයන් තමන් පිලිබව, අනුන් පිලිබව හෝ අවට වටපිටාව හා සම්බන්ධ දෙයක් විය හැකිය. තමන්ට අන් අයට නොමැති බලයක් හෝ ධනය, වත්කම් ආදිය ඇති බව, තමන්ව ඝාතනය කිරීමට රාජ්‍ය කුමන්ත්‍රනයක් ඇති බව සහ පවුලේ අය ඊට සම්බන්ධ බව ආදිය සුලබව දක්නට ලැබෙන විශ්වාසයන්ය. 



02. භ්‍රාන්තිය (Hallucinations)
අපට යම් සංවේදනයක් දැනීමට එම සංවේදනය ඇති කරන ප්‍රභවයක් (උත්තේජකයක් - stimulus) තිබිය යුතුය. උදාහරණයක් ලෙස අපට යමෙකු කතා කරන බව ඇසීමට නම් කතා කරන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුය. නමුත් භ්‍රාන්ති තත්වයේදී රෝගී වූ පුද්ගලයාට උත්තේජකයක් නොමැතිව සංවේදනයන් ඇතිවේ. වඩාත් සුලබ භ්‍රාන්ති තත්වය වන්නේ  ඇසීමේ සංවේදනයන් ඇති වීමයි (Auditory Hallucinations). එම තත්වයේදී රෝගී වූ පුද්ගලයාට තමන්ට නොපෙනෙන, ඇත්ත වශයෙන්ම එම ස්ථානයේ ඒ අවස්ථාවේදී නොසිටින අයෙකුගේ කටහ, එවැනි ස්ථානයක නොඇසෙන ශබ්ද ආදිය ඇසෙන්නට පටන් ගනී. තත්වය වඩාත් අපහසු වන්නේ එම ශබ්ද වලින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිනු ඇසෙන විටය. දවසේ පැය 24 පුරාම තමන්ට නොපෙනෙන අයෙකු විසින් තම කනට කොුරා බැන වදිනු ඇසීමට ලැබීම කෙතරම් දුෂ්කර අත්දැකීමක්දැයි මොහොතක් සිතා බලන්න. බස් නැවතුම්පලේදී ඔබ දකින්නේ එවැනි අත්දැකීම් ඇති පුද්ගලයෙකු එම ශබ්ද වලට ප්‍රතිචාර දක්වන ආකාරයයි. ඇතැම් රෝගීන්ට ඇස, නාසය, දිව සහ සම ඔස්සේ මෙවැනිම අභව්‍ය සංවේදනයන් දැනෙන නමුත් ඒවා එතරම් සුලබ නොවේ.



03. තමන් පිලිබව ඇති අවබෝධයේ අක්‍රමතා (Altered sense of self)
පුද්ගලයාට තමන් පිලිබ දැනෙන ආකාරය වෙනස් වේ. එහිදී තම පෙනුම විකෘති වී ඇති බව ඔහුට හෝ ඇයට හැී යයි. එමෙන්ම විවිධ අවස්ථාවන්ට හා සමාජ සංසිද්ධි වලට මුහුණ දීමේදී තම සීමාවන් හුනාගැනීමට රෝගියා අසමත් වේ. මේ නිසා ගැටුම්කාරී තත්වයන් උද්ගත වීමට ඉඩ ඇත.

04. හැීම් ආශ්‍රිතව සිදු වන වෙනස්කම්
a.      අසාමාන්‍ය ලෙස වැඩිපුර හැීම් ඇතිවීම (Enhancement)
b.     හැීම් විරහිත ස්වභාවය (Blunting)
c.      අවස්ථානුකූල නොවන ලෙස හැීම් ඇති වීම (Inappropriate)
d.     නොගැලපෙන හැීම් ඇති වීම (Incongruous )

05. චලනයන්ගේ සිදුවන වෙනස්කම්
a.      කෙටි කාලයක් තුලදී පුද්ගලයාගේ චලනයන් සීමා වීම
b.     එකම චලනය වාර ගණනාවක් එක දිගට සිදු කිරීම

06. හැසිරීමේ සිදුවන වෙනස්කම්
a.      Social withdrawal - සමාජයෙන් ඈත් වීම
b.     Slowness - සෑම දෙයක්ම සෙමින් සිදු කරන ස්වභාවය
c.      Rituals - තමන්ට ආවේනික හැසිරීම් ක්‍රම පෙන්වීම
d.     Sleep disturbance - නිදාගැනීමේ අක්‍රමතා
e.      Homicidal - අන් අයගේ ජීවිත විනාශ කිරීමට උත්සාහ කිරීම
f.       Suicidal - සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම
g.      Bizarre - අසාමාන්‍ය හැසිරීම් දැක්වීම



07. තමන් රෝගයකින් පෙළෙන බව නොදැනීම.
මෙම තත්වයට පත් වූ රෝගීන් තමන් රෝගයකින් පෙළෙන බව නොදනී. එය ආත්මාවබෝධය අඩුවීම නිසා සිදුවන්නකි. 

බොහෝවිට මෙම රෝගයෙහි රෝග ලක්ෂණ ඇති වන්නේ එක්වරම වන බැවින් මෙච්චර කාලයක් හොඳට හිටිය ළමයට මොකද මේ වුණේ යන ගැටළුව නිතැතින්ම ඇති විය හැකිය. එහෙත් රෝගය ඇති වීමට විවිධ හේතු තිබිය හැකිය.

ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම  හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත. බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ. 



භින්නෝන්මාදයද කලින් හුනාගැනීමෙන් සහ නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි රෝගී තත්වයකි. මේ සහා අනිවාර්ය ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු අතර ඊට අමතරව විද්‍යුත් කම්පන ප්‍රතිකාර වැනි ප්‍රතිකාර ක්‍රම ලබා දෙනු ලබයි. වැදගත් කරුණක් වන්නේ යාග හෝම සිදු කිරීමෙන් හෝ පුද පූජා පැවැත්වීමෙන් පමණක් මෙම රෝගය සුව කළ නොහැකි බවයි. විශේෂයෙන්ම භින්නෝන්මාද රෝගයෙන් පීඩා විින්නන්ගෙන් 80%ක් පමණ ජීවිතාන්තය දක්වා නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය. එබැවින් මෙම රෝගයට දෙන බෙහෙත් රෝග ලක්ෂණ පහවූ වහාම නැවැත්වීම සුදුසු නොවේ. එසේ කිරීමෙන් රෝගය නැවත වරක් උත්සන්න වීමට ඉඩ ඇති අතර එය මුල් අවස්ථාවට වඩා දරුණු තත්වයකි. 

මෙම රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ගේ පෞරුෂ ලක්ෂණ සහ දෛනික ජීවන ක්‍රියාකාරකම් බි වැටෙන බැවින් ඔවුනට ඖෂධ ප්‍රතිකාර වලට අමතරව දීර්ඝකාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට සහභාගී වීමට සිදුවේ. එහිදී වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින් නැතිවී ගිය හෝ අඩු වූ ක්‍රියාකාරීත්වය නැවත පණ ගැන්වීම සිදු කරනු ලබයි.



භින්නෝන්මාද රෝගය පිලිබ මහජනතාව නොදැනීම නිසා රෝගී බව උත්සන්න වනතුරු ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වන අතර ඇතැම් විට රෝගී වූවන්ගේ ජීවිතයට පවා හානි සිදුවේ. භින්නෝන්මාදය වැළඳුනු  පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහා නිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. 
භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති. එබැවින් පවුලේ සාමාජිකයන් ද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුවත් වීම හා ඊට සම්බන්ධ වීම වැදගත් වේ. ඔවුන් රෝගියා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර හා ක්‍රියාත්මක වන ආකාරය රෝගයේ පැවැත්මට බලපායි. රෝගියා කෙරෙහි වුවමනාවට වඩා අවධානය යොමු කිරීම මෙන්ම රෝගියා නොසලකා හැරීමද හානිදායක වේ. 

ඔබ ගරිල්ලා මාකටිං චිත්‍රපටය නරඹා තිබේනම් භින්නෝන්මාද රෝගයෙන් පෙලෙන රෝගියකු පිලිබව නිසි අවබෝධයක් ලබාගත හැකිය. එහි කමල් අද්දරආරච්චි රපාන චරිතය නිරූපනය කරන්නේ භින්නෝන්මාද රෝගියකුගේ ලක්ෂණයන්ය. ඒ චිත්‍රපටයේ දැක්වෙන “ඇතුන් ගවයන්” ගීතයේ රූපරචනය ඔහු ජීවත් වන අභව්‍ය මනෝලෝකය පිලිබ අවබෝධයක් සපයයි. ඔහු යතාර්ථයට පිවිසෙන්නේ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දීමෙන් පසුවය.



ප.ලි. - මේ පෝස්ට් එක ලිව්වේ දින ගණනාවක් මහන්සි වෙලා. භාෂා ව්‍යවහාරයේ පොඩි වෙනසක් ඇති. ඒ වගේම වැඩිම වෙහෙසක් දරලා ලියපු පෝස්ට් එක. මොකද භින්නෝන්මාදය කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් රෝගලක්ෂණ පෙන්නුම් කරන රෝගයක්. ඒ විතරක් නෙමෙයි මානසික සෞඛ්‍ය ආයතන වල නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න රෝගීන්ගෙන් බහුතරයක් පෙලෙන මානසික රෝගය තමයි භින්නෝන්මාදය. ඒ නිසා තෝරා බේරාගෙන ලියන්න ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ වෙහෙස තුලින් රෝගය ගැන යම් අවබෝධයක් ඔබට ලැබෙනවානම් ඒක මට සතුටක්. කොහොම වුනත් මේ අවුරුද්ද මුල රූ කරපු ඉල්ලීමක් තමයි මේ විදියට ඉෂ්ට වෙන්නේ. Raj කරපු ඉල්ලීමත්, නොහික්මුනු ඇස කරපු ඉල්ලීමත් මේ අවුරුද්ද ඉවර කරලා ප්‍රදීප්ගේ පිටුව අළුත් වෙනසට යන්න කලින් ඉෂ්ට කරනවා. ඉදිරියේදී ප්‍රදීප්ගේ පිටුවේ යම් වෙනසක් සිදු වේවි. ඒ වගේම අළුත් අවුරුද්දේ තවත් අළුත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඊල පෝස්ට් එකෙන් හමුවෙමු. ගිහින් එන්නම්.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template