තනිවම කතා කරමින් ඇතැම් විට ගීත ගායනා කරමින් හෝ කිසිවෙකුට බනිමින් බස්
නැවතුම්පල, සතිපොල වැනි ස්ථාන වල සිටින වැරහැලි ඇඳගත් ගැහැණු පිරිමි අය ඔබ දැක
ඇති. එවැන්නෙක් දුටු විට මිනිසුන් “පිස්සු මනුස්සයෙක් ඉන්නවා” යයි එම ප්‍රදේශයෙන්
ඉවත්ව යති. නැතහොත් “කොහෙද යන පිස්සෙක්” කියා ඔහුට හෝ ඇයට උසුළු විසුළු හෝ
අඩන්තේට්ටම් කරති. මෙවැන්නන් බොහෝ විට භින්නෝන්මාදය (Schizophrenia) නම් මානසික රෝගී
තත්වයෙන් පෙලෙන රෝගීන් වේ. ප්‍රදීප්ගේ පිටුවට පිවිසෙන ඔබ අතරින් සෑම සිය
දෙනෙකුගෙන්ම එක් අයෙක් ජීවිතයේ කවර හෝ අවස්ථාවක මෙම රෝගී තත්වයට පත් වීමට ඉඩ ඇති
බව ඔබ දන්නවාද?
භින්නෝන්මාදය යනුවෙන්
හඳුන්වන ප්‍රබල මානසික රෝගී තත්වය සයිකෝසීය රෝග (Psychosis) ගණයට
වැටෙන සුලබ රෝගී තත්වයකි. ගැහැණු පිරිමි භේදයකින් තොරව ජනගහනයෙන් 1%කට ජීවිතයේ කවර
හෝ අවස්ථාවක මෙම රෝගය වැළඳීමේ අවදානම පවතී. බොහෝවිට
මෙම රෝගය මතුවන්නේ වයස අවුරුදු 15-30 ත් අතරදී වුවත් ඕනෑම වයසක අයෙකු මෙම රෝගී තත්වයට පත්
වීමේ අවදානම දරයි.
භින්නෝන්මාදය රෝග ලක්ෂණ රාශියක එකතුවකි (Syndrome). මෙහිදී රෝගයට
භාජනය වන පුද්ගලයා යතාර්ථය සහ මායාව අතර දෝලනය වන විසිරුණු මානසික ස්වභාවයකට පත්
වේ. එහිදී ඔහුගේ සිතුවිලි, හැඟීම් සහ
හැසිරීමේ වෙනස්කම් ඇතිවේ. මෙම රෝගයේදී රෝගී වු පුද්ගලයා මුහුණ දෙන ප්‍රධාන ගැටළුව
වන්නේ ආවේදනයන් තෝරා බේරා ගැනීමට, ඒවා අර්ථ දැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට
ඇති හැකියාව දුර්වල වීමයි.
රෝග පිලිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ (International
Classification of Diseases – 10th Edition) සංකේත අංක F20 යටතේ භින්නෝන්මාද රෝගය වර්ගීකරණය කොට ඇත.
F20 Schizophrenia
F20.0 Paranoid schizophrenia
F20.1 Hebephrenic schizophrenia
F20.2 Catatonic schizophrenia
F20.3 Undifferentiated schizophrenia
F20.4 Post-schizophrenic depression
F20.5 Residual schizophrenia
F20.6 Simple schizophrenia
F20.8 Other schizophrenia
F20.9 Schizophrenia, unspecified
මේ යටතේ මෙම රෝගයෙහි රෝග
ලක්ෂණ රාශියක් දක්වා ඇතත් බහුතරයක් රෝගීන්ට පොදු ලක්ෂණ කිහිපයක් පවතී.
01. මෝහය
(Delusions)
මෙම තත්වයේදී
රෝගී වූ පුද්ගලයා සාමාන්‍යයෙන් පිලිගත නොහැකි අභව්‍ය දේ පිලිබඳ විශ්වාස කරයි. මෙම විශ්වාසයන් පහසුවෙන්
ඉවත් කළ නොහැක. කෙතරම් හේතු සාධක සහිතව පෙන්වා දුන්නද තමන් එල්බ ගත්
විශ්වාසයන්ගෙන් නොමිදෙයි. මෙම විශ්වාසයන් තමන් පිලිබඳව, අනුන්
පිලිබඳව හෝ අවට වටපිටාව හා සම්බන්ධ දෙයක් විය
හැකිය. තමන්ට අන් අයට නොමැති බලයක් හෝ ධනය, වත්කම් ආදිය ඇති බව, තමන්ව ඝාතනය
කිරීමට රාජ්‍ය කුමන්ත්රනයක් ඇති බව සහ පවුලේ අය ඊට සම්බන්ධ බව ආදිය සුලබව දක්නට
ලැබෙන විශ්වාසයන්ය.
02. භ්‍රාන්තිය (Hallucinations)
අපට යම්
සංවේදනයක් දැනීමට එම සංවේදනය ඇති කරන ප්‍රභවයක් (උත්තේජකයක් - stimulus) තිබිය යුතුය. උදාහරණයක් ලෙස අපට යමෙකු කතා
කරන බව ඇසීමට නම් කතා කරන පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුය. නමුත් භ්රාන්ති
තත්වයේදී රෝගී වූ පුද්ගලයාට උත්තේජකයක් නොමැතිව සංවේදනයන් ඇතිවේ. වඩාත් සුලබ භ්රාන්ති
තත්වය වන්නේ ඇසීමේ සංවේදනයන් ඇති වීමයි (Auditory Hallucinations). එම තත්වයේදී රෝගී වූ පුද්ගලයාට තමන්ට නොපෙනෙන,
ඇත්ත වශයෙන්ම එම ස්ථානයේ ඒ අවස්ථාවේදී නොසිටින අයෙකුගේ කටහඬ, එවැනි ස්ථානයක නොඇසෙන ශබ්ද ආදිය ඇසෙන්නට
පටන් ගනී. තත්වය වඩාත් අපහසු වන්නේ එම ශබ්ද වලින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිනු
ඇසෙන විටය. දවසේ පැය 24 පුරාම තමන්ට නොපෙනෙන අයෙකු විසින් තම කනට කොඳුරා බැන වදිනු ඇසීමට ලැබීම කෙතරම් දුෂ්කර
අත්දැකීමක්දැයි මොහොතක් සිතා බලන්න. බස් නැවතුම්පලේදී ඔබ දකින්නේ එවැනි අත්දැකීම්
ඇති පුද්ගලයෙකු එම ශබ්ද වලට ප්‍රතිචාර දක්වන ආකාරයයි. ඇතැම් රෝගීන්ට ඇස, නාසය, දිව
සහ සම ඔස්සේ මෙවැනිම අභව්‍ය සංවේදනයන් දැනෙන නමුත් ඒවා එතරම් සුලබ නොවේ.
03.
තමන් පිලිබඳව ඇති අවබෝධයේ
අක්‍රමතා (Altered sense of self)
පුද්ගලයාට
තමන් පිලිබඳ දැනෙන ආකාරය වෙනස් වේ. එහිදී තම පෙනුම
විකෘති වී ඇති බව ඔහුට හෝ ඇයට හැඟී යයි. එමෙන්ම
විවිධ අවස්ථාවන්ට හා සමාජ සංසිද්ධි වලට මුහුණ දීමේදී තම සීමාවන් හඳුනාගැනීමට රෝගියා අසමත් වේ. මේ නිසා
ගැටුම්කාරී තත්වයන් උද්ගත වීමට ඉඩ ඇත.
04.
හැඟීම් ආශ්‍රිතව සිදු වන වෙනස්කම්
a.
අසාමාන්‍ය ලෙස වැඩිපුර හැඟීම් ඇතිවීම (Enhancement)
b.
හැඟීම් විරහිත
ස්වභාවය (Blunting)
c.
අවස්ථානුකූල නොවන ලෙස හැඟීම් ඇති වීම (Inappropriate)
d.
නොගැලපෙන හැඟීම් ඇති වීම (Incongruous )
05.
චලනයන්ගේ සිදුවන වෙනස්කම්
a.
කෙටි කාලයක් තුලදී පුද්ගලයාගේ චලනයන් සීමා
වීම
b.
එකම චලනය වාර ගණනාවක් එක දිගට සිදු කිරීම
06.
හැසිරීමේ සිදුවන වෙනස්කම්
a.
Social withdrawal - සමාජයෙන් ඈත් වීම
b.
Slowness - සෑම දෙයක්ම සෙමින් සිදු කරන ස්වභාවය
c.
Rituals - තමන්ට ආවේනික හැසිරීම් ක්‍රම පෙන්වීම
d.
Sleep disturbance - නිදාගැනීමේ අක්‍රමතා
e.
Homicidal - අන් අයගේ ජීවිත විනාශ කිරීමට උත්සාහ කිරීම
f.
Suicidal - සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම
g.
Bizarre - අසාමාන්‍ය හැසිරීම් දැක්වීම
07.
තමන් රෝගයකින් පෙළෙන බව නොදැනීම.
මෙම තත්වයට පත් වූ
රෝගීන් තමන් රෝගයකින් පෙළෙන බව නොදනී. එය ආත්මාවබෝධය අඩුවීම නිසා සිදුවන්නකි.
බොහෝවිට මෙම රෝගයෙහි රෝග ලක්ෂණ ඇති වන්නේ එක්වරම වන බැවින් “මෙච්චර කාලයක් හොඳට හිටිය ළමයට මොකද මේ
වුණේ” යන ගැටළුව නිතැතින්ම
ඇති විය හැකිය. එහෙත් රෝගය ඇති වීමට විවිධ හේතු තිබිය හැකිය.
ජානමය සාධක, මොළයට
උපතේදී සියුම් හානි සිදුවීම හෝ
ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට
ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට
බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක්
වියහැකි අතර, පවුල් අර්බුද හා
මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට
හැරීමට ඉඩකඩ ඇත. බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ
ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම
ගත්කල
භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.
භින්නෝන්මාදයද
කලින් හඳුනාගැනීමෙන්
සහ නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි රෝගී තත්වයකි. මේ සඳහා
අනිවාර්ය ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු අතර ඊට අමතරව විද්‍යුත් කම්පන ප්‍රතිකාර වැනි
ප්‍රතිකාර ක්‍රම ලබා දෙනු ලබයි. වැදගත් කරුණක් වන්නේ යාග හෝම සිදු කිරීමෙන් හෝ පුද
පූජා පැවැත්වීමෙන් පමණක් මෙම රෝගය සුව කළ නොහැකි බවයි. විශේෂයෙන්ම භින්නෝන්මාද
රෝගයෙන් පීඩා විඳින්නන්ගෙන් 80%ක් පමණ ජීවිතාන්තය දක්වා
නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය. එබැවින් මෙම රෝගයට දෙන බෙහෙත් රෝග
ලක්ෂණ පහවූ වහාම නැවැත්වීම සුදුසු නොවේ. එසේ කිරීමෙන් රෝගය නැවත වරක් උත්සන්න වීමට
ඉඩ ඇති අතර එය මුල් අවස්ථාවට වඩා දරුණු තත්වයකි.
මෙම
රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ගේ පෞරුෂ ලක්ෂණ සහ දෛනික ජීවන ක්‍රියාකාරකම් බිඳ
වැටෙන බැවින් ඔවුනට ඖෂධ ප්‍රතිකාර වලට අමතරව දීර්ඝකාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට
සහභාගී වීමට සිදුවේ. එහිදී වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින් නැතිවී ගිය හෝ
අඩු වූ ක්‍රියාකාරීත්වය නැවත පණ ගැන්වීම සිදු කරනු ලබයි.
භින්නෝන්මාද
රෝගය පිලිබඳ
මහජනතාව නොදැනීම නිසා රෝගී බව උත්සන්න වනතුරු ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වන අතර
ඇතැම් විට රෝගී වූවන්ගේ ජීවිතයට පවා හානි සිදුවේ. භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහා නිතර
දැනගැනීමට ලැබුනද, එවැනි
ප්රචණ්ඩ හැසිරීම්
ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි.
භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින්
සාර්ථක ජීවිත
ගත කරති. එබැවින්
පවුලේ සාමාජිකයන් ද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුවත් වීම හා ඊට
සම්බන්ධ වීම වැදගත් වේ. ඔවුන් රෝගියා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර හා ක්‍රියාත්මක
වන ආකාරය රෝගයේ පැවැත්මට බලපායි. රෝගියා කෙරෙහි වුවමනාවට වඩා අවධානය යොමු කිරීම
මෙන්ම රෝගියා නොසලකා හැරීමද හානිදායක වේ.
ඔබ
ගරිල්ලා මාකටිං චිත්‍රපටය නරඹා තිබේනම් භින්නෝන්මාද රෝගයෙන් පෙලෙන රෝගියකු පිලිබඳව
නිසි අවබෝධයක් ලබාගත හැකිය. එහි කමල් අද්දරආරච්චි රඟපාන
චරිතය නිරූපනය කරන්නේ භින්නෝන්මාද රෝගියකුගේ ලක්ෂණයන්ය. ඒ චිත්‍රපටයේ දැක්වෙන “ඇතුන්
ගවයන්”
ගීතයේ රූපරචනය ඔහු ජීවත් වන අභව්‍ය මනෝලෝකය පිලිබඳ
අවබෝධයක් සපයයි. ඔහු යතාර්ථයට පිවිසෙන්නේ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දීමෙන්
පසුවය.
ප.ලි.
- මේ පෝස්ට් එක ලිව්වේ දින ගණනාවක් මහන්සි වෙලා. භාෂා ව්‍යවහාරයේ පොඩි වෙනසක් ඇති.
ඒ වගේම වැඩිම වෙහෙසක් දරලා ලියපු පෝස්ට් එක. මොකද භින්නෝන්මාදය කියන්නේ පුද්ගලයාගෙන්
පුද්ගලයාට වෙනස් රෝගලක්ෂණ පෙන්නුම් කරන රෝගයක්. ඒ විතරක් නෙමෙයි මානසික සෞඛ්‍ය
ආයතන වල නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න රෝගීන්ගෙන් බහුතරයක් පෙලෙන මානසික රෝගය තමයි
භින්නෝන්මාදය. ඒ නිසා තෝරා බේරාගෙන ලියන්න ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ වෙහෙස
තුලින් රෝගය ගැන යම් අවබෝධයක් ඔබට ලැබෙනවානම් ඒක මට සතුටක්. කොහොම වුනත් මේ
අවුරුද්ද මුල රූ කරපු ඉල්ලීමක් තමයි මේ විදියට ඉෂ්ට වෙන්නේ. Raj කරපු ඉල්ලීමත්, නොහික්මුනු ඇස කරපු ඉල්ලීමත් මේ අවුරුද්ද ඉවර කරලා ප්‍රදීප්ගේ පිටුව අළුත් වෙනසට යන්න
කලින් ඉෂ්ට කරනවා. ඉදිරියේදී ප්‍රදීප්ගේ පිටුවේ යම් වෙනසක් සිදු වේවි. ඒ වගේම
අළුත් අවුරුද්දේ තවත් අළුත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඊලඟ
පෝස්ට් එකෙන් හමුවෙමු. ගිහින් එන්නම්.