Thursday, December 27, 2012

ලෝක විනාශය - තවත් එක් බොරුවක් නොවේ...

Posted by at 10:59 PM
වසර 2012 නිමා වීමට තව ඇත්තේ දින තුනක් පමණයි. ගෙවීයන අවුරුද්දේ වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාව වුනේ ලෝක විනාශය. මායාවරුන්ගේ දින දර්ශනය පදනම් කරගනිමින් ඇතිවුනු සැකය විවිධ මිත්‍යාවන් වලින් පෝෂණය වෙලා ලෝකය පුරාම විශාල කැළඹීමක් ඇති කලා. නමුත් ඒ දවසෙදි සැලකිය යුතු මට්ටමේ හානියක් සිදු වූ බවක් නම් වාර්තා වුනේ නෑ. ඒ ගැන විවිධ ලිපි, ප්‍රවෘත්ති, වාර්තා ආදිය ඔබ කියවන්නට ඇති. ලෝක විනාශය කියන්නේ මොකක්ද? එයින් බොහෝ විට අදහස් වෙන්නේ පොළව විනාශ වී යාමට වඩා පොළවේ සිටින ජීවීන් ව වී යාම ගැනයි. අද ප්‍රදීප්ගේ පිටුවෙනුත් මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක විනාශයක් සිදු විය හැකිද? එසේනම් ඒ කෙසේද? යන්නයි.


 ලෝක විනාශය ගැන විවිධ වූ මතවාද විවිධ ආගමික සංකල්පයන් තුල අඩංගු වෙනවා. බුදු දහමේ සහන් වෙන්නේ සූර්යයන් සත් දෙනෙක් පහළ වීමෙන් ලෝකයේ අවසානය උදා වෙන බවයි. ඒ ගැන විස්තර මෙතනින්බලන්න. බයිබලයේ සහන් වෙන්නේ ලෝකය ජලයෙන් යට වීමෙන් ලෝකය විනාශ වන බවයි. ලෝක විනාශය සත්වයින්ගේ විනාශය සමග සිදුවන බවත්, එය ආරම්භ වන්නේ සිරියාවෙන් බවත් කුරාණයේ සඳහන් වෙනවා. (මම වැරදි නම් නිවැරදි කරන්න.) මේ ආකාරයටම විවිධ ආගම් සහ ගෝත්‍ර වලට ලෝක විනාශය ගැන තමන් විශ්වාස කරන පිලිගැනීමක් තිබෙනවා. ඒ ආකාරයටම විද්‍යාඥයින් පිලිගන්නා ආකාරයට ලෝකය විනාශ විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. නමුත් එයින් කුමක් සිදුවීම නිසා ලෝකය විනාශ වේ දැයි කීමට කිසිවෙකුට හැකියාවක් නෑ.

ඉන් එකක් තමයි අභ්‍යාවකාශයේ සිට එන මීටර් 300කට වඩා විශාල ග්‍රහකයක් පොළවේ ගැටීමෙන් විය හැකි විනාශය. මෙවැනි ග්‍රහක සෑම වසර 1000ක පමණ කාලයකට වරක් පොළවට සමීප වෙනවා. පොළවට ආසන්නයෙන් ගමන් කරන විශාල ප්‍රමාණයේ ග්‍රහක 500ක් පමණ මේ වන විට සොයාගෙන තිබෙනවා. නමුත් හඳුනානොගත් ග්‍රහක ඒ වගේ දෙගුණයක්, තුන්ගුණයක් විතර තියෙන්න පුළුවන්. නමුත් එයින් එකක් පොළව හා ගැටීමට ඇත්තේ ලක්ෂයකට එකක් විතර සුළු ඉඩකඩක්. එවැන්නක් ගැටුනොත් ඇතිවිය හැකි සුනාමි රළ නිසා ගොඩබිම් ඛාදනය වීම, ගැටීමේදී පිටවන අංශු නිසා වායුගෝලය දූවිලි වලින් පිරීගොස් පොළවට හිරු එළිය නොලැබීම, ගැටීමේ කම්පනය නිසා ගොඩනැගිලි ආදිය විනාශ වීම වැනි දේ නිසා මිනිසුන් ඇතුළු ජීවීන් වඳවී යා හැකියි.


තවත් එක් ආකාරයක් තමයි හඳුනානොගත් රෝග තත්වයක් නිසා සිදුවිය හැකි විනාශය. ඔබට මතක නම් පසුගිය වසර දහයක කාලය තුල විවිධාකාරයේ අළුත් වයිරස් ආසාදන කීපයක්ම ලෝකය පුරා පැතිරුනා. ගවයින්ගේ කුර සහ මුඛ ආසාදනය, AH1N1, සූකර උණ ආදි වසංගත රෝග ඉන් කිහිපයක්. මැලේරියා වසංගතය යටත්විජිත යුගයේදී අපේ රට තුල පැතිරී ගිය බව වාර්තා වෙනවා. මහාමාරිය කියන නවකතාවෙන් කියවෙන්නේ මහාමාරිය වසංගතය නිසා නගරයක සිටි ජනතාව විශාල ප්‍රමාණයක් මිය යන සිද්ධියක්. I am legend කියන හොලිවුඩ් චිත්‍රපටයේත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන එවැනි ආසාදනයක් ගැන කියවෙනවා. මෙවැනි කුමක් හෝ රෝග තත්වයක් ලෝකය පුරා පැතිරී ගොස් ලෝකයේ ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ වීමේ හැකියාවක් තිබෙනවා.


තවත් එවැනි ආකාරයක් වන්නේ ස්වභාවික ව්‍යසන. භූ තැටි වල සිදුවන චලනයක් නිසා ඇතිවන විශාල භූමිකම්පාවකින් ජීවීන් විනාශ වී යා හැකියි. විශේෂයෙන්ම මුහුදේ සිදුවන භූ චලනයක් නිසා ඇතිවන සුනාමි තත්වයකින් මිනිසුන් විනාශ වී යා හැකියි. මීට වසර අටකට පෙර ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් 9.1ක භූ චලනයක් නිසා ඇතිවූ සුනාමියකින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් ගණනාවක පුද්ගලයන් ලක්ෂ ගණනක් (ලිඛිත වාර්තා වලට අනුව 227,898 දෙනෙක්) ජනතාව මියගියා. ඒ ගැන වාර්තාව මෙතනින්. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ මයික් මැක්වේ රචනා කල රික්ටර් 10 ප්‍රබන්ධයේ රික්ටර් 10ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් නිසා සිදුවිය හැකි විනාශය ගැන දක්වලා තිබෙනවා. තවත් එවැනිම ස්වභාවික සංසිද්ධියක් තමයි ගිණිකඳු. දැවැන්ත ගිණිකඳු පිපිරීමක් නිසා ඇතිවන දුමාරයෙන් කාලයක් තිස්සේ පොළවට හිරු එළිය නොලැබී යන්න පුළුවන්. එවිට පොළවේ ආහාර චක්‍ර විනාශ වෙලා ජීවීන් වඳ වී යාමේ හැකියාවක් පවතිනවා.


තවත් එවැනි ආකාරයක් තමයි සුර්යයා මත සිදුවන පිපිරීම්. යම්කිසි චක්‍රයකට අනුව සිදුවන මෙවැනි පිපිරීම් කාලයකට සැරයක් සිදුවෙනවා. එවැනි එක් විශාල විදාරණයක් ඉදිරි වසරේදී සිදුවිය හැකි බවට මත පල වී තිබෙනවා. නමුත් එවැනි විදාරණයන් සෑමවිටම පෘථිවිය දෙසට එල්ල වන්නේ නෑ. එලෙස එල්ල වුවහොත් පෘථිවියට එල්ල වන සූර්ය විකිරණ ප්‍රමාණය සිය දහස් ගුණයකින් වැඩිවී පෘථිවියේ සන්නිවේදන පද්ධති, විදුලි පද්ධති ආදිය බිඳවැටීමෙන් විශාල විනාශයක් සිදුවීමේ හැකියාව තිබෙනවා.

තවත් එක් ආකාරයක් තමයි මිය යමින් පවතින තරුවකින් නිකුත් වන ගැමා කිරණ නිසා සූර්යග්‍රහ මණ්ඩලයම විනාශ වී යා හැකියි. සූර්ය ග්‍රහ මණ්ඩලයට තරමක් ආසන්නයේ පවතින විශාල ප්‍රමාණයේ තරුවක් සුපර්නෝවාවක් ඇතිකරමින් පුපුරා යන විට එහි අක්ෂය සූර්යග්‍රහ මණ්ඩලය දෙසට හැරී තිබුනොත් එහිදී නිකුත් වන ගැමා කිරණ නිසා සූර්යග්‍රහ මණ්ඩලය විනාශ වී යා හැකියි. මෑතකදී සොයාගත් පොළවේ සිට ආලෝක වර්ෂ 8000ක් පමණ ඈතින් පවතින WR101 නමැති මිය යමින් පවතින තාරකාව එවැන්නක්.


ඒ වගේම අභ්‍යාවකාශයේ පවතින කළු කුහරයක පවතින අධික ගුරුත්ව බලය නිසාත් සූර්යග්‍රහ මණ්ඩලය විනාශ වී යා හැකියි. කළුකුහර විශ්වයේ විවිධ ස්ථාන වල පැවතිය හැකිය. ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය අධිකය. එවැනි කළු කුහරයක් සූර්ග්‍රහ මණ්ඩලය අසලින් ඇදී ගියහොත් පොළව ඇතුළු ග්‍රහලෝක ආදියේ ගමන්මග වෙනස් වීමටත් ග්‍රහලෝක ඒ තුලට ඇදී යාමටත් හැකියි. එවැන්නකදිත් ලෝකය විනාශ වීමේ හැකියාවක් තිබෙනවා.


මෙතෙක් අප සාකච්ඡා කලේ මිනිසාගේ සෘජු බලපෑමක් නොමැතිව ලෝකය විනාශ විය හැකි ආකාර කිහිපයක්. නමුත් මිනිසාගේ සෘජු දායකත්වය නිසාත් ලෝකය විනාශ වී යා හැකියි. ඉන් ප්‍රබලම කාරණය තමයි යුද්ධ. යුද්ධ වලදී භාවිතා කරන තාක්ෂණික අවි ආයුධ නිසා පෘථිවියේ විශාල ප්‍රදේශයක් එකවර විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. එවැනි දරුණු යුද්ධයක් හෝ වැරදීමකින් සිදුවන ආයුධ භාවිතාකිරීමක් නිසා පෘථිවියේ ජීවීන් සමූල ඝාතනය වී යා හැකියි. ඒ වගේම රසායනික අවි සහ ජෛව අවි නිසාත් මෙවැනිම විනාශයක් සිදුවීමේ අවදානමක් පවතිනවා. එවැනි එක් ජෛව අවියක් තමයි ඇන්ත්‍රැක්ස් වයිරසය. ආර්ථික පද්ධතියේ සිදුවන විශාල බිඳවැටීමක් නිසා මිනිසුන්ට සිදුවන ආහාර ඇතුළු පහසුකම් හිඟය සහ ඒ ආශ්‍රිත වෙනත් සාධක හේතුවෙන් මිනිසුන් මියයාමටත්, විශාල වශයෙන් සියදිවි නසාගැනීමටත් හැකියාව ඇතැයි විද්‍යාඥයින් උපකල්පනය කරනවා. යුරෝපයේ පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.



පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් ගැනත් විවිධ මතවාද පවතිනවා. එහෙත් එවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බුද්ධිමත් ජීවීන් පිරිසක් පිලිබඳව මෙතෙන් වාර්තා වී නැහැ. මෑතකදී ලංකාවේ වැසි ජලයේ සිටි ක්ෂුද්‍ර ජීවීන් පෘථිවියට බාහිරින් පැමිණෙන්නට ඇතැයි සැක කලත් මෙතෙක් ඒ බව තහවුරු වී හෝ පිලිගත් ආයතනයක සැකයට භාජනය වී හෝ නැහැ.




කොහොම වුනත් ලෝකය කවදා විනාශ වේදැයි කිසිවෙකුට නිශ්චිතවම ප්‍රකාශ කිරීමට හැකිවී නැහැ. ඒ දිනය හෙට වන්නටත් පුළුවන්. නැතහොත් තව වසර සියයකින්, දහසකින් හෝ ලක්ෂයකින් වන්නටත් පුළුවන්. ඒ දවස කවදා වුනත් එය නැවැත්වීමට අපිට ඇත්තේ ඉතා සුළු ඉඩක් පමණයි. එහෙත් ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ කිරීම අත්‍යාවශ්‍යයි.

මේ දිනවල රටේ හැමතැනකම මෑත කාලයේ සිදු නොවූ ආකාරයේ සිදුවීම් වාර්තා වෙනවා. මේ සිදුවීම් ලෝක විනාශය පිළිබඳ මතය තවත් ශක්තිමත් කරන්න දායක වුනා. මේ ලියන මොහොත වන විටත් කඳුකර ප්‍රදේශ නාය යමින් පවතිනවා. ගංගා සහ ජලාශ උතුරා යමින් පවතිනවා. මෙහෙම වෙන්නෙ ඇයි? ස්වභාවික විපත් වලින් බොහොමයකට මානව ක්‍රියාකාරකම් සෘජුවම බලපෑම් ඇති කරනවා. පසුගිය කාලය පුරාම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වන විනාශයත්, නිසි පරිදි පරිසර ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ ඉදිකිරීම් හා ව්‍යාපෘති වලින් සිදුවන පරිසර හානියත් නාය යෑම් සඳහා විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. 2004 වසරේදී සිදුවූ සුනාමි ඛේදවාචකයේදී විශාලම බලපෑමක් එල්ල වූ පැරෑලිය ප්‍රදේශයේ කඩොලාන ශාක පරිසරය විනාශ කොට තිබූ බව වාර්තා වුනා. අම්පාර ප්‍රදේශයේ විශාල ප්‍රමාණයෙන් සිදුකරන ගල් කැඩීම් මෑතකදී සිදුවූ භූ චලනයක්ට හේතු වන්නට ඇතැයි මතයක් පළ වී තිබුනා. මේවායින් බොහොමයක් වලක්වා ගත හැකිව තිබූ විනාශයන්. නමුත් අපි එදා ඒ ගැන සැලකිලිමත් නොවූ නිසා අද එයින් පීඩා විඳිනවා. ඒ නිසා ඒවා පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.


ලෝක විනාශ, භූමිකම්පා, නායයාම්, ගංවතුර ගැන කතාබහ අතරෙ ඔබ මේ පෝස්ට් එක කියවන දෙසැම්බර් 28 වෙනිදා විශේෂ දවසක්. මීට අවුරුදු 27කට කලින් දෙසැම්බර් 28 වෙනිදාවක උපන් එකෙක් නොවෙන්න ඔබට මේ කරදරකාර බ්ලොග් එක කියවන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අද දවස මේ බ්ලොග් එක කියවන හැමෝටම ගොඩක් වටිනවා. ඒ එක්කම මතක් කරන්න ඕන ජනවාරි 27 වෙනිදා පැවැත්වෙන බ්ලොග් සුහද හමුව. එදාට බ්ලොග් ලියන කියවන හැම කෙනෙක්ම ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට එකතු වෙයි කියලා ප්‍රදීප්ගේ පිටුව බලාපොරොත්තු වෙනවා.


අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දකුත් උදාවෙන එකේ හැම කෙනෙක්ටම අළුත් බලාපොරොත්තු ඇති. ඒ හැම එකක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වසරේදී ප්‍රදීප්ගේ පිටුවත් වැඩ කටයුතු කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා උසස් පෙළ පන්තියට යන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් තමන්ට සුදුසු විෂය ක්ෂේත්‍රය තෝරාගන්නෙ කොහොමද කියලා කියල දෙන්න පොඩි සූදානමක් තියෙනවා. අනිත් කාරණය ප්‍රදීප්ගේ පිටුවෙන් බොහෝ දෙනෙක් කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක්. ඒ තමයි මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක්. ඒ දෙකම මේ වෙනකොට සැලසුම් වෙමිනුයි තියෙන්නේ. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්කෝ. එහෙනම් ගිහින් එන්නම්. මේ කාරණා දෙක ගැන උනන්දු වෙන අය ඉන්නවානම් gpcguna@gmail.com කියන ඊමේල් ලිපිනයට ඊයක් එවන්නකෝ.

Tuesday, December 18, 2012

දිනෙන් දැන වැඩි වන අපරාධ යනු උමතුවක්ද?

Posted by at 8:35 PM
පසුගිය සිකුරාදා (14) විසි හැවිරිදි ඇමෙරිකානු යෞවනයෙක් පාසල් ළමුන් 20 දෙනෙක් ඇතුළුව 26 දෙනෙකුට වෙඩි තියලාතමනුත් වෙඩි තියාගත්තේ දෙනෝදාහක් දෙනා බලාගෙන ඉද්දි. ඊට කලින් අවස්ථා ගණනාවකදී ලොවපුරා එවැනි සිදුවීම් වාර්තා වුනා. මෑතකදී ලංකාවෙත් මේ වගේ සිදුවීම් කීපයක්ම සිද්ධ වුනා.  කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ගණනාවක් කෙටි කලක් තුල ඝාතනයට ලක් වුනා. වැල්ලවත්තේ තරුණයෙක් තම පවුලේ තිදෙනෙක් මරා දැම්මා, උඩවලව එකම පවුලේ සිව් දෙනෙක් ඝාතනය කරනු ලැබුවා, ගොඩකවෙල එකම පවුලේ හය දෙනෙක් මරා දැමුනා. ඒවාට අමතරව දිනපතා මනුෂ්‍ය ඝාතන, ළමා අපචාර, වංචා සහ ස්ත්‍රී දූෂණ පිලිබ වාර්තා පුවත්පත් වල කියවන්න ලැබෙනවා. මිනිසුන් මෙවැනි අපරාධ කරන්නේ ඇයි? අද ප්‍රදීප්ගේ පිටුවෙන් උත්සාහ කරන්නේ මිනිසුන් අපරාධ වලට පෙළඹෙන්නේ ඇයි කියන කාරණය ගැන සාකච්ඡා කරන්න.



අපි කරන ඕනෑම කාර්යයක යෙදෙන්න අපිව පොළඹවන මූලික සාධකය තමයි අපේ මනස. යම් පුද්ගලයෙක් යම් කාර්යයක නිරත වෙන්න කිසියම් මානසික පෙළඹවීමක් අවශ්‍යයි. උදාහරණයක් විදියට අපි යම්කිසි රැකියාවක නිරත වෙන්නේ අපිට මුදල් ඉපයීම අවශ්‍ය වන නිසා. මුදල් උපයන්නේ ඇයි කියලා හිතුවොත් ඒ අපේ මූලික අවශ්‍යතා සපුරාගන්න අපට මුදල් අවශ්‍ය වන නිසා. ඒ අවශ්‍යතාවය මගින් රැකියාවක නිරත වීම සහා අපිව පොළඹවනු ලබනවා. මේ විදියට පුද්ගලයකුට ඇති වන අවශ්‍යතා ධූරාවලියක් 1943දි ඒබ්‍රහම් මැස්ලෝ කියන මනෝවිද්‍යාඥයා විසින් හුන්වලා දීලා තියෙනවා. ඔහුගේ මතය අනුව මිනිසුන් විවිධ ක්‍රියාවන්ගේ නිරත වෙන්නේ මේ අවශ්‍යතා ඉටු කරගන්න.


මේ එක් එක් අවශ්‍යතා ඉටුකරගන්න විවිධ පුද්ගලයන් භාවිතා කරන්නේ විවිධ ක්‍රමවේදයන්. නමුත් ඒ ක්‍රමවේදය සමාජය විසින් පිලිගන්නා එකක් විය යුතුයි. සමාජය විසින් සුදුසුයැයි පිලිගන්නා ක්‍රමවේදයන් ඔස්සේ තමන්ගෙ අවශ්‍යතා ඉටුකරගන්න උත්සාහ කරන පුද්ගලයා ඒ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරි වෙන අවස්ථා වලදි ඉච්ඡාභංගත්වයට, එහෙමත් නැත්නම් බලාපොරොත්තු කඩවීමකට ලක් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම තමන්ගේ අවශ්‍යතා තමන්ට ඉටුකරගත හැකි සීමාව ඉක්මවා යනවා. එවැනි අවස්ථා වලදී මේ පුද්ගලයා සමාජය විසින් පිලිනොගන්නා ක්‍රමවේදයක් ඔස්සේ තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න උත්සාහ කරනවා.උදාහරණයක් විදියට යම් පුද්ගලයෙකුට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආහාර ලබා දීමට හැකියාවක් නොමැති නම් ඔහු සොරකම් කිරීමට පෙළඹිය හැකියි. 

නමුත්, ආහාර සපයා ගැනීමේ අපහසුතා ඇති සැම කෙනෙක්ම සොරකම් කරනවාද? නැහැ. එහෙම වෙන්නේ ඇයි?

ඒ සහා බලපාන සාධක කීපයක්ම හුනාගන්න පුළුවන්. එකක් තමයි ඒ පුද්ගලයාගේ ඒ අවස්ථාවේ පවතින මානසික තත්වය. මෙවැනි තෘප්තිමත් නොවූ අවශ්‍යතා සහිත පුද්ගලයෙක්ගේ මානසික ස්වභාවය වෙනත් අයෙකුගේ මානසික තත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. තමන්ට සාක්ෂාත් කරගැනිමට නොහැකි වූ අවශ්‍යතා නිසා ඇති වන ඉච්ඡාභංගත්වයත්, මානසික ආතතියත් නිසා පුද්ගලයා තුල ආවේගශීලී බවක් ඇතිවෙනවා. උදාහරණයක් විදියට සමාජ සම්මත ආකාරයට, සහකරු/සහකාරියගේ කැමැත්තෙන් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි වන යම් පුද්ගලයෙක් තුල එය සහකරු/සහකාරියගේ අකමැත්තෙන් හෝ ඉටුකර ගැනීමේ ආවේගයක් ඇති විය හැකියි. ආවේගශීලී බව නිසා පුද්ගලයාගේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයකුට කල නොහැකි ඇතැම් බිහිසුණු හා අවදානම් ක්‍රියාවල යෙදීමට අවශ්‍ය පෙළඹවීම ඇතිකරනු ලබනවා. හදිසි කෝපය නිසා, එහෙමත් නැත්නම් පාලනය කල නොහැකි ආවේගය නිසා සිදුවන අපරාධ වලදි පුද්ගලයා තුල එවැනි ලක්ෂණ දැකගන්න පුළුවන්. උදාහරණ විදියට හදිසි ආවේගය නිසා සිදු කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ වැනි අවස්ථා දක්වන්න පුළුවන්. 
  
අපරාධ වලදී බලපාන තවත් ප්‍රධාන කාරණයක් තමයි අපරාධකරුගේ පෞරුෂය. ගෝඩන් ඕල්පොට් කියන මනෝවිද්‍යාඥයාට අනුව පෞරුෂය කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව චර්යාව හා චින්තනය නියත කරන පුද්ගලයා තුල වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානයට. මේ පෞරුෂය සාමාන්‍ය පෞරුෂය සහ අසාමාන්‍ය (අපගාමී) පෞරුෂය විදියට වර්ග කරන්න පුළුවන්. අපරාධයක් සහා යොමු වන්නන්ගෙන් අති බහුතරය අපගාමී පෞරුෂයන් දරන බව සොයාගෙන තියෙනවා. එවැනි අයගේ පහත ආකාරයේ ලක්ෂණ දැකගන්න පුළුවන්.


  • යම් ගැටළුවක් සහා විසුම් සෙවීමේදී අසම්මත ක්‍රම අනුගමනය කිරීම.
  • ආවේග සහිත මානසික තත්වයක් පැවතීම.
  • ප්‍රචණ්ඩකාරී චර්යාවන් පෙන්වීම.
  • සදාචාරාත්මක රීති ගරු නොකිරීම.

මනෝ විද්‍යාඥයින් පිලිගන්න මතයක් තමයි එක් එක් පුද්ගලයාගේ පෞරුෂය වැඩෙන්න ආරයෙන් ලැබෙන ලක්ෂණ වගේම පාරිසරික සාධකත්(Nature and Nurture) බලපානවා කියන කාරණය. නමුත් එයින් පෞරුෂය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන්නේ සමාජමය සහ පාරිසරික සාධක. එයින් ප්‍රධානම සාධකයක් තමයි ළදරු සහ ළමා කාලයේදී මුහුණ දෙන අත්දැකීම්. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව පෞරුෂ සංවර්ධනයේ මුල් අවධි වල ලබාගන්නා අවිඥානික තෘප්තියට සිදුවන බාධාවන් නිසා අපගාමී පෞරුෂයන් ඇති වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මුඩුක්කු පරිසර වල, අධික ශබ්දය සහිත ප්‍රදේශවල, කාර්මික ඒකක සහ දුෂ්කර ප්‍රදේශ වල ජීවත්වන්නන්ගේ ඇතැම් අපගාමී පෞරුෂ ලක්ෂණ දැකගන්න පුළුවන්.
අපගාමී පෞරුෂයක් ඇති වීමට පවුල තුලින් වන බලපෑම විශාලයි. විශේෂයෙන්ම බිුනු පවුල් වල දරුවන් අපගාමී පෞරුෂ ලක්ෂණ පෙන්වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඊ. සදර්ලන්ඩ් කියන විද්‍යාඥයාට අනුව බිුනු පවුල් වර්ග කිහිපයක් තිබෙනවා.


  • පවුලේ සාමාජිකයන් සොරකම්, අපචාර, හෝ දුරාචාර වල යෙදෙන්නන් වන සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගෙන් සමන්විත පවුල්.
  • මරණය, දික්කසාදය, අත්හැර යාම වැනි දේ නිසා මව් පියන්ගෙන් එක් අයෙක් හෝ දෙදෙනාම දරුවන්ගෙන් ඈත්ව සිටීම. (මව/පියා විදේශගත වීමද මෙයට අයත්ය.)
  • නූගත්කම, පමණට වඩා සැරපරුෂ වීම, නොසලකා හැරීම, ජාති/ආගම් ආදියේ වෙනස්කම් සහිත සාමාජිකයන්ගෙන් සමන්විත පවුල්.

මෙවැනි බිුනු පවුල් වල දරුවාට ලැබිය යුතු ආදරය, සෙනෙහස, උණුසුම හා බැීම දැකිය නොහැකියි. ඒ නිසා එවැනි පවුල් වල දරුවන්ගේද අපගාමී පෞරුෂ ලක්ෂණ ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. 


අවස්ථානුකූල මානසික තත්වය සහ අපගාමී පෞරුෂයන්ට අමතරව අපරාධ වලට බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි මානසික ගැටළු. අපි දිගින් දිගටම මානසික ගැටළු ගැන ප්‍රදීප්ගේ පිටුවෙන් කතා කරලා තියෙන නිසා ඒ ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් නම් වශයෙන් සහන් කලොත් කාංසාව, භින්නෝන්මාදය, සැකය, විශාදය, හිස්ටීරියාව වගේ හේතු නිසා පුද්ගලයෙක් අපරාධ වලට යොමු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මීට සති දෙකකට විතර කලින් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වුන පුවතක් ගත්තොත් එක්තරා තරුණයෙක් භින්නෝන්මාද රෝගී තත්වය නිසා තමන්ගේ පියාව දැක්කෙ නාගයෙක් විදියට. ඒ නිසා ඔහු නයා මරණ ආකාරයට තමන්ගේ පියාව ඝාතනය කලා. එවැනි විවිධ මානසික රෝගී තත්වයන් නිසා පුද්ගලයන් අපරාධ සිදුකිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ලිංගික ගැටළු නිසාත් පුද්ගලයන් විවිධ අපගාමී චර්යා පෙන්වන්න පුළුවන්. ඒ ගැනත් අපි මීට කලින් අවස්ථා වල සාකච්ඡා කරලා තිබෙනවා. 

 
වැඩිපුරම අපරාධ වලට යොමු වෙන්නේ වයස අවුරුදු 20 – 25 අතර තරුණයින් බව අපරාධ වල නිරත වෙන පුද්ගලයින් ගැන කරපු අධ්‍යයනයන්ගෙන් හොයාගෙන තිබෙනවා. තරුණ වයසේදී ඇති වන ලිංගික ගැටළු, ප්‍රේමය සහ විවාහය, රැකියා ගැටළු, අධ්‍යාපනය හා සම්බන්ධ ගැටළු ආදිය නිසා තම අවශ්‍යතා සංතෘප්ත කරගැනීමට යාමේ අපහසුතා අතිවන විට තරුණ පිරිස් තුල අනිත් වයස් වල අයට වඩා වැඩි ප්‍රචණ්ඩකාරී බවක් ඇති වෙනවා. 

අපරාධ සාමාන්‍යකරණය වීම සහ අපරාධ කිරීම සහා අවශ්‍ය වටපිටාවක් පැවතීම මගින් අපරාධ සිදුකිරීම උත්තේජනය කරන බව සොයාගෙන තිබෙනවා. අපේ රටේ වසර තිහක් මුළුල්ලේ පැවති යුද්ධය නිසා මිනිසුන් මැරීම හා මියයාම සාමාන්‍යකරණය වී තිබෙනවා. ඒ වගේම ඒ සහා අවශ්‍ය අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය වගේ දේවල් පහසුවෙන් සොයාගන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනි චැනල් වල සහ ගුවන්විදුලි චැනල් වල විකාශනය වන වැඩසටහන්, ටෙලිනාට්‍ය සහ පුවත්පත් මගින් අපරාධ තවදුරටත් සාමාන්‍ය සමාජයේ සුලබව සිදුවන දේවල් බව පෙන්වනු ලබනවා. යම්කිසි බලාපොරොත්තු කඩවීමක් සහා ඇති හොම විසුම යම් අපරාධයක් සිදුකිරීමයි යන පණිවිඩය ඇතැම් මාධ්‍ය හරහා සමාජයට පෙන්වන වැඩසටහන් වලින් දැකගන්න පුළුවන්. නිතර නිතර මෙවැනි දේ නරඹන දරුවන්‍ගේ මනසට අපරාධ සාමාන්‍යකරණය වීම වලක්වන්න බැහැ. ඒ වගේම විවිධ මාධ්‍ය හරහා උළුප්පා පෙන්වන ලිංගික ආශාවන් කෙසේ හෝ තෘප්තිමත් කරගැනීමට යෞවනයන් උත්සාහ කිරීමත් මාධ්‍ය හැසිරීම නිසා සිදුවිය හැකි තවත් හානියක්. අවසාන වශයෙන් නීතිමය රාමුව මගින් තමන්ට සාධාරණයක් ඉටු නොවෙන වටපිටාවක තමන්ට ඇති අවසාන විකල්පය වශයෙන් පුද්ගලයෙක් අපරාධයක් සිදු කරන්න පුළුවන්. 


මේ වගේ විවිධ හේතු නිසා පුද්ගලයන් අපරාධ වලට යොමු වෙනවා. අපරාධකරුවන් එකිනෙකා වෙන වෙනම අධ්‍යයනය කලොත් මේවාගෙන් ඔවුන්ට බලපෑමක් ඇතිකරලා තිබෙන සාධක මොනවද කියලා හොයාගන්න පුළුවන්. මේ වෙනකොට ලෝකය පුරාම අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා. ඒ සහා බලපාන්නේ මේවාගෙන් කුමන සාධකද කියලා හොයලා බලලා ඒවාට විසුම් සෙවීම පරිපාලනයේ යුතුකමක්. නමුත් අපේ දරුවන් අපරාධ මානසිකත්වයෙන් මුදවාගන්නෙ කොහොමද කියන එක දෙමාපියන්ට හිතලා බලන්න පුළුවන්.

එහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන සමාජානුයෝජනය කියන කාරණය ගැන. සමාජානුයෝජනය කියන්නේ දරුවකු සමාජයට හුරු කිරීමේ ක්‍රියාවලිය. සමාජානුයෝජනයේ මූලික නීති හතරක් තිබෙනවා.

  • පුද්ගලයා සමාජයේ හෝ සමූහයේ නීති ඉගෙනගත යුතුය.
  • සමාජයේ පිළිගත් සම්මත රීතීන්ට අනුගත විය යුතුය.
  • සංස්කෘතියට අයත් ලක්ෂණ හුනාගෙන ඒවා ගැන පුහුණුවක් ලැබිය යුතුය.
  • පුද්ගලයා තමාට සමාජයේ හිමි කාර්යභාරය කුමක්ද යන්න හුනාගත යුතුයි.

මෙම ලක්ෂණ හුරු කිරීමේ මූලික කාර්යය හිමිවන්නේ දෙමාපියන්ට එහිදී පවුල තුලින් සිදුවිය යුතු යුතුකම් හතරක් තිබෙනවා.

  • ශාරීරික වතාවත් විධිමත්ව කරගැනීමට දරුවා හුරු කරවීම.
  • පරිසරය තේරුම් ගැනීමෙහිලා ඉවහල් වන සමාජ ආකල්ප ඇතිකිරීම.
  • සන්නිවේදන මාධ්‍යයන් සමග නිවැරදි සම්බන්ධතා පැවැත්වීමට හුරු කිරීම.
  • වැඩිහිටි - දූදරු පරතරය අකා මකා දමා ඒ වෙනුවට ආදරය, මිත්‍රශීලී බව හා ආරක්ෂාව පිලිබ හැීම දරුවන් තුල ඇති කිරීම.


උත්සාහ කලේ මේ දවස් වල කතාබහට ලක්වෙන මාතෘකාවක් ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මේ පෝස්ට් එකට උදව් කරගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මයාගේ “අපරාධ මනෝවිද්‍යාව සහ වින්දිත උපදේශනය” කියන පොත. එහෙමනම් ගිහින් එන්නම්. යන්න කලින් මතක් කරන්න ඕන. හැමෝම දන්නවනේ ජනවාරි 27 වෙනිදා පැවැත්වෙන බ්ලොග් ගෙට්ටුව. සෑම් සහ සිරා ඇතුළු පිරිස තමයි සංවිධානය කරන්නෙ. තියෙන්නෙ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි. ප්‍රදීප්ගේ පිටුව කියවන හැමෝටමත් එදාට එන්න කියලා ආරාධනා කරනවා.

Tuesday, December 11, 2012

මානව හිමිකම්.... රකිමුද? එරෙහි වෙමුද...?

Posted by at 12:20 AM
යුද්ධයෙන් පස්සේ අපේ රටේ වැඩිපුරම කතා කරපු, වැඩිපුරම ප්‍රවෘත්ති පළ වුන වගේම වැඩිපුරම අපේ රට ලෝකයේ කතාබහට ලක්වුන කාරණය තමයි මානව හිමිකම් කියන්නේ. අපේ රටට මානව හිමිකම් චෝදනා එල්ල වෙද්දි අපි පක්ෂ පාට නැතුව ඒකට විරුද්ධව කෑ ගැහුවා. නමුත් ඒ කෑ ගහපු අයගෙන් කීයෙන් කී දෙනෙක් ද මානව හිමිකම් ගැන හරියටම දන්නේ? අද (දෙසැම්බර් 10) ලෝක මානව හිමිකම් දිනය. අද ප්‍රදීප්ගේ පිටුව උත්සාහ කරන්නේ මානව හිමිකම් ගැන පොඩි විමසුමක් කරන්න.


මිනිසා බුද්ධිමත්ව සිතන්නට පටන්ගත් දා පටන්ම තමන්ගේත්, අන් අයගේත් අයිතිවාසිකම් ගැන හිතන්න පුරුදු වුනා. ගෝත්‍රික යුගයේ සිට අද දක්වාම දක්නට ලැබෙන ඇති-හැකි සහ නැති-බැරි කණ්ඩායම් දෙක අතර ඇති වූ අනවරත අරගලයේ ප්‍රතිඵලයක් විදියට නැති-බැරි අයගේ අයිතිවාසිකම් ගැන සංවාදය වරින් වර ඉස්මතු වෙන්න පටන්ගත්තා. මේ දැවැන්ත සංවාදයේ වැදගත් සංධිස්ථානයක් වෙන්නේ 13 වන සියවසේ බ්‍රිතාන්‍ය රජු සහ රදලයන් අතර ඇති වූ මැග්නා කාර්ටා ගිවිසුම. ඊට පස්සේ 1679 දි පුද්ගලයන් අත්තනෝමතිකව සිරගත කිරීම තහනම් කරමින් හබයාස්කෝපුස් ආඥාව බ්‍රිතාන්‍යය සම්මත කරගන්නවා. ඊටත් ටික කාලෙකට පස්සෙ තමයි 1689 දි බ්‍රිතාන්‍යය අයිතිවාසිකම් පිළිබ කෙටුම්පත සම්මත කරගන්නේ. 

1776 ජූලි 04 වෙනිදා නිකුත් කරපු ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයේ මෙහෙම සහන් වෙනවා. “සියළුම ජාතික් එක හා සමානය. මින් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම පුරවැසියෙක්ම ඇමෙරිකානුවෙකු ලෙස හැඳින්වේ.” . ලෝකයේ පළමු ලිඛිත සන්ධීය (ෆෙඩරල්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දි ඔවුන් ලෝකයේ පළමු වරට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් එයට ඇතුලත් කරනවා. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ 1791 දි නිකුත් කරපු මානව අයිතිවාසිකම් ප්‍රකාශනය මානව හිමිකම් පිලිබඳව වඩාත් සවිස්තරව සාකච්ඡා කරනවා.



ප්‍රංශ විප්ලවයත් එක්ක මතු වුන ජනතා පරමාධිපත්‍යය පිලිබඳ කතිකාව තවදුරටත් ලෝකයේ මානව හිමිකම් ගැන අවධානය යොමු කරන නමුත් 1914 දී සහ 1939 දි ලෝකය අවාසනාවන්ත සහ භයානක යුද්ධ දෙකකට මුහුණ දෙනවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට තමයි 1948 දෙසැම්බර් 10 වෙනිදා එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් “මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය” එළිදක්වන්නේ. මෙම ප්‍රකාශනය සෑම මිනිසෙකුටම හිමි විය යුතු අන්සතු කිරීමට හෝ උල්ලංඝනය කිරීමට නොහැකි වගන්ති තිහකින් සමන්විත වෙනවා. ප්‍රකාශනයට අත්සන් කරපු ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වල මේ වගන්ති ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන අඩංගු වෙනවා. යම් රටක් මේ වගන්ති කඩ කරනවානම් ඒ රටට එරෙහිව සම්බාධක පණවන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට පුළුවන්. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සිංහල පිටපත මෙතනින් බලන්න. මේ ප්‍රකාශනය සකස් කරන්න හේතු වුන කරුණු ප්‍රකාශනයේ පූර්විකාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලූ දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින්ද, මානව අයිතිවාසිකම් නොතැකීමේ හා අවඥවට ලක්කිරිමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘද සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන මිලේච්ඡ කෲරකම් සිදු වී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට අදහස් ප‍්‍රකාශකිරීමේ හා විශ්වාසය ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අඟහිගකමින් තොරවිමේ නිදහසත්, භුක්ති විදීමට හැකි ප‍්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම අපේක්ෂාව ලෙස ප‍්‍රකාශයට පත්වී ඇති හෙයින්ද,

දුෂ්ඨ පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධව අන්තිම ක‍්‍රියාමාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා පෙළඔවීම වැලැක්වීමට නම් නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,
ජාතීන් අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන හෙයින්ද,

මූලික අයිතිවාසිකම් කෙරහිත්, මිනිසාගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ති‍්‍ර‍්‍ර පුරුෂ දෙපක්ෂයේ සමාන අයිතිවාසිකම් කෙරෙහිත් තම විශ්වාසය හා භක්තිය එක්සත් ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප‍්‍රඥප්තියෙහි ස්ථිර ලෙස නැවත පිළිගෙන ඇති හෙයින්ද සමාජ ප‍්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්වයක් වඩා පුළුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨාන කර ඇති හෙයින්ද,

මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනත්වයන් කෙරෙහි විශ්ව ගරුත්වයත් ඒවා රැකදීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීත්වය වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප‍්‍රතිඥ දී ඇති හෙයින්ද,

ඒ ප‍්‍රතිඥව පරිපූර්ණව සාක්ෂාත්කර ගැනීම සදහා මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබදව පොදු අවබෝධය ලබා ගැනීම අතිශයින් වැදගත්වන හෙයින්ද,

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප‍්‍රකාශකොට සිටියි.
- මානව හිමිකම් පිලිබ විශ්ව ප්‍රකාශනයේ පූර්විකාව



මේ අයිතිවාසිකම් වලින් සමහරක් කුමන තත්වයක් යටතේවත් සීමා කළ නොහැකියි. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, ආගමික නිදහස, කෘර වදහිංසා වලට පාත්‍ර වීමෙන් වැලකීමේ නිදහස සහ හිතුමතයේ ජීවිතක්ෂයට පත් කරනු නොලැබීමේ නිදහස යනාදී දේ ඊට අයත්.  ඒ වගේම විවිධ සාධාරණ තත්වයන් යටතේ සමාජයේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා යම් පමණකට නීත්‍යානුකූලව සීමා කළ හැකි අයිතිවාසිකම්ද තිබෙනවා. උදාහරණ ලෙස ප්‍රකාශනයේ නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස ආදිය දැක්විය හැකියි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබ විශ්ව ප්‍රකාශනයට අත්සන් තබපු රටක් විදියට ශ්‍රී ලංකාව මෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැිලා ඉන්නවා. අපේ රටේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ඡේදයේ “මූලික අයිතිවාසිකම්” සඳහා වෙන් කරලා තියෙනවා. එහි 10 සිට 14 දක්වා වගන්ති වලින් මූලික අයිතිවාසිකම් පිලිබඳ පැහැදිලිව දක්වලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය මෙතනින් කියවන්න. (ඉංග්‍රීසි).



මේ ව්‍යවස්ථාවේ තියෙන කරුණු උල්ලංඝනය වෙනවා නම් මොකද කරන්නේ? ඒකත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියට අනුව අදාල අයිතිවාසිකම් කඩවීම සිදුවී දින 30ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර සහනයක් ඉල්ලා සිටිය හැකියි. ඒ වගේම එවැනි අයිතිවාසිකම් කඩවීමක් සිදුවීමට ඉඩ ඇති බව සාධාරණ සාක්ෂි සහිතව පෙනී යනවා නම් එවැනි අවස්ථාවක වුනත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි ලිඛිත පෙත්සමක් ඉදිරිපත් වුනාට පස්සේ විනිශ්චයකාර වරුන් දෙදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සලකා බලලා එය විභාග කිරීමට සුදුසු යැයි තීරණය කලොත් මාස දෙකක් ඇතුලත විභාග කරලා අවසන් කළ යුතු වෙනවා.



ඒ වගේම යම් කෙනෙක්ට නීතීඥයෙක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න අපහසුනම් ගරු අග්‍රවිනිශ්චයකාරතුමාට යවන දිවුරුම් පෙත්සමක් මගින් මානව හිමිකම් කඩවීම පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්. ලිපිනය තමයි: අගවිනිසුරුතුමා/තුමිය, අගවිනිසුරු නිළ නිවස, උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12.

මානව හිමිකම් කඩවීම පිලිබඳ පැමිණිලි කල හැකි ව්‍යවස්ථාපිත ආයතනයක් තමයි “ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.” එතනටත් ඔබේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ලිපිනය: සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, 165, කිංසි පාර, කොළඹ 07. හදිසි ඇමතුම් අංක: 0112 694925, 0112 689064, ෆැක්ස්: 0112 694924.

ශ්‍රී ලංකාව තුලදී ඔබේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නැත්නම් ඔබට පුළුවන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිල්ලක් කරන්න. එහිදී ඔවුන් ඔබේ පැමිණිල්ල විමර්ෂණය කරලා අවශ්‍ය නිර්දේශ රජයට ඉදිරිපත් කරනවා.

මානව අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ නොසිතන දෙයක් වුනත් එවැනි කඩවීමක් වෙන්න පුළුවන්. උදාහරණ විදියට පොලිසිය සහ පාසල් ගුරුවරුන් වැනි අය විසින් සිදු කරන පහරදීම් වලට එරෙහිව ඔබට මානව හිමිකම් නඩුවක් පවරන්න පුළුවන්. ඒ වගේම පොලිසිය ඔබව අත්අඩංගුවට ගැනීමේදී නිසි පරිදි චෝදනාව දැනුම් දෙන්නෙ නැත්නම්, ඔබේ නීතීඥයාට ඔබව හමුවීමට ඉඩ දෙන්නෙ නැත්නම් වගේම පැය 24ක් ඇතුලත විනිශ්චයකාර වරයෙක් වෙත ඔබ ඉදිරිපත් කරන්නෙ නැත්නම් ඒ පිලිබඳව ඔබ විනිශ්චයකාර වරයෙක් ඉදිරියට පමුණුවන පළමු අවස්ථාවේදීම ප්‍රකාශ කරන්න ඔබට අයිතිය තියෙනවා. ඒ වගේම ඔබට පොලිස් නිලධාරීන් ඉදිරියේ කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව ඉන්න අයිතියක් තිබෙනවා. පොලිස් නිලධාරීන්ට ඔබගෙන් තොරතුරු ලබාගැනීම සඳහා හෝ දඬුවමක් වශයෙන් ඔබට පහරදීමට අවසර නෑ.



ඒ වගේම ඔබේ ආයතනයේ ඉහල නිලධාරීන් ඔබට පහත් කොට හෝ අවමානයෙන් සලකනවානම්, නැත්නම් ඔබට බැනවැදීම්, අසාධාරණ ස්ථාන මාරු හෝ දඬුවම් ලබා දෙනවා නම් ඔබට මානව හිමිකම් නඩුවක් පවරන්න පුළුවන්. කිසිම රජයේ නිලධාරියකුට පහළ මට්ටමේ හෝ සම මට්ටමේ සේවකයකුට බැනවැදීමට අවසර නැහැ.

මෙවැනි සිදුවීම් කොයිතරම් නම් සිද්ධ වෙනවද? නමුත් අපි මේ හැම දෙයක්ම ඉවසාගෙන ඉන්නවා. ඒ ගොඩක් වෙලාවට තමන්ගේ අයිතිය ගැන නොදන්න නිසා. නොදන්නා කම නිදහසට කරුණක් නෙමෙයි. මානව හිමිකම් ගැන දැනුවත් වීමත් ඒවා රැකගන්න ක්‍රියා කිරීමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ මානව හිමිකම් අහිමි වෙනවා නම් එයට විරුද්ධ වෙන්න ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා. එවැනි දේ දැක දැක නිහඬව හිටියොත් අපේ හිමිකම් කඩවුන දවසට අපි වෙනුවෙන් හඬ නගන්න කෙනෙක් ඉතිරි වෙන එකක් නෑ.

මාටින් නීමෝලර්ගේ කවියක මෙහෙම සහන් වෙනවා.



මුලින්ම ඔවුහු යුදෙවුවන් මරා දැමුහ.

මම යුදෙව්වෙක් නොවේ.

එබැවින් මම නිහඬව සිටියෙමි.



ඉන්පසු ඔවුහු කොමියුනිස්ට්වාදීන් මරා දැමුහ,

මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ,

එබැවින් මම නිහඬව සිටියෙමි.



අනතුරුව ඔවුහු වෘත්තිය සමිති නායකයන් මරා දැමූහ.

මා වෘත්තිය සමිති නායකයෙකු නොවේ.

එබැවින් මම නිහඬව සිටියෙමි.



අවසානයේදී ඔවුහු මා සොයා පැමිණියහ,

එවිට මා වෙනුවෙන් කථාකිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.



බොහොමයක් විස්තර ගත්තේ ජනසංසදය නිකුත් කරපු ප්‍රකාශන වලින්. කවිය හොයාගත්තෙ බූන්දියෙන්. ඒකට උදව් කලේ භානුක බොදරගම මිත්‍රයා. එහෙමනම් ගිහින් එන්නම්. යන්න කලින් මතක් කරන්න ඕන. අද ඉලා ජාතික සෞඛ්‍ය සතිය ආරම්භ වෙනවා. අද (10) මහජන සේවක සබඳතා දිනය, හෙට (11) සුපිරිසිදු දවස, 12 වැනි දා දැනුම්වත් දිනය, 13 වැනි වැනි දා විපරම් දවස, 14 වැනි දා නිවාරණ දවස, 15වැනි දා අගයන දවස, 16වැනි දා ආගමික දවස හා 17 වැනි දා සැමරුම් හා වින්දන දවස.  ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේවි. ඒවටත් සහභාගී වෙලා දැනුම ලබාගන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ළදිම බ්ලොග්කරුවන් අතර මොකක්දෝ වැඩක් සංවිධානය වෙනවා කියලත් කනින් කොනින් ආරංචි වෙනවා. ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template