Comments

Wednesday, January 9, 2013

කේන්ති යනවද? ඒක ලෙඩක් නෙමෙයි….

Posted by at 3:59 PM Read our previous post
කෝපය, එහෙමත් නැත්නම් තරහ යාම අපි හැම කෙනෙක්ම අත්විඳලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් තරහා නොයන කෙනෙක් හොයාගන්න බැරි තරම්. නමුත් බොහෝ දෙනෙකුට තරහ පාලනය කරගැනීමට හැකියාවක් නෑ. ඒ විතරක් නෙමෙයි තමන්ට ඇතිවන ප්‍රකෝපකාරී හැඟීම් ගැන විස්තර කරන්නත් බැහැ. මේ තත්වයට හේතුව තමයි “emotional illiteracy” එහෙමත් නැත්නම් භාවයන් පිලිබඳනූගත්කම. ඒ නිසා 2013 අවුරුද්දෙ පළවෙනි පෝස්ට් එක විදියට අද ප්‍රදීප්ගේ පිටුවෙන් කතා කරන්න උත්සාහ කරන්නේ කෝපය ගැන.

කෝපය කියන්නේඅතිශයින්ම සාමාන්‍ය මානුෂීය හැඟීමක්. හැම කෙනෙක්ටම තරහ ඇති වෙන්න පුළුවන්. ඇරිස්ටෝටල් පඬිවරයා කියන ආකාරයට "The man who is angry at the right things and with the right people, and further, as he ought, when he ought, and as long as he ought, is praised."  (නිවැරදි දෙයට සහ නිවැරදි  පුද්ගලයාට එරෙහිව කෝපවියයුතු අවස්ථාවේදි කෝප වන පුද්ගලයා අගය කළ යුතුයි.). ඇත්ත වශයෙන්ම කෝපය ඇතිකරලා තියෙන්නේ අපේ ආරක්ෂාවට. අපි යම් තර්ජනයකට මුහුණ දීලා ඉන්න වෙලාවට ඒ තත්වයට මුහුණ දෙන්න කෝපයත් එක්ක අපේ ශරීරයේ සහ මනසේ ඇතිවෙන වෙනස්කම් වැදගත් වෙනවා.

නමුත්, අද වෙනකොට අපි කෝපය දකින්නේ රෝග ඇතිකරන, අයහපත් හැඟීමක් විදියටයි. ඒකට හේතුව තමයි පරිනාමයේ මුල් යුගයේදී අපි මුහුණ දීපු තර්ජනයන් අපිට මේ වෙනකොට නැති වීම. ඒ නිසා කෝපය හේතුවෙන් ඇතිවන කායික සහ මානසික වෙනස්වීම් මේ වෙනකොට භාවිතයට ගැනෙන්නෙ අඩුවෙන්. එතකොට ඒ වෙනස්කම් අපේ කායික සහ මානසික නිරෝගීභාවයට හානි කරනවා. නමුත් තරහ ඇතිවෙන එක පරිනාමයත් එක්ක අඩුවෙලා නෑ. ඒක පාලනය කරගන්නෙ කොහොමද? 



තරහ පාලනය කරගන්න කලින් අපිට තරහ යන්නෙ ඇයි කියලා හොයලා බලන්න වෙනවා. ලෝකයේ කරපු අධ්‍යයනයකට අනුව පුද්ගලයන්ගෙන් 28%ක්ම  කෝප වෙන්නෙ කිසිම හේතුවක් නැතුව. නමුත් සාමාන්‍යයෙන් කෙනෙක් කෝපයට පත් වෙන්න කිසියම් මූලික හේතුවක් (antecedent) බලපානවා. එහෙම හේතුවක් ඇතිවුනත් හැම කෙනෙක්ම කෝප වෙන්නෙ නෑ. ඒකට බලපාන කරුණු දෙකක් තියෙනවා.

    හැඟීම - කිසියම් සිදුවීමක් නිසා මනසේ ඇතිවන ප්‍රකෝපකාරී හැඟීම, වේදනාව  සහ අපහසුතාවය.
    සිතන ආකාරය - ඇතිවූ සිදුවීම පිළිබඳ සිතන ආකාරය. (එයා ඒක උවමනාවෙන්ම මට රිද්දන්න කරපු දෙයක්)

යම් සිදුවීමක් නිසා කෙනෙක්ට ප්‍රකෝපකාරී හැඟීමක් ඇති නොවුනත් ඒ සිදුවීම නිසා තවත් කෙනෙකුට ප්‍රකෝපකාරී හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එකම සිද්ධිය නිසා ප්‍රකෝපකාරී හැඟිමක් ඇති වුන දෙන්නෙක් ඒ ගැන සිතන ආකාරය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එකම පුද්ගලයාට එකම ආකාරයේ සිදුවීම් දෙකකදි දැනෙන හැඟීම් සහ සිතන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ට තරහ යන්නෙ කොයි වෙලාවටද කියලා කලින් කියන්න අමාරුයි. නමුත් එක් එක් පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ අනුව නිතර නිතර කෝප වෙන සහ සාමාන්‍යයෙන් අඩුවෙන් කෝපයට පත්වෙන පුද්ගලයන් දැකගන්න පුළුවන්.





මේ වගේ සිතුවිලි සහ හැඟීම් ඇතිවීමත් එක්ක අපේ ශරීරයේ විවිධ වෙනස්කම් ඇතිවෙනවා. ඒවා බොහොමයක් කාංසාමය රෝග ලක්ෂණ.

කෙනෙක්ගේ මේ කියන විදියේ ප්‍රකෝපකාරී හැඟීම් සහ සිතුවිලි ඇතිවුනත් ඒකෙන් හානි වෙන්න පුළුවන් තමන්ට විතරයි. ඒක දීර්ඝකාලීනව ඇති වෙන හානියක්. නමුත් ඒ හැඟිම් සහ සිතුවිලි වලට අනුව ක්‍රියාත්මක වුනොත් ඒ තත්වය ඊට වඩා දුරදිග යන්න පුළුවන්. ඒ නිසා කෝපය ගැන අවබෝධ කරගැනීමත් කෝපය පාලනය කරගැනීමත් වැදගත්.




කෝපය අදියර කීපයකට වෙන් කරන්න පුළුවන්. එහෙම වෙන් කරපු චක්‍රයට අපි කියනවා “aggression cycle” (Mason and Chandley, 1999;Breakwell, 1997 Breakwell (1997), cited in Faupel et al, (1998)) කියලා.

    Trigger - කෝපය ඇතිකරන සාධකය
    Escalation - කෝපය වැඩිකරන සාධක (සිතුවිලි/හැඟීම්)
    Anger/Aggressive outburst - කෝපය පිට කිරීම
    Recovery stage - කෝපය සිඳී යන අවස්ථාව
    Post-anger depression stage - කෝපවීම ගැන කළකිරීම



මෙයින් පළමු අදියර තමයි කෝපය ඇති කරන සාධක. උදාහරණයකින් පැහැදිලි කලොත් Trigger කියන්නේ රතිඤ්ඤාවක් පත්තු කරන්න භාවිතා කරන ගිනිකූර වගේ. ඒ සාධකය එක් එක් පුද්ගලයට වෙනස් වෙනවා. අපි කලින් කතා කලා වගේ ඕනෑම ලොකු හෝ කුඩා සිද්ධියක් කෝපය ඇතිකරන සාධකයක් වෙන්න පුළුවන්. එවැනි සිද්ධියක් නිසා විශාල හානියක් විය හැකියි. එවැන්නකින් වැලකීම සඳහා කෝපය පාලනය කරගන්නත් අපට මේ අවස්ථාවේදීම පටන්ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කෙනෙක් ඔබව අපහසුතාවයට ලක් කලොත් ඔබට ආකාර දෙකකට හැසිරෙන්න පුළුවන්. එක විදියක් තමයි ඒ පුද්ගලයාට බැන වැදීම. දෙවෙනි විදිය තමයි එය ගණන් නොගෙන සිටීම. ඔබට කෝපය ඇති කරන සුළු සුළු සාධක ගණන් නොගෙන හිටියොත් ඔබ කෝප වන අවස්ථා ගණන සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්.

දෙවෙනි අදියර තමයි කෝපය වැඩිකරන සාධක. Escalation කියන්නෙ හරියට රතිඤ්ඤාවක වෙඩි නූල වගේ. පත්තු කලාට පස්සේ දිගටම පත්තු වෙවී ගිහින් අන්තිමට රතිඤ්ඤාව පුපුරවන්න වෙඩි නූලට පුළුවන්. මේ අවස්ථාවේදී අපේ ශරීරයේ සහ මනසේ විවිධ වෙනස්කම් දැකගන්න පුළුවන්.

1.     අනිච්ඡානුගව ඇතිවන මාංශපේෂි වල (විශේෂයෙන්ම බෙල්ලේ සහ මුහුණේ) තද ගතිය.
2.     දත් මිටි කෑම
3.     ස්වසනය කරන වාර ගණන වැඩි වීම
4.    මුහුණ රතු වීම සහ සිරුරේ රුධිර ගමනාගමනය වැඩිවීම
5.     සුදුමැලි වීම
6.     දහඩිය දැමීම
7.     දැඩි උණුසුමක් හෝ සීතලක් දැනීම
8.     අත් පා වේව්ලීම
9.     ශරීරයේ රෝම ඉලිප්පීම
10.  හෘද ස්පන්දනය වේගවත් වීම
11.  ඇඩ්‍රිනලීන් ශ්‍රාවය වීම සහ ශරීරයේ තැන්පත් මේදය රුධිරගත සීනි බවට පරිවර්තනය වීම‍

මෙවැනි වෙනස්කම් ඇති වෙන්න බලපාන්නේ අපි කලින් කතා කරපු සිතුවිලි සහ හැඟීම්. ඔබ කෝපයට පත් වූ බව දැනගත් විට එයින් තවදුරටත් වන හානිය වලක්වාගන්න පුළුවන්. මෙවැනි ශාරීරික වෙනස්කම් සහ ඒ සමග ඇතිවන මානසික කලබලකාරී බව ඇති වූ විට ඔබේ කෝපය නමැති වෙඩි නූල ගිනිගෙන අවසන්. දැන් කලයුත්තේ රතිඤ්ඤාව පුපුරා යාමට පෙර වෙඩි නූල නිවා දැමීමයි. ඒ සඳහා මේ විදියේ පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.

01) ඔබ කරමින් සිටි වැඩය නවත්වා කෝපයට පත්වීමට බලපෑ පරිසරයෙන් මදක් ඉවතට යන්න.
02) කිහිපවතාවක් ගැඹුරින් හුස්ම ගෙන සෙමින් පිටකරන්න.
03) ඔබ සතුටට පත්වන ස්ථානයකට යන්න.
04) කායික ව්‍යායාමයක නිරත වන්න. (බයිසිකලයක පදින්න)
05) නිර්මාණයක් කරන්න.
06) ධනාත්මක සිතුවිලි ඇතිකරගන්න. (සිදුවූ සිදුවීමේ යහපත් ලක්ෂණ ගැන සිතන්න)
07) විශ්වාසවන්ත අයෙකුගේ සහය ඉල්ලා සිටින්න.
08) ගැටළුව විසඳාගත හැකි වෙනත් ක්‍රමවේදයන් පිලිබඳ සලකා බලන්න.
09) අදහස් පළ කිරීමට පෙර මදක් සිතා බලන්න.
10) ඔබගේ අකමැත්ත යහපත් ආකාරයට ප්‍රකාශ කරන්න.
11) ඔබ කෝපයට පත්වීම පිලිබඳ හාස්‍යය මතු කිරීමට උත්සා කරන්න.



එවිට ඔබේ වෙඩි නූල ඇවිලී කෝපය නමැති රතිඤ්ඤාව පුපුරා යාමේ අවදානම නැති කල හැකියි.

තුන්වෙනි අදියර තමයි පුපුරායාමේ අදියර. එවැනි අවස්ථාවක මේ විදියේ ලක්ෂණ දැකගන්න පුළුවන්.

1.     ඔබගේ විරුද්ධවාදියාට කායිකව පහරදීම හෝ දේපල වලට හානි සිදුකිරීම.
2.     සුළු දේ පවා අධික ලෙස හෙලා දැකීම
3.    අන් අය පිලිබඳ ක්ෂණීක හා අමිහිරි තීරණ වලට එළඹීම
4.     මාංශ පේෂි තදකිරීම, අත් මිටමෙළවීම, රවා බැලීම වැනි අංගචලන දැක්වීම
5.     ආවේගශීලීව හැසිරීම
6.     සමාජයෙන් ඈත්වීම
7.     පවරන ලද වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම
8.     නීතිරීති සහ උපදෙස් පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීම
9.     පරිපාලන ගැටළු සහ පාලනය කළ නොහැකි දේ ගැන පැමිණිලි කිරීම
10.     තමන් කෝපයට පත් වූ ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදීම ප්‍රතික්ෂේප කිරීම
11.     පරිපාලනයට හෝ තමන්ට ඉහලින් සිටින අයට අභියෝග කිරීම
12.     බැන වැදීම හෝ නොගැලපෙන වචන භාවිතය




මේ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ සීමිතයි. වඩා වැදගත් වෙන්නේ මේ අවස්ථාවට පත් වෙන්න කලින් එසේ නොවීමට අවශ්‍ය පියවර ගැනීම. නමුත් හදිසියේ මෙවැනි තත්වයකට ඔබ පත්වුනොත් ඔබේ කෝපය පාලනය වීමෙන් පසුව අදාල පුද්ගලයින්ගෙන් සමාව ඉල්ලා සිටිය හැකියි. සමාව ඉල්ලීමේ පියවර තුනක් තියෙනවා.

01)    මගෙන් වරදක් වූ බව පිලිගනිමි.
02)    ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටිමි.
03)    එම වරද නිවැරදි කිරීමට මට කළ හැක්කේ කුමක්ද?

නමුත්, සමාව ඉල්ලා සිටිය හැකි නිසා හැම විටම ඔබේ කෝපය පුපුරා යන්නට ඉඩ දෙන්න එපා. ඔබට කෝපය ගැටළුවක් නම් කෝපය අඩුකරගැනීම වෙනුවෙන් කාලයක් වෙන් කිරීම වැදගත් වේවි. කෝපය ගැටළුවක් වෙන්නෙ කොහොමද?

01)    ඔබ නිතර කෝප වෙනවාද?
02)    ඔබ කෝප වූ විට දීර්ඝ කාලයක් කෝපය පවතිනවාද?
03)    ඕනෑම දෙයක් ගැන ඔබට කෝපය ඇති වෙනවාද?
04)    ඔබව කෝපය විසින් පාලනය කරනවාද?
05)    අන් අය පාලනය කිරීමට ඔබ කෝපය භාවිතා කරනවාද?
06)    ඔබ කෝප වූ විට ආවේගශීලී වෙනවාද?

එසේනම් ඔබට කෝපය ගැටළුවක් විය හැකියි. එය පාලනය කරන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්‍යයි.

01)    දෛනිකව කායික ව්‍යායාම සහ කය වෙහෙසවන ක්‍රීඩා වල (දුර දිවීම, බර ඉසිලීම, බොක්සින්, මල්ලවපොර, බයිසිකල් පැදීම, පිහිනීම,බාස්කට් බෝල් වැනි) නිරත වන්න.

02)    ඔබේ ජීවිතය දෙස ඔබ බලන ආකාරය වෙනස් කරගැනීමට උත්සාහ ගන්න. ධනාත්මක ආකල්ප ඇති කරගන්න.
03)    ඔබට ඇතිවන හැඟීම්, ගැටළු සහ ගැටළු විසඳාගන්නා ආකාරය ආදිය දිනපොතක/ජර්නලයක සටහන් කරන්න.
04)    සමීප මිතුරෙක් සමග අදහස් බෙදාගන්න.
05)    වැඩිදුර උපදෙස් සඳහා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවන්න.
















ටිකක් දිග ලිපියක්. නමුත් කෝපය පිලිබඳව ඔබට යමක් දැනගන්න ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ලෝකයේ ඇතැම් රටවල කෝපය පාලනය කරන්න උගන්වන පාඨමාලා පැවැත්වෙනවා. නමුත් අපේ ටේ මෙතෙක් එවැනි ස්ථාන නැහැ. කොහොමවුනත් හැකි තරම් කෝපය පාලනය කරගන්න උත්සාහ කිරීමෙන් ගොඩක් ගැටළු මගහරවාගන්න පුළුවන්. කෝපය පාලනය කිරිම කියන්නේ කෝපය හිතේ සිරකරගෙන සිටීම නොවෙයි. වඩාත් සුදුසු ආකාරයට පිට කිරීමයි.

එහෙනම් ගිහින් එන්නම්. හැම කෙනෙක්ම ජනවාරි 27 වෙනිදා ගම්පහට පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිටත්වෙන අය එදා උදේ 7.00 වෙද්දි කොටුව දුම්රිය  ස්ථානයට ආවොත් අපිත් එක්ක යන්න පුළුවන්. (මම ටිකට් ගන්නෙ මට විතරයි හොදේ..). ඒ ගැන විස්තර දැනගන්න මගේ 0772099578 දුරකථනයට අමතන්න. අනිත් අය ඒ ඒ පැති වලින් එන කට්ටිය එක්ක එකතු වෙන්නකෝ.

අළුත් අවුරුද්දේ ප්‍රදීප්ගේ පිටුව ආරම්භ කරන්න සැලසුම් කරපු වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුවට උදව් කරන්න කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. ඒ වැඩේ හරිගියොත් කොළඹ අවට වැඩමුළු පහක් සංවිධානය වේවි. ඒ වගේම උපදේශන සේවාවකුත් ආරම්භ කරන්න සැලසුම් කරමින් ඉන්නේ. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්. ටිකක් පරක්කු වුනත් මේ අවුරුද්දෙ පළවෙනි පෝස්ට් එකනේ. හැමෝටම සුබ නව වසරක් වේවා...!

29 comments:

  1. මේ පෝස්ට් එක බලන්න ඊයෙ රෑම ඇවිල්ලා මොකුත් නැති බව දැක්කාම තමයි ඔන්න මට තද වුනේ....තරහා ගිහිල්ලා ක්ෂණිකව කරන ක්‍රියාවන් නිසා...නිවීසැනසිල්ලෙ පසුතැවෙන්න පුලුවන් කියන එක නම් මම අත්දැකීමෙන්ම දන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ කරුණු ටික හොයලා අදවත් පෝස්ට් එක දාන්න පුළුවන් වුනේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පින්සිද්ධ වෙන්න ගෙදර හිටපු නිසා. ස්තුතියි අදහසට. ජය...!

      Delete

  2. මට තරහ යන්නේ නැහැනේ බන් උබ දන්නවනේ , :D මටහ්ක ඇති කාලෙකම තරහ ගිහින් තියෙන්නේ 4-5 සැරයයි , හැබැයි ලග හිටිය එවුන්ට නම් මට හරි මීටරේට එද්දී වැදිලා තිබ්බ :D

    අවුලක් නෑ , කොන්ට්‍රෝල් කොරගන්න පුළුවන් , හැබැයි මං හිටන් හිටියෙත් ලෙඩක් කියල එක

    ReplyDelete
    Replies
    1. උඹ ගැන නං ඉතින් මොන කතාද? ස්තුතියි මචං හැම වැඩකදිම ළගින් ඉන්න එක ගැන. ජය..!

      Delete
  3. වටින කියන ලිපියක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි මේ පැත්තෙ ආවට...

      Delete
  4. ප්‍රදීප් බොහොම ස්තුතියි මේ වටිනා ලිපි අපට දෙනවට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. ජය...!

      Delete
  5. //සමාව ඉල්ලා සිටිය හැකි නිසා හැම විටම ඔබේ කෝපය පුපුරා යන්නට ඉඩ දෙන්න එපා//

    ගොඩක් වෙලාවට සමහරු පුංචි දේටත් කෝපයට පත් වෙලා අනිත් අයගෙ හිත් රිදවෙන දේවල් කියනව, ගහගන්නව, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නව. හැබැයි එහෙම කරල ටිකකින් ඇවිත් සමාව ඉල්ලනව. ඒ අය හිතන්නෙ කොච්චර තරහ ගත්තත් කමක් නෑ සමාව ඉල්ලුවම ඔක්කොම හරි කියල. තමන්ට තරහ ගිහින් කරපු කියපු දේවල් නිසා අනිත් අය පත් උන් අපහසුතාවය ගැන එයාල හිතන්නෙ නෑ.

    තවත් සමහරු කියනව මට පොඩිදේටත් තරහ ගිහින් කෑගහන එක ඇත්ත, ඒ උනත් ඊට පස්සෙ මං හැමදේම අමතක කරල දානව කියල. හැබැයි එයාල තේරුම් ගන්නෙ නෑ එයාල පොඩි දේටත් කෝපයට පත් උනාම ඒකෙන් අනිත් අයට කොයි තරම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්ද කියන එක.
    අවශ්‍ය දේට තරහ ගන්න ඕන. ඒත් හැමදේටම තරහගත්තම ඒක තමන්ට වගේම අනිත් අයටත් කරන හානියක්. හොඳම දේ කෝපය පාලනය කරගන්න පුරුදු වෙන එකයි

    වැදගත් සටහනක් ප්‍රදීප්. ස්තූතියි මේ දැනුම බෙදාගන්නවට...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. වටිනා අදහසක් එකතු කලාට ස්තුතියි. ජය...!

      Delete
  6. මටම ලියලද මන්දා, මට නම් වෙලා තියෙන්නෙ මගේ නිදහස සීමා සහිත නිසා මම හැමවෙලේම ප්‍රෙෂර් එකෙන් ඉන්නෙ, ඒක නැති වුනොත් මගේ තරහ යන ගතිය අඩු වෙයි කියලා හිතෙනවා,හැබැයි මම ඒ වෙලාවට කෑ ගැහුවා ඒක එතනින් ඉවරයි,ඊට පස්සෙ මට මතකත් නෑ, ...

    ඉතා වටිනා ලියිපයක් අය්යණ්ඩියේ... ස්තූතියි..!!

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන Chamsගේ කමෙන්ට් එක බලන්න. ස්තුතියි නංගි. ජය...!

      Delete
  7. pradeep why don't you forget counting method you practice in childhood.Good post putha. i like to join with you for your workshops.Keep your work up.

    ReplyDelete
    Replies
    1. pradeep i am dr kamalani.i don't know how name change as senura.he is my son.

      Delete
    2. Thank you verymuch madam for adding something worth. Please send me your mobile number to my email as I am very happy to get your ideas on these projects. Thank you again madam.

      gpcguna@gmail.com

      Delete
  8. මට නම් තරහ ඉවස ගන්නම බැරි උනාම මොකක් හරි හපන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. රබර් කුට්ටියක් ලග තියාගන්න. ස්තුතියි මේ පැත්තෙ ආවට. ජය...!

      Delete
  9. මටනං දැන් තරහා යනවා ටිකක් අඩුයි! තරහා ගියත් කේස් දෑ ගන්නේ නෑ! අහිංසක මනුස්සයානේ!

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි. තව ටිකක් අඩු කරගන්න බලන්න. ජය...!

      Delete
  10. උවනාම වෙලාතිබ්බ ලිපි වලින් එකක් ගොඩක් ස්තූතියි ප්‍රදීප් අය්යේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි මේ පැත්තේ ආවට. ජය...!

      Delete
  11. මටනං සැරටම තරහා යනවා...

    ReplyDelete
    Replies
    1. තරහ යන එක අඩුකරගන්න උත්සාහ කරන්න. මේ පැත්තෙ ආවට ස්තුතියි. ජය...!

      Delete
  12. මටත් හිටපු ගමන් කේන්ති යනවා කිසිම හේතුවක් නැතිව. ඇතැම් මිනිසුන්ව මතකයට නැගුනත් කේන්ති යනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. කෝකටත් ටිකක් කෝපය පාලනය කරගන්න උත්සාහ කරන්න. ස්තුතියි මේ පැත්තේ ආවට. ජය...!

      Delete
  13. අය්යේ මටත් ඔය සීන් එක තියනවනේ.. හැබැයි එක අතකට එකත් හොදයි කියල හිතෙනවා බන්..

    ReplyDelete
    Replies
    1. අනිත් අයව බය කරගන්න හොද වුනාට තමන්ගෙ සෞඛ්‍යයට ඒක එච්චර හොද නෑ මල්ලි. ජය...!

      Delete
  14. මේ පොස්ටුව මට ඉතාමත් වැදගත් පොස්ටුවක් මම විශේෂයෙන් බුක්මාර්ක් කරගත්තා.

    ReplyDelete
  15. දින පොතේ වැඩේනම් නියමෙට වැඩ කලා,,,,

    ReplyDelete

© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template