Friday, February 15, 2013

රැකියාවක් හොයනවද - 2 (තමන්ට ගැලපෙන රැකියාවක් තෝරාගන්නේ කොහොමද?)

Posted by at 12:00 AM
හොඳ රැකියාවක් කියන්නේ හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුවක්. හොඳ රැකියාවකට යන්න අවශ්‍ය වෙන සුදුසුකම් ගැන අපි පහුගිය පෝස්ට් එකෙන් කතා කලා. නමුත් සුදුසුකම් තිබුණු පමණින් රැකියාවක් සාර්ථකව කරන්න බැහැ. තවත් බොහෝ දේවල් අවශ්‍ය වෙනවා. සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන අනිත් දේවල් මොනවද? අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන.
ලොව හොඳම රැකියාව ඔබ සතුටින් කරන රැකියාවයි 

පුද්ගලයෙක්ගේ ජීවිතයේ අනෙකුත් සියලුම අංශ වලදී රැකියාව ප්‍රධාන තැනක් ගන්නවා. කෙටියෙන් කිව්වොත් අපි අපිව හඳුන්වල දෙන්නේ පවා අපි දරන තනතුරින්. "මම වෛද්‍යවරයෙක්, මම නීතිඥවරියක්" ආදී වශයෙන්. සාර්ථක වෘත්තීය ජීවිතය ජීවිතයේ අනෙකුත් අංශ වල වර්ධනයටත්  පවුලේ සංවර්ධනයටත් පිටුවහලක්. කෙනෙක් තමන්ට ගැලපෙන සහ තෘප්තිදායක රැකියාවක් කරනවානම් ඔහු හෝ ඇය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් ඒ රැකියාවේ නිරත වෙනවා. ඒ වගේම තමයි තෘප්තිදායක නොවන රැකියාවක් කරනවානම් ඒ රැකියාව නිසා ඒ පුද්ගලයා සාර්ථකත්වයක් ලබන්නේ නෑ. කිසිම රැකියාවක් සඳහා නියමිත පුද්ගලයෙක් නැහැ. ඒ වගේම කිසියම් පුද්ගලයෙක් සඳහා නියමිත රැකියාවකුත් නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම රැකියාවක් ( සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරගත්තොත්) කරන්න හැකියාව තියනවා. 

විවිධ විද්වතුන් රැකියා ක්ෂේත්‍ර විවිධ ආකාරයන්ට බෙදල තියනවා. මේ මොන වර්ග කිරීම අනුව බැලුවත් එක එක රැකියා ක්ෂේත්‍ර වල වැඩකරන්න අවශ්‍ය වෙන අවශ්‍යතා වෙනස්. තමන්ට ගැලපෙන රැකියා ක්ෂේත්‍රය හඳුනාගන්නකොට ඒ අවශ්‍යතාවලට තමන් ගැලපෙනවද කියන එක ගැන සැලකිලිමත් වීම වැදගත් වෙන්නේ ඒ නිසයි. කෙනෙක්ගේ වෘත්තීය රුචිකත්වය තීරණය වෙන්නේ ළමා කාලයේදී කියලයි Anne Roe කියන මනෝවිද්‍යාඥවරිය කියන්නේ. තමන්ගේ රුචිකත්වයට නොගැලපෙන රැකියා කරන්න ගියාම මොන තරම් සුදුසුකම් තිබුනත් ඒ රැකියාව සාර්ථකව කරන්න බැරිව යනවා.
ගැලපෙන රැකියාවක්....?

 Anne Roe ගේ වර්ගීකරණයට අනුව ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර 8 ක් දක්වලා තියනවා.
  1. සේවා 
  2. ව්‍යාපාරික
  3. සංවිධාන 
  4. තාක්ෂණය 
  5. එළිමහන් 
  6. විද්‍යා 
  7. සංස්කෘතිය 
  8. කලාව සහ විනෝදය 

Anne Roe ට අනුව 1,2,3,7,8 කියන රැකියා ක්ෂේත්‍ර වල සේවයට අවශ්‍ය වෙන්නේ මිනිසුන් සමග වැඩකිරීමට කැමැත්තක් දක්වන, උණුසම්, පිළිගන්නා සුළු පුද්ගලයන්. 4,5,6 කියන ක්ෂේත්‍ර වල සේවයට අවශ්‍ය වෙන්නේ තනිව වැඩකිරීමට කැමති පුද්ගලයින්.

තමන්ට ගැලපෙන රැකියා ක්ෂේත්‍රය තෝරාගැනීමේදී ගොඩක් අය නිවැරදි තීරණය ගන්නේ නෑ කියලයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. තමන්ට වඩාත්ම ගැලපෙන රැකියාව තෝරගද්දී සලකා බැලිය යුතු ලක්ෂණ මොනවද? ඒ අතරින් පලවෙනි එක තමයි තමන්ගේ උපතින් තමන්ට ලැබිල තියෙන ගති ලක්ෂණ. තමන් සමාජශීලී කෙනෙක්ද, නැත්නම් ලජ්ජාශීලි කෙනෙක්ද, අනිත් අයට උදව් කරන්න කැමති කෙනෙක්ද, ආත්මාර්ථකාමී කෙනෙක්ද,... මේ වගේ උපතින් තමන්ට ලැබිල තියන ගති ලක්ෂණ නිවැරදිව තේරුම් අරගෙන ඒවාට ගැලපෙන රැකියාවක් තෝරාගැනීම වැදගත්.
තනිව වැඩ කිරීමට කැමති

දෙවෙනි කාරණය තමයි චරිත ලක්ෂණ. තමන් වේගශීලිද, විවෘත කෙනෙක්ද, සෘජු තීරණ ගන්න කෙනෙක්ද, අනිත් අයගේ අදහස් වලට කන්දෙන කෙනෙක්ද... වගේ ලක්ෂණත් සාර්ථක රැකියාවකට බලපානවා. උදාහරණයක් විදියට ආවේගශීලී පුද්ගලයෙක් මහජන සම්බන්ධතා නිලධාරියෙක් වුනොත් ඔහුටත්, සේවාව ලබාගන්න කෙනටත් ඔහුගේ ආවේගශීලිත්වය නිසා ගැටළු ඇතිවෙන්න පුළුවන්. නමුත් විනයක් සහිතව පුහුණු කලොත් ඔහුගේ ආවේගශීලිත්වය යුධ ජයග්‍රහණයක් කර මෙහෙයවන හැකියාවක් බවට පත්කරන්න පුළුවන්.
තුන්වෙනි කාරණය තමයි කැමැත්ත. තමන් කැමති රැකියා ක්ෂේත්‍රයකට යොමුවීම වැදගත් කියල අපි මීට කලින් කතා කරලා තියනවා.

අනිත් කාරණය තමයි දක්ෂතා සහ බුද්ධිය. අපි කලින් ලිපියෙන් කතා කරපු තමන්ගේ පුහුණුව, අත්දැකීම් වගේම වැදගත් දෙයක් තමයි දක්ෂතා කියන්නේ. තමන් දක්ෂ ක්ෂේත්‍රය තෝරාගන්න කෙනෙකුට පුහුණුව ඇතත් නැතත් ඒ ක්ෂේත්‍රයේ ඉහලට යන්න පුළුවන්. හැමකෙනෙක්ම දක්ෂ එක දෙයක් හරි තියනවා. ඒක අඳුනගන්න එකයි වැදගත් වෙන්නේ. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කියනවනේ. 
බුද්ධියත් ඒ වගේ. තමන්ගේ බුද්ධි මට්ටම හඳුනාගෙන එයට ගැලපෙන රැකියාවකට යොමු වුනොත් සාර්ථකව ඒ රැකියාව කරන්න පුළුවන්.
අවසාන කාරණය තමයි පවුල් පසුබිම.රැකියාවකට යොමු වෙද්දී තමන්ගේ පවුලේ අයගේ අවශ්‍යතා, පවුල වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම් වගේ දේවල් ගැනත් සැලකිලිමත් වීම වැදගත්. 
මිනිසුන් සමග වැඩකිරීමට කැමති
                   
උදාහරණයක් විදියට දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීමේදී දරුවන්ගේ ආරක්ෂාව වගේ දේවල් ගැනත් අවධානය යොමු කල යුතු වෙනවා. මේ කියන කාරණා ඔක්කොම හොයලනම් රැකියාවක් ලබාගන්න වෙන්නේ නෑ කියල ඔබට හිතෙයි. නමුත් රැකියා අවස්ථා ගැන නිරතුරුව අවදියෙන් ඉන්නවනම් තමන්ට ගැලපෙන රැකියාවක් තෝරාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. ගැටලුව තමයි අපි රැකියාව ලඟට එනකම් බලාගෙන හිඳීම. එහෙම ඉන්නේ නැතුව හොයල බලන්නකෝ. ඔබට ගැලපෙන රැකියාවක් හොයාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. මේ ලිපි පෙළ මෙතනින් ඉවර නෑ. ඉදිරියේදී තවත් ලිපියකින් හමුවෙමු.
2011 සිහින උළෙල ප්‍රවේශපත්‍රය

ප.ලි: ඔන්න හැමෝම දන්නවනේ මේ සැරේ සයිබර් සිහින උළෙල ගැන. දිනය අප්‍රේල් 21. ඉක්මන් කරන්න. සිහින උළෙලේ නිර්මාණ තරඟයට මේ දවස්වල නිර්මාණ භාරගන්නවා. ඒ වගේම ගිය අවුරුද්දේ වගේ සමරු කලාපයකුත් නිකුත් කරන්නයි යන්නේ. බ්ලොග් එකට ප්‍රචාරයක් දෙන්න වගේම සිහින උළෙලට දායකත්වයක් දක්වන්නත් කැමතිනම් නිල බ්ලොග් අඩවියට ගිහින් බලන්නකෝ.

Tuesday, February 5, 2013

රැකියාවක් හොයනවද? එහෙනම් කියවල බලන්න.

Posted by at 12:34 AM
අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුණා. සමහර අයට හොඳ ප්‍රථිපල ලැබෙද්දී සමහරුන්ගේ ප්‍රථිපල එච්චර හොඳ වෙලා නැහැ. ඒ තමයි විභාගයක හැටි. හෙට අනිද්දට සාමාන්‍යපෙළ ප්‍රතිපල නිකුත් වුනාමත් වෙන්නේ ඔය ටිකම තමයි. විභාගය ඉහලින් සමත් වෙන අය විශ්වවිද්‍යාලෙ යනවා. ඉතුරු අය රැකියාවකට යොමු වෙනවා. සාමාන්‍යපෙළ අසමත්වෙන අයගෙන් බහුතරයකුත් උත්සහ කරන්නේ රැකියාවක් හොයාගන්න. ඒ වගේම උසස්පෙළ සමත්වෙලා විශ්වවිද්‍යාලෙ ගිය අයත් අන්තිමට එකතුවෙන්නේ රැකියා අපේක්ෂකරන්නන්ගේ ගොඩට. 

සමස්තයක් විදියට ගත්තම ශිෂ්‍ය ජීවිතේ අවසන් කරන හැම තරුණයෙක්ම තරුණියක්ම අපේක්ෂා කරන්නේ රැකියාවක්. ඒ අයගෙන් බහුතරයකට රැකියා ලැබෙන්නේ නැහැ. ලැබුනත් තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. නමුත් ඉරිදා පත්තරේ ගත්තම රැකියා පුරප්පාඩු ගැන දැන්වීම් තමයි බාගයක්ම තියෙන්නේ. මෙහෙම වෙන්නේ ඇයි? අද ප්‍රදීප්ගේ පිටුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණය ගැන.


රැකියා වර්ග කිහිපයක් තියනවා. එකක් තමයි manual work. ඒ කියන්නේ කිසිම පුහුණුවක් අවශ්‍ය නොවන රැකියා. උදාහරණ විදියට ගත්තොත් කාර්යාල කාර්ය සහායකයන්, කම්කරුන් වගේ අය. එවැනි රැකියා කරන අය වැය කරන්නේ තමන්ගේ ශ්‍රමය. බුද්ධිය සහ දැනුම භාවිතා වෙන්නේ අඩුවෙන්. මෙවැනි අයෙක් තමන්ගේ රැකියාවෙන් ඉවත් වුනොත් එතනට වෙන කෙනෙක් පත් කරන එක අමාරු නැහැ. මොකද කලාතුරකින් කෙනෙක් ඇර ඕනෑම කෙනෙකුට ඒ රැකියාව කරන පුළුවන්. ඒ කියන්නේ ඒ රැකියාව කරන කෙනාගේ මුල්‍ය වටිනාමකම අඩුයි. ඒ නිසා බොහොම සුළු වැටුප් සහ වරප්‍රසාද යටතේ තමයි එවැනි සේවකයන්ට වැඩකරන්න වෙන්නේ.


දෙවෙනි රැකියා වර්ගය තමයි skilled manual work. මෙවැනි රැකියා වලට උදාහරණ තමයි පොල් කැඩීම, මහන යන්ත්‍ර ක්‍රියාකරවීම වගේ රැකියා. මෙවැනි රැකියා කරන්න ශ්‍රමයට අමතරව තමන් සතු කුසලතාවයන් භාවිතා කරන්න අවශ්‍යයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේ රැකියා කරන්න ලැබෙන්නේ නෑ. එවැනි සේවකයින්manual workers ලට වැඩිය වටිනාකමක් ලැබෙනවා. සාපේක්ෂව වැඩි වැටුපක් සහ වරප්‍රසාද.
තුන්වෙනි රැකියා වර්ගය තමයි vocations. එවැනි රැකියා කරන අය තමයි මෝටර් කාර්මිකයින්, වද්දුම්කරුවන්, මේසන් වරුන් වගේ අය. එවැනි රැකියා කරන්න ඔවුන්ට විධිමත් පුහුණුවක් ලැබිල තියනවා. ඒ පුහුණුව නැති අයට ඒ රැකියාව කරන්න බැහැ. ඔවුන් ඉවත් කරලා වෙන කෙනෙක් ඒ තනතුරට පත් කරනවානම් පත් කරන්න වෙන්නෙත් එවැනි පුහුණුවක් තියන කෙනෙක් විතරයි. ඒ නිසා එයාලට පුළුවන් එයාලගේ හැකියාවන් විකුනන්න. අනිත් කණ්ඩායම් දෙකටම වැඩිය එයාලට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද වැඩියි.

අනිත් කණ්ඩායම තමයි වෘත්තිකයන් (professionals). ඔවුන්ට විශේෂිත පුහුණුවක් වගේම වෘත්තීය සංගමයක සාමාජිකත්වයකුත්, නිරන්තර වැඩිදියුණු වන දැනුමකුත්, විධිමත් ප්‍රයෝගික භාවිතයකුත් අවශ්‍ය වෙනවා. එවැනි අයට උදාහරණ තමයි වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් වගේ අය. එවැනි අය ඉන්නේ සාපේක්ෂව බොහොම සුළු පිරිසක්. ඒ වගේම ඔවුන් කරන වෘත්තීය වෙන අයට කොහෙත්ම කරන්න බෑ. ඒ නිසාම ඔවුන්ට තමන්ගේ දැනුමට මිලක් නියම කරන්නත්, වැඩිම වටිනාකමට අලෙවි වෙන්නත් අවස්ථාව තියෙනවා. බොහෝවිට මෙවැනි වෘත්තිකයන් තීරන ගන්නේ ස්වාධීනව. ඔවුන්ට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද වැඩියි.

 අනිත් කොටස පරිපාලන නිලධාරීන්. ඔවුන්ට තමන් වැඩකරන ක්ෂේත්‍රයේ ඉහල දැනුමක් සහ පළපුරුද්දක් තිබිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ පළමු රැකියාව විදියට පරිපාලන නිලධාරියෙක් වෙන්නේ නෑ. යම් කාලයක් ගියාට පස්සේ පෙන්වන දක්ෂතා මත තමයි පරිපාලකයෙක් වෙන්නේ.
 අවසාන කොටස ව්‍යාපාරිකයින්. ඔවුන් තමයි සේවකයින් රැකියා වලට පත්කරන්නේ සහ වැටුප් ගෙවන්නේ. ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් තමයි මුදල් සහ ව්‍යාපාරික ඥානය. ගමේ කඩේ මුදලාලිගේ සිට විශාල සමාගම් හිමිකරුවන් දක්වා හැම කෙනෙක්ම බොහෝ විට විශාල ව්‍යාපාරිකයින් පහල මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ අය. නමුත් ඔවුන් ළඟ ඉතා ඉහල අධ්‍යාපනයක් සහිත විද්වත් වෘත්තිකයන් පවා සේවය කරනවා.
රැකියාවකට පිවිසෙන ඕනෑම කෙනෙක්ට මේ කියන වර්ග වලින් එකක් තමයි තෝරාගන්න වෙන්නේ. විශේෂයෙන්ම සාමාන්‍යපෙළ සහ උසස්පෙළ අවසන් කරපු ගමන්ම රැකියාවකට එනකොට අඩු වැටුපක් ලැබෙන රැකියාවක් තමයි තෝරාගන්න වෙන්නේ. එතකොට තමන්ට ලැබෙන වටිනාකම ගොඩක් අඩුයි. එතැනදී අපි කරන වැරදි දෙකක් තමයි පලවෙනි රැකියාවෙන් ඉහල වැටුපක් බලාපොරොත්තු වෙන එක සහ තමන් කරන පලවෙනි රැකියාව අවසාන රැකියාව කරගන්න එක.
 සාමාන්‍යයෙන් තමන් කරන පලවෙනි රැකියාව අඩු වැටුපක් ලැබුනත් තමන්ට වැඩිදුර අධ්‍යාපනය ලබන්න විවේකයක් තියෙන එකක් වෙනවනම් ගොඩක් හොඳයි. හැම විෂය ක්ෂේත්‍රයකම ඉහලට යන්න අවස්ථා තියනවා. අධ්‍යාපන මට්ටම පහල තියෙන කෙනෙක්ගේ වුනත් පුහුණුව සහ දක්ෂතාවය මත ඉහලට යන්න අවස්ථා තියනවා. නමුත් එහෙම වෙන්නේ අපි ඒ අවස්ථාවලට දොර ඇරලා තියනවනම් විතරයි. ඒ විදියට තමන්ගේ ජීවිත කාලය තුළ වෘත්තීය දියුණුවක් ලැබීම හඳුන්වන්නේ career කියල.
තමන්ගේ ජීවිතේ කරන පලවෙනි රස්සාව සතියේ දවස් හතම වැඩ කරන රුපියල් 12000ක වැටුපක් ලැබෙන එකක්නම් සතියට දවස් 6ක් වැඩකරන රුපියල 9000ක වැටුපක් ලැබෙන රැකියාවකට මාරුවෙන එක හොඳයි කියලයි මමනම් දකින්නේ. ඉතුරු දවසේ ගෙදරට වෙලා නිදාගන්න නෙමෙයි. වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න. ඔබ manual worker කෙනෙක් හරි skilled manual worker කෙනෙක් හරි නම් වෘත්තීය පුහුණුවක් ලබාගන්න උත්සහ කරන්න. උදාහරණයක් විදියට ඔබ පරිගණක ටයිප්සේටර් කෙනෙක් විදියට වැඩ කරනවානම් graphic designer කෙනෙක් වෙන්න අවශ්‍ය පුහුණුව ලබාගන්න. අවස්ථාවක් තියනවනම් විශ්වවිද්‍යාල පවත්වන සන්ධ්‍යා පාඨමාලාවකට හරි සතිඅන්ත පාඨමාලාවකට හරි සම්බන්ධ වෙලා සුදුසුකම් වැඩිකරගන්න උත්සහ කරන්න. තමන්ගේ වටිනාකම වැඩිකරගන්න තරමට අයිතිවාසිකම් ඉල්ලන්න තමන්ට වැඩි අයිතියක් ලැබෙනවා.
 තව දෙයක්. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වෙන අය රජයෙන් තමන්ට රැකියාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඔබ විශ්වවිද්‍යාලයෙන් ඉවත්වුනත්, උපාධිධාරියෙක් වුනත් ඔබේ උපාධිය LLB හරි MBBS හරි නොවුනොත් ඔබටත් වෙන්නේ අනිත් අය වගේම රැකියා පෝලිමට එකතුවෙන්න. ඔබට B.Sc. නැත්නම් B.A. එකක් තිබීම ඇරෙන්න රැකියා වෙළඳපොලේ විකුනන්න පුළුවන් වෙන සුදුසුකම් ඔබ ළඟ නෑ. ඒ නිසයි ඔබට රජයෙන් ලැබෙන සුළු රැකියාව බලාගෙන ඉන්න වෙන්නේ. ඒ නිසා පුලුවන්නම් විශ්වවිද්‍යාලෙ ඉන්න ගමන් වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. පුළුවන් හැමවෙලාවෙම තමන්ගේ දක්ෂතා, දැනුම, වටිනාකම් වැඩිකරගන්න උත්සහ කරන්න. තමන් දැන් කරන රැකියාවට වැඩ උසස් තැනකට යන්න තියන අවස්ථා ගැන හොයල බලන්න. ඒකට අවශ්‍ය සුදුසුකම් ඇතිකරගන්න. විශේෂයෙන්ම තමන්ගේ දක්ෂතා සහ කැමැත්තට ගැලපෙන රැකියා ක්ෂේත්‍රය තෝරාගන්න උත්සහකරන්න. එතකොට ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙයි.

හැමෝම දන්නවනේ මේ සැරෙත් සයිබර් සිහින උළෙල පැවැත්වෙනවා. අප්‍රේල් 21 වෙනිදා. ඔන්න පලවෙනි තරඟය පටන් අරගෙන කියලයි කියන්නේ. එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසක හමුවෙමු.
© Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව) is powered by Blogger - Template designed by Stramaxon - Best SEO Template